Print this Article


අසමසම නායකත්ව ගුණය

අසමසම නායකත්ව ගුණය

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසමසම නායකත්ව ලක්‍ෂණ විමසා බලන විට අද වැනි දවසක අනුබුදු මිහිඳු හිමියන් මේ රටට ධර්මය හඳුන්වා දුන් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය පිළිබඳ ද සඳහන් කළ යුතුය.මෙම සූත්‍රය ආරම්භවන්නේ පිලෝතික නම් පරිබ්‍රාජකයා විසින් ජානුස්සොනිය නම් ධනවත් බ්‍රාහ්මණයාට බුදුරදුන්ගේ අසාමාන්‍ය නායකත්ව ලක්‍ෂණ පිළිබඳ කරන ලද විස්තර වර්ණනාවෙනි. මේ ගුණ වර්ණනාව ඇසූ ජාන්‍රස්සෝනිය බමුණු තෙමේ සුදු අසුන් යෙදූ රථයෙන් බැස බුදුරදුන් වැඩ සිටි දිසාවට හැරී දෑත නළලේ තබා වන්දනා කළේ. ‘නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස’ යන වන්දනා පාඨය කියමිනි. එම පාඨය ලෝකයේ බෞද්ධ ජනතාව බුදුරදුන්ට වන්දනා කරන නමස්කාර පාඨය බවට පත්විය.මෙම සූත්‍රයෙන් ප්‍රකට කෙරෙන්නේ අප බුදුරදුන්ගේ අසමාන නායකත්ව ලක්ෂණ හා ප්‍රඥා මහිමයයි.

එසේම බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශේෂ ගුණයන් ප්‍රකාශ කරමින් උන්වහන්සේ හඳුන්වන්නා වූ වචන දහසකට ආසන්න ප්‍රමාණයක් පිටක ග්‍රන්ථයන්හි සඳහන් වේ. මේ නම් එක්රැස්කොට බුද්ධනාම විශ්වකෝෂයක් පවා මුද්‍රණය කොට ඇත. එසේම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය පිළිබඳ එදා මෙදා තුර ලියැවී ඇති විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඇති ග්‍රන්ථ රාශිය අන් කිසිදු ආගමක් හෝ දර්ශනයක් පිළිබඳ පළකොට නැති තරම්ය. උන්වහන්සේ විසින් පුරා පන්සාළිස් වසක් දේශනා කරනලද ධර්මය සද්ධර්ම සාගරය යනුවෙන් හඳුන්වාදී මට පෙළැඹුණේ එහි ඇති ගාම්භීරත්වය හා විශාලත්වය කියා පෑමටය. ඈත ඉතිහාසයේ පටන් බුදුදහම ලොව පුරා දේශ දේශාන්තරයන්හි ව්‍යාප්ත වූයේත් බොහෝ ජනයා අතර ප්‍රචලිත වූයේත් කිසියම් ආක්‍රමණකාරි වූ හෝ හිංසාකාරිවූ හෝ පිළිවෙතකින් නොව සාමයේ, සහජීවනයේ හා අවිහිංසාවාදයේ නිදහස් පණිවිඩයක් ලෙසිනි.

වසර දෙදහස් පන්සියයක ආයු කාලයක් ඇති කිසිදු සංවිධානයක් හෝ දර්ශන සම්ප්‍රදායක් ලොව තිබේනම් ඒ බෞද්ධ සමාජ සංවිධානය හා බෞද්ධ දර්ශන සම්ප්‍රදාය පමණි. මේසා දීර්ඝ කාලයක් බෞද්ධ සංඝ සමාජ සංවිධානය පැවැත්මේ රහස කුමක්ද? එයට ප්‍රබල හේතුව වන්නේ මෙම සම්ප්‍රදාය බිහිකළාවූ ශාස්තෘවරයාගේ අසහාය නායකත්ව ලක්ෂණත් උන්වහන්සේ දේශනා කළ ධර්මයේ විශ්වසනීයත්වය හා අකාලික ලක්‍ෂණත්ය. අද වැනි උතුම් දිනෙක, බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් මතුවන නායකත්ව ලක්ෂණයෙන් බිඳක් පරික්‍ෂාකර බැලීම අපගේ ජීවිතවලට මහඟු වටිනාකමක් ගෙනදෙනු ඇත.

‘නායකයා යනු කවරෙක්ද? ‘ නයතීති නායකො’ අනුගාමිකයන් පිරිසක් කිසියම් අරමුණක් කරා පමුණුවන අර්ථයෙන් නායකයා නම් වන්නේය. දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය යන සියලු දෙනාට අග්‍ර නායකයා වූ බැවින් බුදුරජාණන් වහන්සේ ‘ලෝකග්ග නායකො’ නම් වන සේක. නායකත්වයක් බිහිවන්නේ අනුගාමික පිරිසක් බිහිවීමෙනි. මෙහිදී නායකයාට කිසියම් අරමුණක් තිබිය යුතුය. ඒ අරමුණ ජය ගැනීමට හැකියාවක් ඇති බවට අනුගාමික පිරිසට විශ්වාසයක් ජනිත විය යුතුය.බුදුන් වහන්සේ මෙතෙක් කිසිවකු පසක් කර නොගත් සසර දුකෙන් නිදහස් වීමේ අරමුණ තමන් වහන්සේ විසින් පළමුව පසක් කරගනු ලැබ සිටිසේක. අනතුරුව තමා ප්‍රත්‍යක්ෂ කර ගත් ධර්මය දුක්විඳින සත්වගට අවබෝධ කරවීමට උත්සාහ ගත්සේක. මෙසේ උන්වහන්සේ වටා උන්වහන්සේගේ දහම වටා එක්රැස්වූ පිරිස බෞද්ධ ශාසනික සම්ප්‍රදාය බිහිකිරීමට කැපවූහ. බුද්ධ චරිතය හා බැඳුණ නායකත්වයේ ලක්ෂණ මෙසේ සංක්‍ෂිප්ත කොට දැක්විය හැකිය.

* බුදුන් වහන්සේ මහා කරුණාවෙන් සහ මහා ප්‍රඥාවෙන් යුක්ත වීම

* කිසිවකුට අභියෝග කළ නොහැකි දහමක් පසක්කොට ගැනීම

* කැපී පෙනෙන පෞරුෂයකින් යුක්තවීම

* සංවිධානයේ සියලු දෙනාගේ දායකත්වය ලැබීමට හැකිවීම

* තමන් පසක්කරගත් ධර්මය පොදු ඉලක්කයක් බවට පත්කිරීමේ හැකියාවක් තිබීම.

* බලකිරීමකින් තොරව අනුගාමිකයන් ඉලක්කය සපුරා ගැනීම

* තමන් වහන්සේගේ නායකත්වය නැතිවද අරමුණූ හා පරමාර්ථ ක්‍රියාත්මක කෙරෙන සංවිධානයක් ගොඩනැඟීම.

සම්මා සම්බුදුවරයකු ලොව පහළවන්නේ තමන්ද දුකින් එතෙරව දුක්විඳින සත්වග දුකින් මුදාලීමේ මහාකරුණාවත් ප්‍රඥාවත් නිසාය.

බුද්ධො හං බොධයිස්සාමි
මුත්තො හං මොචයෙ පරෙ
තිණ්ණො හං තාරයිස්සාමි
සංසාරොඝා මහබ්භයා

“මම ප්‍රථමයෙන් බුද්ධත්වයට පත්ව සෙසු සත්වයන්ටද ධර්මාවබෝධය ලබාදෙමි. මම සසර දුකෙන් මිදී සෙසු සත්වයන් දුකෙන් මුදවාලමි. බියකරු සංසාර සැඩ පහරින් මම එතෙරවී සෙසු අයද ඉන් එතෙර කරලමි” මේ සැබෑ නායකයාගේ ලක්‍ෂණයි. අනුන්ගේ අර්ථය විනාශ කොට සිය අරමුණු සඵල කරගැනීම නොව තමා දිනාගත් අරමුණු අන්‍යයන්ටද සාක්ෂාත් කරලීමට කටයුතු කිරීම මහා කරුණාවේ හා මහා ප්‍රඥාවේ ස්වභාවයයි.

මජ්ඣිම නිකායේ චූලසච්චක සූත්‍රයෙහි, බුදුරදුන් පසක්කරගත් අරමුණු පහක් පිළිබඳ සඳහන් වේ. එනම් බෝධි, සමථ, දමන,තරණ සහ නිර්වාණ යනුවෙනි. බුදුන්වහන්සේ පළමුව මෙකී අරමුණු පසක් කර ගනිමින් සෙසු අයටද එය පසක් කර දීමට කටයුතු කළසේක. ’බුද්ධො සො බොධාය ධම්මං දෙසෙති. සන්තො සො සමථාය ධම්මං දෙසෙති. දමතො සො දමතාය ධම්මං දෙසෙති.’ බුද්ධත්වයට පත්වු උන්වහන්සේ අන්‍යයන්ට දහම අවබෝධ කරවීමටත් ඉඳුරන් දමනය කළ උන්වහන්සේ අන්‍යයන්ගේ ඉඳුරන් දමනය සඳහාත් කෙලෙස් සංසිඳවූ උන්වහන්සේ අන්‍යයන්ගේ කෙලෙස් සංසිඳවීම සඳහාත්, සසර දුකින් එතෙරවූ බුදුරදුන් අන්‍යයන් සංසාර දුකෙන් එතර කරවා ඔවුනට නිර්වාණාවබෝධය ලබාදීම සඳහාත් සදහම් දේශනා කළ සේක.

බුදුරදුන් සේම අනුගාමිකයෝද සසර දුකින් එතෙරව අන්‍යයන්ද දුකින් මුදවාලීමට කැපවූහ.ප්‍රථම ධර්ම දූත සැට නමට ඉතා කෙටි කාලයක් තුළ එම අරමුණ මල්ඵල ගැන්වීමට හැකි වූයේ බෝධි, දමන,සමථ, තරණ සහ නිර්වාණ ධර්මයන් පසක්කර ගත් නිසාය. මඩෙහි එරෙන කෙනකු මුදවාගත හැක්කේ මඩෙන් ගොඩට පැමිණියකු හටය. බුදුරදුන්ගේ නායකත්වයෙන් ප්‍රකට කළේ මේ ධර්මතාවයි.

බුද්ධත්වයෙන් අනතුරුව ඉතා කෙටි කාලයක් තුළ සංඝ සමාජ සංවිධානය ගිහි -පැවිදි, ස්ත්‍රි -පුරුෂ, තරුණ-මහලු යන සියලු තරාතිරමේ ශ්‍රාවක සංඝයාගෙන් සමන්විත විය. එකල පැවැති බ්‍රාහ්මණ චතුර්වර්ණ නම් කුල ක්‍රමය මත ගොඩනැඟුණූ සමාජ සංවිධානයට විකල්ප වශයෙන් භික්ෂු භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසෙන් සමන්විත බෞද්ධ සංඝ සමාජය පිහිටුවීමට බුදුරදුන්ට හැකිවිය. විසි වසරක් ගෙවෙන තුරු අවවාදයෙන් පමණක් පාලනය වූ සංඝ සමාජය ක්‍රමයෙන් වැඩීයත්ම සංකීර්ණත්වයට පත්විය. භික්‍ෂූන්ගේ සංවර බවෙහි වෙනස්කම් ප්‍රදර්ශනය විය. විනය නීති පනවන ලද්දේ මෙකී පරිහානි ලක්‍ෂණ වශයෙන් පහළ වු ‘ආසවම්ඨානීය’ ධර්ම ප්‍රදර්ශනය වීමත් සමඟය. සුදුසු අවස්ථාවේ දුරදිග දක්නා නුවණින් ශාසනයේ සුරක්‍ෂිතතාව සඳහා විනය නීති පැනවීමේ තීන්දු තීරණ ගැනීම බුදුරදුන්ගේ නායකත්වයේ සුවිශේෂ ලක්‍ෂණයක් ප්‍රකට කරයි.

බුදුරදුන් හා සමකාලීනව විසූ, විශාල ශ්‍රාවක පිරිසක් පිරිවරාගෙන සිටි නිගණ්ඨනාථ පුත්ත ශාස්තෘවරයා පාවා නුවරදි කලුරිය කළේය. උන්වහන්සේගේ අභාවයත් සමඟ ශ්‍රාවකයෝ නායකත්වය සඳහා කුළල් කා ගත්හ. මේ බව බුදුරදුන්ටද අසන්නට ලැබිණි. තම ශාසනයට ද මෙබඳු ව්‍යසනයකට ඉඩ නොතබමින් සංඝ සමාජය දිගු කලක් පවතින තිරසාර ක්‍රමයකට සංවිධාන ගත කරන ලදී. පුද්ගල නායකත්වය මත ගොඩනැ‍ෙගන සමාජ සංවිධානයක් දිගු කලක් නොපවතින බව දුටු බුදුන් වහන්සේගේ ධර්ම විනය යටතේ පාලනය වන ආකාරයට ශාසනය සංවිධානය කළ සේක.

වරක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා මෙසේ පැවසූ සේක. “ආනන්ද, සංඝයා මා කෙරෙහි පවතීය කියා හෝ මම සංඝයා පරිහරණය කෙරෙමියි කියා මට නොහැඟේ” ශ්‍රාවක පිරිස බුදුරදුන් තම අසහාය නායකයා ලෙස සිතුවත් උන්වහන්සේ සංඝ සමාජය ගොඩනැඟුවේ තමන් එහි නායකයා වශයෙන් පෙනී සිටීමේ අදහසෙන් නොවේ. තමන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද ශ්‍රී සද්ධර්මයම ගුරු තන්හි ලා උන්වහන්සේ කටයුතු කළ සේක.

“සො ධම්මං පස්සති-සො බුද්ධංපස්සති ” කෙනෙකු බුදුරදුන් දැකිය යුත්තේ උන්වහන්සේගේ භෞතික කය තුළින් නොව ධර්මාවබෝධය තුළිනි. මෙම ක්‍රමයට අනුව, බුදුරදුන් ජීවමානව නොසිටින කාලයක වුවද කෙනකුට ධර්මය ඇසුරු කරමින් විනයට අනුගත වෙමින් ස්වයං පාලනයකට අනුව පැවැතිය හැකිවේ. පන්සාලිස් වසක් බුදුරදුන් දේශනා කළ ධර්මය එක්තැන්කොට බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව ඉක්මනින් ධර්ම සංගායනාවක් සිදු කළේ සංඝ සමාජයේ පැවැත්ම හා සුරක්‍ෂිතාව සඳහාය. මෙසේ නායකයා නැතිව වුවද වසර 2500 ක් සංඝ සමාජයේ පැවැත්ම තහවුරු වූයේ අප බුදුරදුන්ගේ මේ අසහාය තීක්ෂ්ණ නායකත්වයේ ආදර්ශය නිසාය. බුද්ධචරිතයෙන් දිස්වන තවත් සුවිශේෂ නායකත්ව ලක්‍ෂණයක් නම් අල්පේච්ඡතාවයි. ඍද්ධිමතුන් අතර ඍද්ධිමත්, තේජස්වීන් අතර තේජවන්ත බුදුන්වහන්සේගේ චරිතයෙහි අල්පේච්ඡතාව කැපීපෙනුණි. සරල චාම් සංතෘප්ත ලක්‍ෂණ ඇති උන්වහන්සේ හැසිරුණේ බොහෝ සැහැල්ලු ලෙසය. මෙකී ගුණ එකක් හෝ අන්‍ය ශාස්තෘන් කෙරෙහි තිබුණේ නම් ඒ අනුගාමිකයෝ කෙසේ හැසිරෙනු ඇත්දැයි වරක් සැරියුත් හිමියන් උදායි භික්‍ෂුවගෙන් විචාරා ඇත.

“උදායිනි, සම්බුදු වූ තථාගතයෝ මෙසේ මහත් ඍද්ධි ඇත්තෝද මහත්තෙද ඇත්තෝද එහෙත් තමන් නොම හෙළිකරන්නෝය. උදායිනි, තථාගතයන්ගේ අල්පේච්ඡ බව සංතෘප්ත බව සල්ලේඛතාව (සැහැල්ලු පැවැත්ම) කොතරම් ඓශ්චර්යමත්ද? උදායිනි මෙයින් එකක්වත් අන්‍ය තීර්ථකයන් කෙරෙහි දක්නාහු නම් එපමණකින්ම ඔවුහු කොඩි ඔසවාගෙන නුවර සිසාරා ඇවිදුනාහ ” සැරියුත් හිමියන්ගේ මෙම ප්‍රකාශයෙන් බුදුරදුන්ගේ අපූරු නායකත්වයේ ආදර්ශය පිළිබිඹු කෙරෙයි.

බුදු සිරිතෙහි කැපීපෙනෙන තවත් විශේෂ ලක්‍ෂණයක් නම් එහි ඇති විනිවිද බවයි. අව්‍යාජත්වයයි. බුදුන්වහන්සේ තම ශ්‍රාවකයන්ට බුදුසිරිත විමර්ශනයට ලක්කිරීමට ඉඩකඩ ලබා දුන්සේක. මජ්ඣිම නිකායේ වීමංසක සූත්‍රයෙහි ඒ බව මෙසේ දැක්වේ. “මහණෙනි, ඇසට පෙනෙන කනට ඇසෙන දෝෂයක් මාවෙත තිබේද? මා යහපත් ලෙස හැසිරෙන්නේ කිසිවකුට බියෙන් දැයි ඔබට සිතෙනවාද? මාගේ යහගුණ ඊයේ පෙරේදා ඇතිකරගත් ඒවා දැයි ඔබට සිතෙනවාද? ” මෙසේ විමර්ශනයට ශ්‍රාවකයන්ට ඉඩදුන් බුදුන් වහන්සේ තමන් වහන්සේ සම්මා සම්බුදුවරයකුද එසේ නොවේද යන්න පවා පරීක්‍ෂා කිරීමට ශ්‍රාවකයන්ට ඉඩ ලබා දුන් සේක.

බුදුසිරිතේ තවත් සුවිශේෂ නායකත්ව ලක්‍ෂණයක් නම් කියන දෙය කරන, කරන දෙය කියන, යථාවාදි තථාකාරි යථාකාරි තථාවාදි ගුණයයි. බුද්ධත්වයත් පරිනිර්වාණයත් අතර උන්වහන්සේ කළ කී දෑ සියල්ල තිරසාරය. පරස්පර විරෝධි නොවන්නේය.අවස්ථාවෙන් අවස්ථාවට වෙනස්වන ධර්මයක් උන්වහන්සේ නොදෙසූහ.ලොව පහළ වූ බොහෝ දාර්ශනිකයන් විද්‍යාඥයන් තරුණ වයසේ දැරූ අදහස් මහලු වියේදී වෙනස්කොට ඇතත් බුද්ධ දේශනයත් බුද්ධ චරිතයත් එසේ නොවුයේය. එහි පරස්පර විරෝධි බවක්, විසංවාදයක් නොමැත.

කෙනෙකුගේ බාහිර පැවැත්ම පැහැදීමට හේතුවක් වුවත් එපමණකින් මුළා නොවී ඉක්මන් තීරණ ගත යුතු නොවේ. සත්ත ජටිල සූත්‍රයෙන් බුදුන් වහන්සේ කොසොල් රජුට දුන් උපදේශය එයයි. කොසොල් රජතුමා රාජ්‍යයේ ඔත්තු බැලීමට යැවූ පැවිදි වෙස් දැරූ ජටිලයන්ට වැඳ බුදුරදුන් හමුවට පැමිණි අවස්ථාවේ මෙම කාරණය උන්වහන්සේ රජුට පැහැදිලි කළ සේක. බුදුරදුන්ගේ තීක්‍ෂ්ණ ප්‍රඥාවට රජතුමා ප්‍රසාදය පළ කළේය. සකුළුදායි සූත්‍රයෙන් මේ බව මනාව හෙළි කරයි. සකුළුදායි බුදුරදුන් කෙරෙහි තමාගේ පැහැදීමට හේතුපහක් දක්වයි. එයින් එක් හේතුවක් වූයේ, බුදුරදුන් අල්ප අහාරයෙන් යැපෙන්නාවූ එහි ගුණ කියන්නාවූ කෙනකු වීමයි.

බුදුරජාණන් වහන්සේ සකුළුදායිගේ මෙම කරුණ නිවැරැදි කළ සේක. “සකුළුදායි, යමකු මා අල්ප ආහාර ගන්නකු බැවින් එයට පැහැදුණේ නම් ඔහු මට වඩා අඩු ආහාර ගන්නාවූ කෙනකු දුටුවිට ඔහු කෙරෙහි පැහැදෙනවා නොවේද? ඒවගේම මම සාමාන්‍යයෙන් අල්ප ආහාරයෙන් යැපෙන කෙනකු වුවත් සමහර දිනක පාත්‍රය පුරවා ගෙනත් පිණ්ඩපාතය වළඳන්නෙමි “ මෙම ප්‍රකාශයෙන් බුදුරදුන්ගේ අව්‍යාජ චරිත ස්වභාවයත් උන්වහන්සේගේ චරිතයේ ඇති පොදු මිනිස් ගති ලක්ෂණ මනාව පෙන්නුම් කෙරේ. එහිදී බුද්ධිමත් ජනතාව බුදුන් වහන්සේ කෙරෙහි පැහැදී සිටින්නේ ඊට වෙනස් කරුණු පහක් නිසා බවද සකුළුදායිට කරුණාවෙන් පැහැදිලි කළ සේක. බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානයෙන් යුක්තවීම එහි පස්වැනි කරුණ විය. සර්වඥතා ඥානය ලබාගත් අන්කිසිවකු නොමැති බැවින් බුදුරජාණන් වහන්සේ ලොව අග්‍රනායකයාණෝ වෙති.