Print this Article


ශ්‍රී සම්බෝධි සදහම් මැදුරේ වෙසක් අසිරි

ශ්‍රී සම්බෝධි සදහම් මැදුරේ වෙසක් අසිරි


ජනාධිපතිතුමා සම්බුදු පූජාවට සහභාගි වෙමින්

ජනාධිපතිතුමා දරණාගම කුසලධම්ම නා හිමියන් වෙත අටපිරිකර පුජා කරමින්

සම්බුදු පූජාවට සහභාගිවෙමින්


සධාතුක කරඬුව තැන්පත් කරමින්...

තුන්ලෝක තිලක වූ අමා මෑණි බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිදු වූ අසිරිමත් වෛශාඛ්‍ය මංගල්‍යය නිමිත්තෙන් කොළඹ 07 ශ්‍රී සම්බෝධි සදහම් මැදුරේ සිට ගුවනට විහිදෙන බෞද්ධයා ගුවන් විදුලිය හා රූපවාහිනිය ද, ශ්‍රී සම්බෝධි දායක සභාව ද එක්ව සංවිධානය කළ වෙසක් ආසිරි මංගල්‍යය මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

දස දහස් සංඛ්‍යාත සැදැහැතියන් එක්ව ශීල සමාදාන වී, භාවනා මනසිකාරයෙන් බුද්ධ පූජා, ධාතු පූජා, ධර්ම දේශනා පෙරටු කොට ගත් ප්‍රතිපත්ති පූජාවෙන් සිත් සතන් පහන් කර ගත්තේය. ප්‍රතිපත්ති පූජාව හා ආමිස පූජාව ද එක ලෙස සිදු කරමින් පින්වඩා ගත් ශ්‍රී සම්බෝධි දායක සභාව හා බෞද්ධයා මාධ්‍ය ජාලය වෙසඟේ සිරිය එකලු කළේය.

සත්බුදු මාලිගය හා ධාතු මන්දිරය විවෘත කිරීම

ශ්‍රී සම්බෝධි විහාරයේ පහත මාලයේ පිහිටුවන ලද සත්බුදු මාලිගය හා ධාතු මන්දිරය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වෙසක් පුර පසළොස්වක් පොහොය දින උදෑසන යෙදුණු සුබමොහොතින් විවෘත කරන ලදී. එදින අලි ඇතුන් ප්‍රමුඛ කොටගත් පෙරහරින් වැඩමවා තැන්පත් කළ ආහාර පූජාව ජනාධිපතිතුමා අතින් පූජා කිරීමද සිදුවූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සත්‍යා හෙට්ටිගේ මැතිතුමා, ජනාධිපති බෞද්ධ කටයුතු පිළිබඳ උපදේශක රත්නායක මැතිතුමා, මහා භාරකාර සරත් සෙනෙවිරත්න මැතිතුමා, නාවික හමුදාපතිතුමා, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දයා රත්නායක මැතිතුමා, ප්‍රමුඛ විශාල පිරිසක් සහභාගී වූහ.

බුද්ධ පූජාව පිරිනැමීම

ව්‍යංජන තිස් දෙකක් සහිත බුද්ධපූජාව අග්‍රශ්‍රාවක චාරිකාරාමයේ සිට දර්ශනීය පෙරහරකින් වැඩමවා තැම්පත් කොට සම්බුදු පූජාව වෙසක් පුන් පොහෝදා දවල් සිදුකරන ලදී. ලලිත් හීන්ගම මැතිතුමාගේ හා එම මැතිනියගේ සැදැහැති දායකත්වයෙන් පැවැත්වූ පූජාව ශ්‍රී සම්බෝධි විහාරාධිපති හිමිපාණන් වහන්සේ විසින් මෙහෙයවන ලදී.

7 වන වරටත් සංවිධානය කළ වෙසක් මහා පෙරහර මංගල්‍යය

ශ්‍රී සම්බෝධි විහාරයේ අනුශාසක අස්ගිරි පාර්ශවයේ මහා නායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව සහ බෞද්ධයා මාධ්‍ය ජාලය එක්ව හත්වන වරටත් මෙම පෙරහර සංවිධානය කරන ලදී.

මෙම අසිරිමත් පෙරහර මංගල්‍යය වෙසක් මස 25 වන දින රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්, ශ්‍රී සම්බෝධි දායක සභාවේ සභාපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුපින්වත් සුරතින් සධාතුක කරඩුන් වහන්සේ මංගල හස්ති රාජයාණන් පිට තැම්පත් කිරීමෙන් අනතුරුව වීදි සංචාරය ඇරඹුණි. උඩරට, පහතරට, සබරගමු, සම්ප්‍රදායන්ට අනුව සැකසුනු නැටුම්, ගැයුම්, වැයුම් හා අලි ඇතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් විශාල ප්‍රභූ පිරිසක් හා දහස් සංඛ්‍යාත ජනයාගේ සාධු නාද මධ්‍යයේ වීදි සංචාරය කෙරුණි.

ශ්‍රී සම්බෝධි මහා බත් දන්සල

වෙසක් මංගල්‍යය නිමිත්තෙන් තුන්වන වරටත් සංවිධානය කරන ලද වෙසක් මහා බත් දන්සල සම්බෝධි විහාරස්ථ දායක සභාවේ නොමසුරු පරිත්‍යාගයෙන් මෙවරද පවත්වන ලදී. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමාගේ පූර්ණ අධීක්ෂණයෙන් යුක්තව ගුවන් හමුදා නිලධාරීන් හා රණවිරුවන් විසින් මෙහි සියලු කාර්යයන් සිදුකරන ලදී.

වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය

ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය හා මහජනතාවගේ සහභාගිත්වයෙන් මෙවරද දර්ශනීය වෙසක් පහන් කූ®ඩු රාශියක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු සම්පාදනය කොට තිබුණි.

ශ්‍රී සම්බෝධි වෙසක් තොරණ

ලෝකවාසී බොදු ජනතාවගේ මහත් ගෞරවාදරයට පාත්‍ර වූ බුදුන් උපන් පින්බිම බෞද්ධ ජනතාව අතට අත් පත් කරදුන් අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත කතාව අළලා සැකසුණු ශ්‍රී සම්බෝධි වෙසක් තොරණ ද මෙවර සාර්ථක අයුරින් ප්‍රදර්ශනය කරන ලදී.

කලා ශිල්පී සෝමරත්න පෙරේරා මහතා සහ ජයසේන කොළඹගේ කලා කරුවාණන් විසින් මෙය නිර්මාණය කරන ලදී.