Print this Article


පොසොන් මහ පෙරහර

ශ්‍රී දළදා මාලිගාව

මහනුවර ශ්‍රී දළදා මාලිගාව පොසොන් පෙරහර ජූනි 23 දින සවස ශ්‍රී දළදා මාලිගා මහවාහල්කඩ අභියසයෙන් පිටත්ව වීදි සංචාරය කෙරේ. කරඬුව වැඩමවාගත් ඇත් රාජා ඇතුළු මාලිගාව ඇත් පන්තියේ අලි ඇතුන් ඇතුළු ශ්‍රී දළදා මාලිගාවට සම්බන්ධ කලාකරුවන්ගේ කණ්ඩායම් පොසොන් පෙරහරේ ගමන් කරනු ඇත.

පොසොන් පෙරහර ආරම්භ කිරීමට පළමුව මල්වතු අස්ගිරිමහා විහාරයන්හි උපසම්පදා පෙරහර දෙක ශ්‍රී දළදා මාලිගාවෙන් වාහලනාගයින් වැඩමවාගෙන මල්වතු අස්ගිරි මහා විහාර උපෝෂථාගාරය කරා ගමන් කෙරේ. වෙසක් පෝයදිනයෙන් ආරම්භ කරන ලද උපසම්පදා මංගල්‍ය මෙම පොසොන් පෝය දිනයෙන් අවසන් කෙරේ.

පොළොන්නරුව ගල් විහාරය

පොළොන්නරුව ඓතිහාසික ගල්විහාරයේ පෙරහර හා පෝයට සමගාමීව පවත්වනු ලබන පොළොන්නරුව ශ්‍රී දළදා පෙරහර ජූනි 24 වෙනි දින සොළොස්මස්ථානාධිපති, අස්ගිරිය මහා විහාරකාරක සංඝ සභාවේ සභික අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රජමහ විහාරාධිවාසි වේඩරුවේ උපාලි නාහිමිගේ අනුශාසකත්වයෙන් අලංකාර අන්දමින් පැවැත්වීමට විධිවිධාන යොදා ඇත.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහරට ඇතුළත් සංස්කෘතික අංග ඇතුළත්ව සෑම වසරකම ගල්විහාරයේ දළදා පෙරහර උපාලි නාහිමි විසින් සංවිධානය කෙරේ. - කේ. බණ්ඩාරනායක

තිස්සමහාරාම

තිස්සමහාරාම පොසොන් මහා පුණ්‍ය උත්සවය හා රුහුණු පොසොන් පෙරහර තිස්සමහාරාම සඳගිරිය උභය රාජමහා විහාරාධිපති මාතර කන්දබඩපත්තුව සහ හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝනායක දේවාලේගම ධම්මසේන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විමට කටයුතු යොදා ඇත.

ජුනි මස 23 දින පෙරහර තිස්සමහාරාම විහාරස්ථානයේ සිට සධාතුක කරඬුව පෙරටු කරගෙන මහා සංඝරත්නය වැඩම කරවීම උඩරට පහතරට සබරගමුව හා රුහුණු ප්‍රදේශයට ආවේණික නැටුම්වලින් ද අලි ඇතුන්ගෙන් ද යුතුව පෙරහර වීදි සංචාරය කෙරේ. - ඊ. එච්. සෝමපාල කතරගම විශේෂ

හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරය

අඹතැන්න හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරාධිපති මාතලේ විද්‍යානන්ද පිරිවෙන්පති, බටුගොඩ සංකිච්ච හිමියන් ගේ අනුශාසනා පරිදි පොසොන් පෙරහර පැවැත්වේ. සවස 2.00 විහාර මළුවෙන් පිටත්වන පෙරහර අඹතැන්න පූජාපිටියේ මාර්ගයේ ගමන් කර සවස 6.00 ට මළුවෙන් ගෙවදී.

රද්දොළුගම

රද්දොළුගම වාර්ෂික මිහිඳු මහා පෙරහර මෙම 29 වනදා රද්දොළුගම ශ්‍රී බෝධිමළුවෙන් ආරම්භ කර වීදි සංචාරය කෙරේ. එම පෙරහර 17 වන වරටත් රද්දොළුගම බෞද්ධ සංගමය මඟින් සංවිධානය කර ඇත.

රන්පොකුණගම බෞද්ධ මධ්‍යස්ථානය

රන්පොකුණගම බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන ‘අනුබුදු මිහිඳු මහ පෙරහර’ ජුනි 28 වැනි දින පස්වරු 6.30 ට පැවැත්වේ. ‘අනුබුදු මිහිඳු මහ පෙරහර’ රන්පොකුණගම ප්‍රධාන බස්නැවතුම්පොළ (අවසාන වට රවුම) අසල භූ®මියේදී පස්වරු 3.30 ට පැවැත්වෙන සමාරම්භය උත්සවයෙන් අනතුරුව නිවාස සංකීර්ණයේ සිට වතුපිටිවල ආයෝජන ද කලාපය දක්වා වීථි සංචාරය කෙරේ.

මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතිය

මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතියේ පොසොන් පෙරහර ජූනි 30 වෙනි දින සවස 2.00 ට සමිති මූලස්ථානයෙන් ආරම්භ කර මහනුවර වීදි සංචාරය කර සවස 6 ට සමිති මූලස්ථානයෙන් ගෙවදී. ශ්‍රී දළදා මාලිගාවේ අලි ඇතුන් සංස්කෘතික කණ්ඩායම් රැසක් සහභාගිවන පෙරහරේ වැඩමාගෙන යනු ලබන මිහිඳු ප්‍රතිමාවට පුෂ්ප පූජෝපහාර දැක්වීමෙන් පසු පෙරහර ආරම්භ කරනු ඇත.

වෑවලදෙණිය

කෑගල්ල පොසොන් පෙරහර ජූනි මස 29 දින රාත්‍රියේ කෑගල්ල වෑවලදෙණිය පිරිවෙනින් වීදි සංචාරය ආරම්භ වී කෑගල්ල නගරය පුරා වීදි සංචාරය කෙරේ.

පූජාපිටිය ශ්‍රී පූර්වාරාමය

පූජාපිටිය උඩමුදුන ශ්‍රී පූර්වාරාමයේ 88 වැනි පොසොන් මහාපෙරහර ජූනි 23 වෙනි දින සවස 2.00 ට විහාර මළුවෙන් පිටත්ව පූජාපිටිය කඩවීදියෙන් වල්පොලපිටිය රජමහවිහාරය කරා ගමන් කර ආපසු පූර්වාරාමය වෙත පැමිණේ. විහාරාධිපති මිනිවන්ගමුවේ ශ්‍රී රතනසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි දායක සභාවේ මෙහෙයවීමෙන් මෙවර පෙරහර අලංකාර කර ඇත.