Print this Article


ජාතික පොසොන් උත්සවය

ජාතික පොසොන් උත්සවය

අනුරාධපුරය සහ මිහින්තලය කේන්ද්‍ර කොටගත් ජාතික පොසොන් ආගමික උත්සවය අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීම සඳහා අනුරාධපුර පොසොන් උත්සව විශේෂ මෙහෙයුම් කමිටුව විසින් විධිවිධාන යොදා ගෙන යයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අනුරාධපුර සහ මිහින්තලා පුදබිම් තුළ සංවිධානය කර ඇති පොසොන් ආගමික උත්සව රැසකට සහභාගි වෙයි.

මිහින්තලේ ආලෝක පූජාව මෙවරද 51 වැනි වරටත් 22,,23 හා 24 තෙදින තුළ සමස්ත මිහින්තලා පුදබිම ආලෝකමත් කරමින් පැවැත්වෙයි. පොසොන් පුන් පෝදින යෙදෙන ජුනි 23 දා සවස ආලෝක පූජාව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතින් විවෘත කිරීමට නියමිතය. එමෙන්ම 23 දා අනුරාධපුර පූජා නගරයේ ජය ශ්‍රී මහා බෝ සමිඳු ආසන්නයේ ඉදිවෙමින් පවත්නා සඳ හිරු සෑ රදු ධාතු නිධාණෝත්සවයද ජනාධිපතිතුමා සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සම්භාවනීය ගිහි පැවිදි ආරාධිතයින් ගේද පොදු මහජනතාවගේ සහභාගිත්වයෙන්ද සිදු කෙරේ.

අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳු ඇතුළු අටමස්ථානයේදී මහමෙවුනාවේ සමාධි බුද්ධ ප්‍රතිමාව අභියස 60,000 ක් උවැසි උවැසියන් පෙහෙවස් සමාදන් වෙති. ලංකා බැංකුව, මහජන බැංකුව සහ ස්වේච්ඡා සංවිධාන රැසක් සිල් ඇත්තන්ට දානමානාදිය හා ගිලන්පස පිළිගැන්වීම සඳහා සූදානමින් සිටිති.

සාම්ප්‍රදායික චාරිත්‍රනාකූ®ලව පැවැත්වෙන මහමෙවුනාවේ පොසොන් සති පිරිත් දේශනාවද 20 වනදා සිට පැවැත්වේ.

ජුනි 22,23 ,24 තෙදින තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු සුරා සහ මස් වෙළෙඳ සැල් සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර අනුරාධපුර පූජා නගරයේ ඇතුළු මහ නගර සභා සීමාව තුළ දුම්වැටි අලෙවිය තහනම් කර ඇත. මෙවර පොසොන් ආගමික වත්පිළිවෙත් සහ වන්දනාමාන කටයුතු සඳහා මිලියන දෙකකට ආසන්න සැදැහැවත් පිරිසක් අනුරාධපුරයට ලඟා වනු ඇතැයි අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනවිරත්න මහතා සඳහන් කළේය. වන්දනාකරුවන් සඳහා පානීය ජලය, විදුලිය, සනීපාරක්‍ෂක සේවා ඇතුළු සියලු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් නොඅඩුව සලසාදීමට සියලු විධිවිධාන යොදා ඇතැයිද දිසාපතිවරයා පැවසීය.

ලංකාගමනා ගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික බස් සමාගම් ඒකාබද්ධව දිවයිනේ සතර දිග්භාගයෙන් අනුරාධපුරයට සහ මිහින්තලයට පැමිණෙන සැදැහැවතුන් සඳහා ගමනාගමන පහසුකම් සලසා දෙනු ඇත. 22,23, සහ 24 තෙදින තුළ අනුරාධපුර සහ මිහින්තලය අතර බැතිමතුන් සඳහා නොමිලයේ දුම්රිය සේවාවක්ද ක්‍රියාත්මක වේ.

තිසාවැවේ, නුවරවැවේ, බසවක්කුලම සහ මහකනදරාව ජලාශ ඇතුළු වැව්වල ස්නානය කිරීමේදී තම ජීවිත ආරක්‍ෂාව ගැන සැලැකිලිමත්වෙමින් එම කටයුතු සිදු කරන මෙන් දිසාපතිවරයා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි.මෙම ජලාශ ආශි‍්‍රතව ජීවිතාරක්‍ෂක භට කණඩායම් රඳවා තැබේ.

මෙවර අනුරාධපුර ජාතික පොසොන් උළෙලේ තේමාව “මිහිඳු හිමි මග යමු” යන්නය. මේ පිළිබඳව අදහස් පල කළ රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන හිමිපාණෝ ආගමානුකූ®ලව පේවී සුදුවතින් සැරසී සුරාවෙන් හා නිර්මාංශව විකාරරූප නැටුම් ගැයුම් වැයුම් වලින් තොරව පොසොන් ආගමික කටයුතුවල නිරතවී අනුබුදු මිහිඳු මාහිමිපාණන්ට ගෞරව දැක්වීම සැදැහැවතුන්ගේ බලවත් යුතුකමක් වන්නේ යැයිද අවධාරණය කළහ.

මිහින්තලේ සේල චෛත්‍යරාජයාණන් චූඩා මාණික්‍ය රත්නය සහිත කොත් වහන්සේ නිරාවරණයද 23 දාට යෙදෙන පොසොන් පෝදින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ. මේ නිමිත්තෙන් අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකා ගමනයට වසර 2320 ක් සපිරීම නිමිත්තෙන් සේල චෛත්‍ය රාජයානණ්ට අටපිරිකර 2320 ක් පූජා කිරීමට කටයුතු යොදා ඇතැයිද මේ උතුම් පින්කමට බොදු සැදැහවතුනට දායකවිය හැකියැයි මිහින්තලා රාජ මහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන නාහිමිපාණෝ අවධාරණය කළහ.

23 දා මිහින්තලා පුදබිමේ නව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමද අෂ්ඨ ඵල බෝ සමිඳු වටා ඉදිකෙරුණු රන් වැට විවෘත කිරීමද ඇතුළු පින්කම් රැසක් සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහභාගිවීමට නියමිතය.

පොසොන් උත්සව සමයේ අනුරාධපුරයට සහ මිහින්තලයට පැමිණෙන බැතිමතුන් සඳහා ආරක්‍ෂාව සැපයීමට 6000 ක පොලිස් නිලධාරින් පිරිසක් රාජකාරියේ යෙදවීමට උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාගේ උපදෙස් මත අවශ්‍ය පියවර ගනු ඇත.