Print this Article


බුදුදහම සහ නිදහස් චින්තනය

බුදුදහම සහ නිදහස් චින්තනය

බුදුදහම හැරුණු විට ලෝකයේ ප්‍රධාන ආගම් බොහොමයක්ම දේව කේන්ද්‍රීය ස්වභාවයෙන් යුක්තවන බව ප්‍රකට කරුණකි. ක්‍රිස්තු භක්තිකයෝද , හින්දු භක්තිකයෝද, ඉස්ලාම් භක්තිකයේ ද නූතන ලෝකයේ දේව කේන්ද්‍රීය වූ ආගමික ඉගැන්වීම් ගරු කරති. කිතුදහම සියල්ලට අධිපති දෙව්පියාණන් වහන්සේ කේන්ද්‍ර කර ගනී. හින්දු දහම තුළ දේව ඇදහිලි රැසක්ම සංකලනය වී ඇති අතර එහිලා ඔවුහු බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව දෙවියන් ත්‍රිමූර්තිය සේ ප්‍රමුඛත්වයෙහිලා ගනිති. ඉස්ලාම් ධර්මයට සර්ව බලධාරි අල්ලාහ් දෙවියන් වහන්සේ මුල්කොට ගෙන උගත්තකි. මෙසේ ‘ආගම’ නමින් අප දන්නා මානව චින්තනයන් බොහොමයක පදනම සර්වබලධාරි ඊශ්වරයෙකු මත ගොඩනගනු ලැබේ.ලෝකයේ ආදිතම යුගවල පටන් ආගම රඳවා තබන ලද්දේ දේවවාදය තුළයි.

බුදුදහම හැරුණු විට ලෝකයේ ප්‍රධාන ආගම් බොහොමයක්ම ශ්‍රැතිය ප්‍රමාණත්වයෙන් ගන්නා ලද බව ද ප්‍රකට කරුණකි. ක්‍රිස්තු, ඉස්ලාම්, හින්දු ආදි නූතන ලෝකයේ ප්‍රමුඛතම ආගම් සියල්ලෙහි ම ප්‍රමාණත්වයෙන් ගන්නාලද ශ්‍රැතියෙන්, ශුද්ධ ලියවිල්ලක් හෙවත් මූලික පරම පූජනීය ආගමික ග්‍රන්ථයක් දක්නා ලැබේ. හින්දුන්ගේ පාරම්පරික වූ ශුද්ධ ලියවිල්ල (ශ්‍රැතිය) වේදයයි.ඉස්ලාම් බැතිමතුන්ගේ සාම්ප්‍රදායික මූල ග්‍රන්ථය ශුද්ධ වූ කුරාණයයි. කිතුනුවන්ගේ පරමෝත්තම ආගමික මූල ග්‍රන්ථය වන්නේ බයිබලයයි.මෙසේ ආගම නමින් අප දන්නා මානව චර්යාවන් බොහොමයක් හැඩ ගස්වනු ලැබ ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන එනු ලබන පාරම්පරික වූ ශ්‍රැති සාහිත්‍යයක් පදනම් කොට ගෙනය. මෙයද ඓතිහාසික ලක්ෂණයකි. ආදියෙහි පටන්ම ආගම අර්ථවත් වූයේ දේවවාක්‍ය සේ විස්තර කරන ලද මූල ග්‍රන්ථ සම්ප්‍රදාය තුළය. මෙහි දෙවනුව දක්වන ලද ශ්‍රැතියත් මුලින් දක්වන ඊශ්වර සංකල්පයත් බොහෝ ආගම් වලදී  සම්බන්ධ වෙයි. ඒ අනුව දේවභාෂිතය ශ්‍රැතියෙන් ඇතුළත් යැයි ඒකමතිකව පිළිගනු ලැබේ.

එක් අතකින් සර්වබලධාරි දෙවියෙකුගේ ආධිපත්‍යයද,අනෙක් අතින් ශ්‍රැතියේ අනුල්ලංඝනීය ආධිපත්‍යයද බොහෝ ආගම්වල මිනිසාගේ නිදහස් චින්තනයට බඳින ලද වැටකඩොලු සේ සැලකිය යුතුය. විචාරයට ,විවේචනයට ,ප්‍රශ්න කිරීමට ඉඩක් නැති භක්තිය මේ තත්ත්වයට මුල්වී තිබේ. දෙවියන්ද ශ්‍රැතියට අන්ධ භක්තියෙන් ඇදහීමට අනුගාමිකයෝ බැඳී සිටිති.

අන්තගාමී ආගමික මතිමතාත්නර නමැති දෘෂ්ඨිමය බන්ධනයන්ගෙන් මිදී, ෂඪමත්ව විචාර පූර්වකව, විමංසනාත්මකව නිදහස් මැදිහත් චින්තනයෙන් යුතුව ජීවිතය හා ලෝකය පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දැක්මට මඟ පෙන්වන ශ්‍රේෂ්ඨ ධර්ම මාර්ගයක් වශයෙන් බුදුසමය අනෙක් ආගම්වලින් වෙනස්වෙයි.සිතීමේ හා විමැසීමේ නිදහසත් යථාර්ථය තමන් විසින්ම දැන දැක පසක් කරනු පිණිස එකී නිදහස් චින්තන ක්‍රමයේ අවශ්‍යතාවක් බුදුසමය පැහැදිලිව අවධාරණය කරයි.

බුදුදහම භාරතයේ පහළ වූයේ හානිකර ගතානුගතිකත්වය හා අවිචාරවත් අන්ධ භක්තිය නමැති බැම්මෙන් මිනිසාගේ නිදහස් චින්තනය ආවරණය කරනු ලැබ පැවති අවධියෙක බව මෙහිදී අමතක නො කළ යුතුය. එක් අතකින් වෛදික බ්‍රාහ්මණ ශ්‍රැති පරපුර විසින් කරන ලද දැඩි බලපෑම් හේතුවෙන් මිනිසාගේ නිදහස් චින්තනය වැළලී ගොස් තිබුණි. පිළිගත යුතුමයැයි බලකරන ලද දේවභක්තිය වේදය මගින් සමාජය වෙත ප්‍රදානය කරන ලදී. එහි ඇතුළත් දේවධර්මය අරබයා නිදහස්ව,නිවහල්ව සිතීමට විමැසීමට ප්‍රශ්න කිරීමට ඉඩක් නොලැබුණි. මූලික ආගමික ග්‍රන්ථවල සඳහන්ව ඇති නිසා,පාරම්පරිකව ගුරු සිසු පිළිවෙළින් පැවත එන නිසා, පරම පූජනීය උතුමන් විසින්ම පැවසූ නිසාම එම වෛදික බ්‍රාහ්මණ අදහස් අන්ධභක්තියෙන් පිළිගත යුතුව තිබිණි.අනෙක් අතින් අනේකවිධ දෘෂ්ටි ජාලයන්ගෙන් එවකට භාරතීය චින්තනය ව්‍යාකූලව පැවතියේය. ඒ අනුව ශාශ්වත උච්ඡේදාදී දෘෂ්ටිමය අන්තවාදයන්හි මිනිසාගේ නිදහස් චින්තනය සිරකරණූ ලැබ තිබිණි, “මෙයම සත්‍යය, අන් සියල්ල අසත්‍යයැ,”යි ස්වමත මණ්ඩනයේ හා පරමත ඛණ්ඩනයෙහි දී නිරත වූ මහණ බමුණෝ මැදිහත් විචාරපූර්වක නිදහස් චින්තනයෙන් බැහැර වූහ.මෙම තත්ත්වය සුත්ත නිපාතයේ අට්ඨකපරායණ වග්ග, දීඝනිකායේ බ්‍රහ්මජාලාදි සූත්‍රයන්හි සවිස්තරව පෙනේ. මෙසේ අන්ධ භක්තිය මත රැඳුණූ වෛදික ශ්‍රැති සාහිත්‍ය ගුරුකොට ගත් බ්‍රාහ්මණ ආගමික පරිසරය තුළ මෙන්ම ශාශ්වත උච්ඡේදවාදී දෘෂ්ටිමය අන්තවාදයන්හි හිරවූ දාර්ශනික පරිසරය තුළ නිදහස්ව නිවහල්ව සිතීමෙන් විමැසීමෙන් ක්‍රියා කිරීම පිණිස ප්‍රමාණවත් අවසරයක් නොවීය. උපනිෂද් සාහිත්‍යයෙන් ප්‍රකට කෙරෙන බුද්ධිවාදි තර්කයට කෙමෙන් යොමුවන පරිසරය හා ඉන්ද්‍රිය බද්ධ භෞතික අනුභූතිය පමණක් පිළිගත් චින්තකයන්ගේ අවධියද විමැසීමෙන් භාරතීය දර්ශනය කෙමෙන් විචාර පූර්වක විමංසනශීලි ස්වභාවයට නැඹුරු වෙමින් පවත්නා අයුරු මේ අතර පෙන්නුම් කෙරේ. එහෙත් මුල් උපනිෂද් ග්‍රන්ථවල ද සාම්ප්‍රදායිකත්වය තදින්ම පෙනේ. කෙසේ නමුදු බුදුසමය භාරතයෙහි පහළ වූයේ වහල් චින්තනයේ බැමි කෙමෙන් දෙදරා යමින් පැවති අවධියක බව පෙනෙයි. අන්ධ භක්තිය හා පාරම්පරික ආගමික ස්ථාවරයන්හි කිසියම් අර්ථවත් කැලඹීමක් මේ වන විට ප්‍රදර්ශනය විය.

ජීවිතය හා ලෝකය පිළිබඳ ඇතිවන ඇති සැටියෙන් පිරිසිදු දැක්මට නිදහස්ව නිවහල්ව,ස්වාධීනව, විචාර පූර්වකව සිතීම් විමැසීමේ අවශ්‍යතාවය බුදුන් වහන්සේ විසින් කාලාම, වීමංසක ආදි සූත්‍රාන්තයන් මඟින් හෙළි කරන ලදී.ජීවිතයේ යථාර්ථය පිරිසිඳ දක්නා තුරු පවත්නා අසහන අසම්පූර්ණතා ආදියෙන් මිදිය නොහැකිය. අර්ථ සම්පන්න වූ මෙම සත්‍යය විධිමත් විචාර පූර්වකව ආර්ය පර්යේෂණය තුළින් ලැබිය යුතු ප්‍රත්‍යක්ෂණයකි. අවිචාරවත්ව අන්තගාමීව න්‍යායවාදයන්හි එල්බ සිටීම සත්‍ය දැකීමට බාධාවකි.මේ අදහස මේ මතය සත්‍යය අනෙක අසත්‍යය යැයි පූර්ව නිගමනවලට එළඹීම මුලාවකි. යම් කරුණක් ධර්ම විනයට එකඟ යැයි කී පමණින්ම නොපිළිගත යුතුය. ප්‍රතික්ෂේප ද නොකළ යුතුය. යෝනිසෝ මනසිකාරය නොවේ නම් මූල, මැද ,අග යහපත් විමසුම්ශීලි බවින් සොයා තමන් විසින්ම දැන දැක පසක් කිරීමට බුදුදහමින් උගන්වන ලදී. කිසිත් මතවාදයක් කර තබා නොගත යුතුය. බුද්ධ ධර්මය වුවද දෘෂ්ටිමය මතවාදයක්සේ කරගසා ගැන්ම වරදකි. පාරම්පරික බව,පොතපතෙහි ඇතුළත්ව තිබී, ගුරු සිසු පරපුරින් පැවත ඒම, නිසා දෝ දේශනා කරන්නා වියතෙකු ගරුකළ යුත්තෙකු වීම නිසා හෝ නො පිළිගත යුතුය. තර්කයට , න්‍යායට ,මතවාදයට ගැළපෙන නිසා හෝ නො පිළිගත යුතුය. තමන් විසින්ම නිදහස්ව සිතා විමසා සත්‍ය හෝ අසත්‍යය දත යුතු යැයි කාලාම සුත්‍රයෙහි උගන්වයි. බුදුරදුන් ගැන වුවද අවිචාරවත්ව නොපැහැදිය යුතුය. විමංසනයෙන් දත යුතුය. එබඳු විචාර පූර්වක පැහැදීම උතුම්යැ යි විමංසක සූත්‍රය උගන්වයි. බුදුබණෙහි ගුරු මුෂ්ටි නැත. බුදුවරු හුදෙක් මඟ කියා දෙන්නෝය. ධර්මය ඒහි පස්සිකය. එව බලවයි දැක්විය හැක්කේය. එය විවෘත වූ තරමට බලයි. මෙසේ එවකට පැවති පාරම්පරික වෛදික චින්තන ක්‍රමයේ වහල් බැමි බිඳ දමා නිදහස් චින්තනය පිබිදවීම යුගයේ අවශ්‍යතාවයක් විය.

අවිචාරවත් අන්ධ භක්තිය සැබැවින්ම යථාර්ථය දැක්මට බාධාවකි. බුදුදහමෙහි එය හඳුන්වා ඇත්තේ “අමුලිකා සද්ධා “යනුවෙනි. අහේතුකව අකාරණව ඇති කරගත් මෝඩ පැහැදීමක් වන එය සැබැවින්ම අවිද්‍යාවේ ප්‍රතිඵලයක් වේ. විචාර පූර්වකව සහේතුකව, සකාරණව ඇතිකරගන්නා ප්‍රසාදය”ආකාරවතී සද්ධාවයි” බුදුදහම එයට අගය කරයි. අලගප්දූපම සූත්‍රයට අනුව ද අවිචාරවත් අන්ධානුකරණයෙන් යුතුව බුද්ධ ධර්මය වුණද දෘෂ්ටියක් සේ ග්‍රහණය නොකළ යුතුය. “ මහණෙනි, මවිසින් පහුරකට උපමා කොට ධර්මය දේශනා කරන ලදී. එය දුක් සහිත වූ මේ සයුරින් එතෙරවනු පිණිස මිස නොව ග්‍රහණය කරනු පිණිස නොවේ.” මෙය ආගම පිළිබඳ ඉතිහාසයේ විප්ලවීය ප්‍රකාශයයි. ශ්‍රාවකයින් විසින් බුදුදහම වුවද අන්ධ භක්තියෙන් කරතබා ගෙන යාම බුදුන් වහන්සේ අනුමත නො කළහ.

දීඝ නිකායෙහි තේවිජ්ජ සූත්‍රයේ ආගමික දේශනාවන් සම්ප්‍රදායිකව ගායනා කරමින් ගුරු සිසු පරපුරින් බැතිමත්ව අවිචාරවත්ව පවත්වාගෙන ගිය බමුණූ පරපුර හඳුන්වා ඇත්තේ එකිනෙකාගේ කණවැල අල්ලාගෙන යන අන්ධයන්ගේ ක්‍රියාවකටය. මුලින් යන්නෝද මග නොදනිති. මැදින් යන්නෝ ද මඟ නොදනිති. අගින් යන්නෝද මඟ නොදනිති.චුල්ලහත්ථි පදෝපම සූත්‍රය අනුව ත්‍රිවිධ රත්නය පිළිබඳව ද ශ්‍රාවකයන් විසින් විචාර පූර්ණකව සංසන්දනාත්මක විමසීමෙන් ක්‍රියාකළ යුතුය. බ්‍රහ්මජාල සූත්‍රය අනුව ත්‍රිවිධ රත්නය පිළිබඳව අන් අය විසින් කරනු ලබන විචාර විවේචනවලදී මෙන්ම පැසසුම් ඇගයීම්වලදී ද ශ්‍රාවකයන් මධ්‍යස්ථ විය යුතුය. එවැනි විටෙක කුපිතවීම මෙන්ම උදම්වීම ද අන්‍යයන්ගේ ප්‍රකාශ විමසුම්ශීලිව යථාර්ථයෙන් වටහා ගැනීමට බාධාවකි. ධර්මය බබළවන්නේ විවෘත වූ තරමටය. ආවෘත වූ විට නොවේ.බුදුරදුන් වදාළ ධර්ම විනය විවෘතය.හේතුව කුමක්ද? නිදානය කුමක්ද? ප්‍රත්‍යක්‍ෂ කුමක්දැයි නිදහස්ව සිතීමෙන් විමැසීමෙන්ම යථාර්ථය දැන පවත්නා අසහන අසම්පූර්ණතාවලින් අත්මිඳිය යුතුයැ යි බුදුසමය උගන්වයි.