Print this Article


සිතුල්පව්ව රාජමහා විහාරය රාජ්‍ය පොසොන් පූජෝත්සවය

සිතුල්පව්ව රාජමහා විහාරය රාජ්‍ය පොසොන් පූජෝත්සවය

රුහුණු පුරවරයේ රාජ්‍ය ශ්‍රී පදප්‍රාප්ත කාවන්තිස්ස මහා නරේන්ද්‍රයන් විසින් පරම සද්ධාජ්‍යාසයෙන් යුතුව ශ්‍රී සම්බුද්ධ ශාසන චිරස්ථිතිය සඳහා ප්‍රතිෂ්ඨාපනය කලාවූ ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයෙහි දොළොස් දහසක් මහරහතන් වහන්සේ වැඩ සිටියහ. එතුමා සුපින්වත් විහාරමහා දේවිය සමඟ අතිනතගත් ශ්‍රී සරණ මංගල්‍යය සිහිවීම පිණිස කරවනු ලැබූ මඟුල් මහා විහාරයේ ද රහතන් වහන්සේලා වැඩ විසූහ. මෙම ශ්‍රේෂ්ඨ පුණ්‍යභූමිය මේ වන විට සමස්ත ජනතාවගේම ප්‍රණාමයට ලක් වූ සුපිරි ශුද්ධ පූජා භූමියකි.

මෙම උතුම් අරහත් භූමියේ මෙවරත් රාජ්‍ය පොසොන් පූජෝත්සවය ජූනි 22, 23, 24 දිනයන්හි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සිතුල් පව්ව මඟුල් මහා විහාර දායක සභාව ගරු සභාපති ශ්‍රී රෝහණ ජනරංජන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් සිතුල්පව්ව රාජමහා විහාරය ගා/යටගල රාජමහා විහාරය ප්‍රධාන අෂ්ඨමහා විහාරාධිපති දක්‍ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත මැටරඹ හේමරතන නාහිමියන්ගේ හා සභාවේ අනුශාසක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ අනුශාසනා පරිදි සංවිධානය කර ඇත. දායක සභාවේ උප සභාපති දිවයින උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ධම්මික ආටිගල මහතාගේ අනුග්‍රාහක දායකත්වයෙන් සිදු කෙරෙන ආලෝක පූජාව පැවැත්වේ.

ජූනි 22වැනිදා ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඳපුදා ගැනීමට පහසුකම් සලසා ඇත. රාත්‍රී මහ සෑ මළුවේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පැවැත්වේ. පොසොන් පුර පෝයදා බුද්ධ පූජා, බෝධි පූජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ජාතක දේශනා සමථ විදර්ශනා භාවනා වැඩසටහන් හා සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාව ආදී ආධ්‍යාත්මික සුවය සලසන විවිධ වැඩසටහන් පැවැත්වේ.

මෙම මහෝත්සවයේ දී මහසෑ මළුව අභියස ප්‍රතිනිර්මාණය කළ දෙවෙනි මළුව හා එහි නිමකල රන්වැට සහ දොළොස් මගේ පහන්ගෙය, ප්‍රතිසංස්කරණය කළ බෝධිඝරය, බෝසත් පිළිමගෙය, මඟුල් මහා විහාරයේ සෑ මළුව, අභිනව විශ්‍රාම ජලනළ පද්ධතිය ආදී විවෘත කිරීම් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

සිතුල්පව්ව පුදබිමට පැමිණෙන අතිවිශාල පිරිස සඳහා ආහාරපාන පරිත්‍යාග කිරීම පිණිස දන්සැල් රැසක් පැවැත්වේ. නවාතැන් ගමනා ගමන පහසුකම් සනීපාරක්‍ෂක සෞඛ්‍ය පහසුකම් සියල්ල මැනවින් සම්පූර්ණ වී ඇත. යෝධ කණ්ඩියේ සිට සිතුල්පව්ව දක්වා වූ ඉළුක්පිටියේ ශ්‍රී ජිනරතන මාහිමි මාවත සහ කතරගම සිට සිතුල්පව්ව දක්වා වූ පාර දකුණු පළාත් සභාව මඟින් හා මහා මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් අලුත්වැඩියා කර ඇත. ජූනි 23 දින පෝය දා රාත්‍රි 9.00 සිට පසුදා පහන්වන තෙක් සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනාවන් පසු වැඩසටහන් නිමාවේ. මෙම ආගමික වැඩසටහන් ස්වාධීන රූපවාහිනිය හා ජාතික ගුවන් විදුලිය යොදා අනෙකුත් විද්‍යුත් නාලිකා ඔස්සේ ලෝපුරා විසුරුවා හැරීමට කටයුතු යොදා ඇත.