Print this Article


මහින්දාගමනයේ උරුමයන් නිබඳවම රැක ගනිමු

මහින්දාගමනයේ උරුමයන් නිබඳවම රැක ගනිමු

මෙම ලිපියෙහි මුල් කොටස ජුනි 23 වන දා පත්‍රයේ පළ විය.

සෑම රටවැසියාටම සාධාරණය ඉටුවන නීති සංග්‍රහයක් සම්මතව පැවැති අතර ඒ වෙනුවෙන් මතධාරීන්ද පත්කර තිබිණ. සමහර අවස්ථාවලදී විනිශ්චය භාරවූයේ භික්‍ෂූන්ටය. ආභිධම්මික ගෝදත්ථ තෙරුන් වහන්සේ එක් වකවානුවක අග්‍රවිනිශ්චයකාර ධුරයද හෙබවූ බව ඉතිහාසයෙන් පෙනේ. දශරාජ ධර්මයට අනුව මේ රටේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය හෙළිකරන අනගි සාක්‍ෂියක් නම් බදුලු ටැම් ලිපියයි. ඊට අමතර තවමත් සෙල්ලිපි රැසක ද මේ හා සම්බන්ධ තොරතුරු දක්නට ලැබේ.

භූගෝලීය පිහිටීමත් දේශගුණික සාධකත් අනුව මෙරටට ගැළපෙන ධාර්මික වෘත්තිය වටහාගත් සිංහල බෞද්ධ රජ දරුවෝ වැව්, අමුණු, ඇළ වේලි ඉදි කළහ.

බුදුදහම අනුව වෙළෙඳාම තහනම් නැතත්, තහනම් වෙළෙඳාම් පහක් තිබේ. ඒවා තහනම් කර ඇත්තේ එමගින් සිද්ධ වන්නේ අනර්ථයක්ම වන බැවිනි. සිංහල බෞද්ධයෝ ඒවා බැහැර කළහ. ඒ වෙනුවට සත්ව පාලනයෙහි නිරත වූහ. කෘෂිකර්මාන්තය මෙන්ම සත්ව පාලනය ද වැටෙන්නේ දැහැමි ජීවනෝපායන් ගණයට ය. සත්ව පාලනය කෘෂිකර්මාන්තයට ප්‍රයොජනවත් වූ අතර සමාජ සංවර්ධනයට ද හිතකර විය. එය සත්ව කරුණාව දනවයි. මිනිස් සිත් සතන් සනහාලයි.

බුදුදහමින් පෝෂණය වූ තවත් ක්‍ෂේත්‍රයක් නම් කර්මාන්ත සංවර්ධනයයි. සංඝමිත්තා මෙහෙණිය සමඟ දහ අට ශ්‍රේණියක ශිල්පීහු මෙහි පැමිණියහ. ඔවුන් මෙහි පැමිණියේ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ තේවාවන් හා නඩත්තු කටයුතු සඳහා වුණත් එය මේ රටේ කර්මාන්ත දියුණුවට මහත් රුකුලක් වූ බව පැහැදිලිය. ලෝහ කර්මාන්තය,රෙදිවිවීම, ආභරණ නිෂ්පාදනය, මැටි කර්මාන්තය හා ශීලාකර්මාන්ත දියුණු වූයේ එමගිනි. බුදු දහම ශ්‍රී ලාංකාවාසීන්ගේ ලෞකික ලෝකෝත්තර දියුණුවට අත දුන්නේ ඒ අනුවය. අපේදේශීය අනන්‍යතාව, ජාතික අභිමානය හෙළිකරන අපූර්ව කලා ශිල්පීන් බිහිවූයේද ඒ ඔස්සේය.

අලස බව, උදාසීන බව, නිකරුණේ කාලය කා දැමීම පිරිහීමට හේතුවන බව බුදුදහම අවධාරණය කරයි. මේ සාරධර්මය සිංහල බෞද්ධයාගේ එදිනෙදා ජීවිතය හා තදින් බැඳී තිබේ. වැඩ කරන ජනතාව ද දිනපතා නමස්කාර කළ යුතු පිරිසක් ලෙස සිඟාලෝවාද සුත්‍රයෙහි දක්වා ඇති බව මෙහිදී සිහි තබාගත යුත්තේය.

සාමාන්‍ය ජනතාව තබා රජවරුන් පවා ජනතාවගෙන් නොමිලයේ වැඩ ගත්තේ නැත. ඒ අනුව ශ්‍රමය සූරා කෑමක් සිදුවූයේ නැත. ශ්‍රමයට සරිලන වැටුපක්, දීමනාවක් හෝ යැපීම් මාර්ගයක් ලබාදීමට රජවරු වගබලා ගත්හ. දුටුගැමුණු රජතුමා මහාථූපය ඉදිකළේ එහි සේවාවෙහි නියුතු සෑම අයකුටම ශ්‍රමයට සරිලන ප්‍රදානයක් ලැබෙන්නට කටයුතු යෙදීමෙනි. ශ්‍රමයට වටිනාකමක් හිමි විය යුතුය යන සාරධර්මය සමාජ ගත වූයේ මහින්දාගමනය හරහාය.

මිහිඳු මාහිමියන් මෙහි වැඩම කරන විට මේ රටේ රජතුමා ඇතුළු රටවැසියන් විනෝදය සලසා ගත්තේ දඩ කෙළියෙහි යෙදෙමිනි. බුද දහම ඒ වෙනුවට හඳුන්වා දුන්නේ ආධ්‍යාත්මික සන්තුෂ්ටිය සලසා ගත හැකි ධාර්මික විනෝදයයි. එමගින් ධාර්මික ආස්වාදයක් මෙන්ම ලොව්තුරු සුවයක්ද සලසා ගැනීමට මාර්ගය හෙළිදරව් වූයේය. බෞද්ධ උත්සව පින්කම් ආමිස පූජා විධි සහ චිත්ත සමාධියට ඉවහල් වන වින්දනීය මාධ්‍යයන් සිංහලයට හුරුවුයේ බෞද්ධ චින්තනයේ ප්‍රභාවයෙනි.

ආසියාතික සමාජ රටාව තුළ මුල්බැසගෙන තිබුණේ පුරුෂෝත්තමවාදී සංකල්පයයි. මේ නිසාම කාන්තාව සමාජයේ දෙවැනි පුරවැසි කාණ්ඩයට වැටී සිටි අතර, කාන්තා අයිතිවාසිකම් ද අහිමි වී තිබිණ. භාරතීය සමාජයේ වේද ගීතිකාවනට සවන්දීම පවා දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස සැලකුණු බවද මෙහිදී සිහිපත් කරනු වටී.

බුදු දහම මේ අසාධාරණයට ඍජුවම එරෙහි වන ඉගැන්වීමකි. ගැහැනියක වීම නිසාම යම් යම් සීමාවක් තිබීම සාධාරණ වුවද මානව අයිතිවාසිකම් භුක්ති විඳීමට ස්ත්‍රිත්වය කිසිසේත්ම බාධකයක් නොවන බව බුදු දහමේ ස්ථාවරයයි. ලාංකික කාන්තාවටද මේ උරුමය හිමිවූයේ මහින්දාගමනය නිසාය. මිහිඳු මාහිමියන්ගේ උපදෙස් මත සංඝමිත්තා මෙහෙණිය මෙරටට වැඩම කරවා භික්‍ෂුණි ශාසනය පිහිටුවීමෙන් තහවුරු වූයේ කාන්තා උරුමයයි. මේ රටේ පමණක් නොව දේශදේශාන්තරයන්හි පවා මානව සම්බන්ධතා ගොඩනගා ගනිමින් කිර්තියක් අත්කර ගන්නට ලාංකේය කාන්තා පක්‍ෂයට අවස්ථාව උදාවූයේ භික්‍ෂූණි ශාසනය තුළිනි.

බෞද්ධ සංස්කෘතිය තුළ බෙහෙවින් අගය කෙරෙන අංගයක් නම් අධ්‍යාපනයයි. භාෂා ශාස්ත්‍ර ශිල්ප, ලලිත කලා, විද්‍යා සහ සෞන්දර්ය ආදි සැම විෂය ක්‍ෂේත්‍රයක්ම නියෝජනය කෙරෙන අංගසම්පූර්ණ බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදායක් මේ රටේ ස්ථාපිත වූයේ මහින්දාගමනයේ ආශිර්වාදයෙනි. ගිහි පැවිදි, ස්ත්‍රි - පුරුෂ, භේදයකින් තොරව අධ්‍යාපන අවස්ථා ලාංකිකයාට උදාවූයේ ඒ අනුවය. මහා විහාරය,අභයගිරිය, ජේතවනය, ආදි ගුරුකුලයන් මෙන්ම අෂ්ඨායතන නමින් හැඳින්වුණු විශ්වවිද්‍යාල මට්ටමේ ප්‍රශස්ත අධ්‍යාපන ආයතන මේ රටේ බිහි වූයේද ඒ අනුවය. විචාර පූර්වක බුද්ධිමත් ජනතාවක් මේ රටේ බිහිවීමට පසුබිම වූයේද බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදාය බව අවිවාදිතය.

මහින්දාගමනයෙන් අපට උරුම වූ සාරධර්ම සියල්ල කැටි කොට ගත්කල අපට පෙනී යන්නේ, සෞන්දර්යය පි‍්‍රය කළ උගත් බුද්ධිමත් ප්‍රජාවක් සදාචාර සම්පන්නව, පරීක්‍ෂාකාමීව පවත්වා ගන්නට ප්‍රමාණවත් ආචාර්ය ධර්ම පද්ධතියක් අපට උරුම වූයේ මහින්දාගමනය නිසා බවය. බෞද්ධ සංකල්ප මගින් ශික්‍ෂණය ලත් සිංහලයා මානව වර්ගයාටම ආදර්ශයක් ගෙන දුන් මානව වර්ගයක් වූයේ ඒ අනුව බවය. මේ දැහැමි සමාජ රටාව අවශේෂ ලෝකයා කෙතරම් අගය කළේ ද යත්,ඔවුන් ලංකාව හැඳින්වූයේ ධර්මද්වීපය යන විශේෂණ පදයෙනි. මහින්දාගමනයේ අරමුණ වූයේද එවන් ධර්මද්වීපයක් තුළ එවන් දැහැමි මානව සමාජයක් ගොඩනැගීමය.ඒ අනුව අපට පැහැදිලි වන්නේ මහින්දාගමනයේ අරමුණූ සර්ව ප්‍රකාරයෙන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට බෞද්ධ ධර්ම දූතයන් වහන්සේලා සමත්වූ බව ය.

මීළඟට අපගේ අවධානය යොමු කළ යුත්තේ ඒ අන්දමින් ඉටු වූ අරමුණූ යාවත්කාලීනව ආරක්‍ෂා කරගනිමින් පවත්වා ගැනීමට අප සමත්වී තිබේද යන්න කෙරෙහිය.

මහින්දාගමනයත් සමඟ ස්ථිරසාර සංස්කෘතික පදනමක් මේ රටේ ස්ථාපිත වුණද,රටක් වශයෙන් ගෙවී ගිය වසර දෙදහසකට අධික කාල පරිච්ඡේදය පුරා විවිධ අර්බුදයන්ට මුහුණපෑමට සිදුවූ බව ඉතිහාසයෙන් හෙළිදරව් කෙරේ. ස්වභාවික ආපදා ඉන්දීය ආක්‍රමණ දේශපාලන ආරාවුල්, රාජ්‍ය තාන්ත්‍රික අර්බුද,බටහිර ආක්‍රමණ, ආගමික අර්බුද ආදිය මේ අතර වෙයි. ප්‍රබල රජුන් යටතේ රටත් සංස්කෘතියත්, බුදු සසුනත් ආරක්‍ෂා වූ අතර දුර්වල පාලකයන් යටතේ බරපතළ සාමාජික අවපාතයෙන් ද සිදුවී ඇත.

කාලයත් සමඟ ඇතිවූ මේ ව්‍යසනයන්හි සමස්ත ප්‍රතිඵලය ලෙස වර්තමානය වන විට මහින්දාගමනයෙන් තහවුරු වූ අරමුණු යම් ප්‍රමාණයකට අභියෝගයට ලක්වී ඇති බවක් පෙනෙන්නට තිබේ. එබඳු තත්වයන් බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩි විසූ සමයේ දී පවා සිදුවූ බව ශාසන ඉතිහාසයෙන් හෙළිදරව් වන නිසා වර්තමාන ආගමික සාමාජික හා සංස්කෘතික බිඳ වැටීම බරපතළ ලෙස කම්පාවීමට තරම් හේතුවක්ද නොවේ. එහෙත් ඒ බිඳවැටීම් යථාතත්වයට පත් නොකළහොත් අනාගතයේදි සිදුවිය හැකි අනර්ථය පිළිබඳව අප අවදියෙන් සිටිය යුතු ය.

මහින්දාගමනයේ සිට මේ රටේ සමාජයෙහි පෙර ගමන්කරුවා වූයේ භික්‍ෂුවය. මහින්දාගමනයෙන් මේ රටේ සංස්කෘතියට එක් වූ සාරධර්මයන් මෙතෙක් සමාජගතව පැවතියේ බුදුදහමත්, භික්‍ෂූන් වහන්සේලාත් නිසා බව අප අමතක නොකළ යුතුය.

එහෙත් භික්‍ෂු සමාජයේ අර්බුද ඇතිවීමට හේතු 4 ක් බුදුරජාණන් වහන්සේ විසින් දක්වනු ලැබ තිබේ. බාහුසච්ච මහත්තතා (උගත්කම වැඩිවී) ලාභග්ග මහත්තතා (ලාභ ප්‍රයෝජන වැඩිවීම) වේපුල්ල මහත්තතා (සම්පත් හා ධනය වැඩිවීම) සහ රත්තඤ්ඤුතා (කල්ගත වීම) යනු ඒ කරුණූ හතරයි. බුදුරදුන් ජීවමානව වැඩ සිටියදී භික්‍ෂූන් වෙනුවෙන් විනය ප්‍රඥප්ති පැනවීමට හේතුවූයේ ද මේ කාරණා හතරය.

මහින්දාගමනයේ අරමුණු වර්තමානයටත්, අනාගතයටත් පවත්වාගෙන යා හැකිය.

අපගේ ඓතිහාසික වගකීම ඉටුකළා වන්නේ එවිටයි.