Print this Article


විහාර චිත්‍ර කලාවෙන් හෙළිවන බෞද්ධ ජන ජීවිතය

විහාර චිත්‍ර කලාවෙන් හෙළිවන බෞද්ධ ජන ජීවිතය

ආසියානු චිත්‍රකලා සම්ප්‍රදායන්ගේ විෂයානුබද්ධ අන්තර්ගතය බොහෝ සෙයින්ම බුදුදහම හා සම්බන්ධ වී ඇති බව ප්‍රායෝගිකව දක්නට ලැබෙන සත්‍යයක් බවට පත්ව තිබේ. ඈත පෙරදිග රටවලට බුද්ධ ධර්මය ප්‍රචාරය උදෙසා වැඩමකළ ධර්මදූත කණ්ඩායම් සේද රෙදි පිළිවල සිතුවම් කළ බෞද්ධ චිත්‍ර දඹදිව සිට රැගෙනගොස් ඇත. විශේෂයෙන් චීනය, බුරුමය, ජපානය, භාරතය හා ශ්‍රී ලංකාව වැනි රටවල මෙම බෞද්ධ චිත්‍ර පිළිබඳ ප්‍රවණතාවයන් දැකිය හැකිය.

ශ්‍රී ලාංකීය චිත්‍ර කලාව බුදුදහමින් පෝෂණය වූ අයුරු ක්‍රිස්තු පූර්ව යුගවල සිටම දක්නට ලැබෙන බව කරඹගල ආදී ස්ථානවල චිත්‍ර අපට සාක්‍ෂි සපයයි. ක්‍රි.ව. පළවන සියවසේ දී දුටුගැමුණු රජතුමා රුවන්වැලි දාගැබේ ධාතු ගර්භය, ඇතුළත, ජාතක කතා හා වෙස්සන්තර ජාතකය සිතුවම් කළ බව ථූපවංශය සහ මහාවංශයේ සඳහන් වේ. එසේම අනුරාධපුර ඓතිහාසික කාලපරාසයේදීම ශ්‍රී ලාංකීක බෞද්ධ උරුමයන් බවට පත් වූ, මහියංගන ධාතු ගර්භ චිත්‍ර, හිඳගල චිත්‍ර ආදී ස්ථානවලින් එහි අනන්‍යතාවය තවදුරටත් තහවුරු කෙරේ. ශ්‍රී ලාංකේය උරුමයක් වූ තිවංක පිළිමගෙය නමැති පොළොන්නරු ඓතිහාසික යුගයට අයත් බෞද්ධ සිද්ධස්ථානය තුළ ඇති සිතුවම් හෙළ බෞද්ධ උරුමයේ නොමැකෙන දෘෂ්‍ය සාධක බවට පත්ව තිබේ. විශේෂයෙන්ම තිවංක පිළිමගෙයි චිත්‍රවල දක්නට ලැබෙන ජාතක කතා සියල්ල බොදු හදවත් සැනින් අවදි කරන භාවාත්මක දෘෂ්‍ය පටයන් බව නොරහසකි. සස ජාතකය, තේමිය ජාතකය ආදිය මීට නිදර්ශන සේ දක්වා ලිය හැකිය. දේවාරාධනාව නමැති විශාල ඉඩ පරාසයක චිත්‍රගත කොට ඇති, විශේෂ සිත්තම පොළොන්නරු චිත්‍ර කලාවේ අනන්‍යතාවය හා ලක්‍ෂණ පෙන්නුම් කරයි. ඓතිහාසික යුගවලදී අපට චිත්‍ර විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙන්නේ, තිවංක පිළිම ගෙය නමැති ස්ථානයෙනි. හෙළ කලා උරුමය අනුරාධපුර යුගයෙන් විතැන්වන ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස මෙම බෞද්ධ චිත්‍ර සමූහය අපට වැදගත් වේ. බෞද්ධ පිළිමගෙයක් තුළ බිතු සිතුවම් දක්නට ලැබෙන ප්‍රථම ස්ථානය ද මෙයයි. එසේම බොදු ජනයාගේ සිත් සතන් ආකර්ෂණය වන ආකාරයට ඉඩ පරාසයන් පරිහරණය කරමින් චිත්‍ර විශාල ප්‍රමාණයක් ස්ථානගත වී තිබීමෙන්, මෙම ස්ථානය බොදුජන ජීවිතයේ අප්‍රමාණ වින්දනයක් හා ආස්වාදයක් මෙන්ම බෞද්ධ ආකල්ප වර්ධනය කිරීමේ මූල බීජයක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලාංකේය චිත්‍ර කලාවේ එතිහාසික සාධක ලෙස අපසතු වන බෞද්ධ සිද්ධස්ථාන චිත්‍රයෙන් අලංකෘත වී ඇති බවට සාධක හඳුනාගත හැකිය. කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, මහනුවර ආදී ඓතිහාසික යුගවලදී විහාර චිත්‍ර නිර්මාණය වීමේ ප්‍රවණතාවයක් අපට දක්නට ලැබේ. බුදු දහම ශ්‍රී ලාංකිකයන් ගේ ආධ්‍යාත්මය, හා ආත්මීය වශයෙන් බැඳීමේ ප්‍රවණතාවය ශ්‍රී ලාංකිකයන් සතු විහාර චිත්‍ර කලාවෙන්ම සනාථ වේ. බෞද්ධ ඉගැන්වීම්, ආචාරධර්ම, පින්පව්, බෞද්ධාගමික සිද්ධස්ථාන ආදිය ජාතක කතා මඟින් දේශීය ජනතාව අතර ප්‍රචලිත වූ බව පෙනේ. මහනුවර යුගය (ක්‍රි.ව. 1593 – 1815) විහාර චිත්‍ර කලාවේ ස්වර්ණමය යුගය ලෙස හඳුන්වාදිය හැකිය. ඒ සඳහා වැලිවිට ශ්‍රී සරණංකර මාහිමියන්ගේ දායකත්වය හා උපදේශකත්වය මුල් වූ බව ඓතිහාසික මූලාශ්‍ර තුළින්ස නාථ වේ. අන්‍ය ජාතිකයන් ගේ බලපෑම් හා ක්‍රියාකලාපයන් හේතුවෙන් බෞද්ධ ජන සමාජයේ සිදුවුණු පරිහානිය සංඝරාජ හිමිපාණන්ගේ මැදිහත්වීමෙන් මල්ඵල ගැන්වීමට හැකි වූ බව අප දන්නා කරුණකි. මේ සඳහා මහනුවර යුගයේ රාජ්‍ය මැදිහත්වීම් සහ ක්‍රියාශීලී භාවයන් අතිශයින් දායක වූ බව ඓතිහාසික මූලාශ්‍ර වලින් මෙන්ම අපසතු දෘෂ්‍යමූලික පුරාවිද්‍යා සාධක මෙන්ම, විහාර චිත්‍ර වලින් ද සනාථ වේ.

බුදුදහමේ ඉගැන්වෙන පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය වැනි ඉතා ගැඹුරු බෞද්ධ සංකල්පයන් අවබෝධ කර ගැනීමට සියලු බෞද්ධ ජන සාමාජිකයන්හට නොහැකිවිය. තෘෂ්ණාව ක්‍ෂය කරගැනීම, දුක නැතිකර ගැනීම ආදිය පිළිබඳ බෞද්ධ සංකල්පයන් හා සිදුහත් චරිතය හා බුදුවීම දක්වා සංසිද්ධිය පිළිබඳ ජන සමාජය දැනුවත්වීමේ අවශ්‍යතාවය හා එම අවබෝධය මානව සංහතිය අතරට ගෙන යනු ලැබීමේ විශේෂ හැකියාව විහාර චිත්‍රකලාවට හිමිවූ බව පෙනේ.

ගම, පන්සල අතර සාම්ප්‍රදායික සමාජවල පැවැතියේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකි. ඔවුන්ගේ ජන ජීවිතයේ දෛනික කාර්යයක් ලෙස නිරතුරුව විහාරය වෙත යෑම සිදුවුණි. සංඝයාවහන්සේ ඇසුරු කිරීමෙන්, දුක, වේදනාව, සොම්නස බෙදාහදාගැනීමට ගමේ පන්සල ඔවුන්ට සමීප විය. ඒ නිසාම විහාරස්ථානය ඔවුන්ගේ ජීවිතය හා සදාකාලිකව බද්ධ විය. ජීවිතය පිළිබඳ අවබෝධය. සමාජ ආශ්‍රය චරිතය හැඩගස්වා ගැනීම, සමාජ යථාර්ථය සඳහා එදා ගැමියන් පන්සල හා අත්‍යන්තයෙන් බැඳුණි. ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතිය පරමාදර්ශය වූයේ එලෙසය. හිමිදිරියේ පටන් දහවලතෙක්ම හේන, කුඹුර හා ගැටුණු අපේ ගැමියන් සවස්කාලය පන්සලේ ගතකිරීමට පුරුදු පුහුණු වූ බව පෙනේ. ඒ නිසාම පන්සල් වත්ත, වැලි මළුව, බෝසෙවන, බුදුගෙය ඔවුන්ගේ පවස නිවන විශේෂතම ස්ථානය බවට පත්විය.

මල් පහන් පූජා කිරීම, බෝමළුව හා වැලි මළුව පිරිසුදු කිරීම, බුදුන් වැඳීමට ගම්වැසියන් සිය පවුල් පිටින්ම සහභාගී වූ බව අතීත සිංහල සමාජ සංස්කෘතිය අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වේ. එසේම බුදුන් වැඳ, බුදුගෙය තුළ වැඩිකාලයක් ගත කිරීමත්, චිත්‍ර නැරඹීම හා ඒවායින් ජීවිතයට අත්දැකීම් ඒකරාශී කරගැනීමටත්, හෙළ ගැමියන් නිරායාසයෙන්ම පෙළඹිණි. සැප, දුක, විපාක, මෙන්ම බුදු සිරිතේ වැදගත් අවස්ථා පිළිබඳ දැනගැනීමත්, ඒ හා කාලය ගත කිරීමත් සිදු වූ බව පැහැදිලිය. එසේම නැකත් බැලීම, අඹු සැමි ප්‍රශ්න හා පවුල් කෝලාහල විසඳීම දරුවන්ගේ අධ්‍යාපනය, ලෙඩ රෝගවලට පිළියම් ලබාගැනීම, සෙත්කවි හා වස්කවි කියවීම, පිරිත් පින්කම් ආදී සියලු දෑ ගම හා පන්සල අතර පැවති දැඩි බැඳියාවෙන් සිදුවිය. මීට අමතරව ගමේ පන්සලේ උදේ හවස වැයෙන තේවා හේවිසි හඬ ගැමියන්ගේ පහන් සංවේගය දෙගුණ, තෙගුණ කිරීමට සමත්විය. මේ සියලු කරුණු නිසා ගම, පවුල් හා සමාජය පන්සල හා දැඬි සැබැඳියාවක් පැවැත්විය. මෙවන් පසුබිමක් තුළ සිංහල, බෞද්ධ ගැමියන්ගේ චිත්ත සන්තානයන් තුළට විහාර චිත්‍ර සමීප වූ අතර, ජන ජීවනය හැඩගස්වා ගැනීමට, බුදු දහම අනුව ජීවත්වීමට පෙළඹවීමත් මහත් පිටිවහලක් වූ බව සත්‍යයකි. එම නිසා මෙම විශේෂ යුගය, සත්‍යලෙසින්ම බෞද්ධ යුගයක් ලෙසින් ක්‍රියාකිරීමෙන් විහාර චිත්‍ර ගැමි ජනතාවගේ ආකල්පමය වෙනසක් කළ විශේෂ ජන කලාවක් විය.

විහාර චිත්‍ර කලාවේ විශේෂ ප්‍රස්තූතය බවට පත් වී ඇත්තේ ජාතක කතා සහ බෞද්ධ සංසිද්ධීන් ය. බෝධිසත්වයන් වහන්සේගේ දාන, ශීල, පාරමී ධර්මතාවයන් සඳහා සෑම ජාතක කතාවක්ම වෙන්වන බව පෙනේ. මෙහිදී දන්දීම, සිල් රැකීම, මෛත්‍රී කිරීම, තුළින් සිදුවන ආනිසංස ආදී ගුණධර්ම සියලුම ජාතක කතාවල අවසාන ප්‍රතිඵලය බවට පත් වේ. එසේම පංච තන්ත්‍රය, හිතෝපදේශය, වැනි ග්‍රන්ථවල හරයද ඉහත ක්‍රියාවන්ගේ ආනිසංස පෙන්වා දීමයි. මෙම ග්‍රන්ථවල දැක්වෙන ඉගැන්වීම් හා ඒවායේ ආභාසයද බොදු ජන ජීවිතයට ළ¼ගා කිරීමට විහාරචිත්‍ර කලාවට හැකිවුණි. ජාතක කතා කියවීම හා ඉගෙනීම සෑම බෞද්ධයෙකුටම යම් අපහසුවක් ළඟා කළද ඒ පිළිබඳ ඵලදායී අවබෝධයක් සෑම තරාතිරමකම පුද්ගලයෙකුට ක්‍ෂණිකව ලබාදීමට විහාර චිත්‍ර කලාවට හැකි වූ බව පෙනේ. බුද්ධඝෝෂ හිමියන් විසින් ක්‍රි.ව. 1305 දී එනම් කුරුණෑගල යුගයේ දී සිංහල ජාතක පොත් වහන්සේ සඳහා පාලි ජාතක අටුවාවේ ආභාසය සම්පූර්ණයෙන්ම ග්‍රහණය කිරීමට සමත් වී තිබේ. මීට අමතරව ජන සම්මතයේ පැවති ඇතැම් ජනශ්‍රැති ආදියෙන් විහාර චිත්‍ර පෝෂණය වූ බව දක්නට ලැබේ. නිදර්ශන ලෙස ජූජක පිළිබඳ විස්තර ජනකවි අතර ප්‍රචලිත වූ බව පෙනේ.

බඩවක පිටවක සන් වැරතිල්ලා
දෙනඟන් බරවා වසට කුදුල්ලා
ඉසකෙස් පුපුරැටි දත්කඩ තෙල්ලා
තිගෙ හැටි බමුණා කුණු කෙල තොල්ලා

මෙම චිත්‍ර සඳහා ශිල්පියා හා උපදෙස් දුන්නවුන් බොහෝ විට විහාරස්ථානවල මිනිස් නෙත ගැටෙන විශේෂ ඉඩ පරාසය තෝරාගත් බව පෙනේ. එසේම චිත්‍ර ඇඳීමේ දී, විහාරගෙය ඇතුළත බිත්ති මෙන්ම පිටත බිත්තිත්, ප්‍රදක්‍ෂිණා පථයේ බිත්තිත් යොදා ගැනීමෙන් ජන විඤාණය සහ ජීවිතය විහාරගෙය තුළ බොහෝ වේලාවක් රඳවා ගැනීමට සමත්විය. මේ සමගම විහාර චිත්‍ර කලාවේ අති විශේෂ යුගය වූ මහනුවර යුගය වන විට චිත්‍ර සම්ප්‍රදාය හා ශෛලිය වෙනස් කරමින් බොදු මනස ස්වභාවිත්වයෙන් ඈත් කොට විහාරය වෙත රඳවා ගැනීමට හැකි වී තිබේ. ඒ සඳහා ස්වාභාවික රූප කරණයෙන් තොර ද්විමාන හා වර්ණවත්, ආකර්ෂණීය සම්ප්‍රදායක් තෝරා ගෙන තිබේ. මේ සඳහා නරඹන්නා විහාරය වටා ප්‍රදක්‍ෂිණා කරමින් චිත්‍ර වින්දනය කිරීම සඳහා තීරු ක්‍රමය මත චිත්‍ර ඇඳීම යොදාගෙන තිබේ. මදටිය පැහැති රතු පැහැයෙන් යුත් පසුතලය මත, කොළ, කහ, සුදු, කලු වැනි ආකර්ෂණීය වර්ණ තුළින් දෘෂ්‍යතලය හා ජන විඤාණය බඳවා ගනී. ස්වාභාවික හා ප්‍රකෘති රූප හා හැඩතල වලින් මිදුණු කාල්පනික රූපකරණය ජාතක කතා සිතුවම්වල වින්දනය හා රඳා පැවැත්ම තීව්‍ර කරයි. දෙගල්දොරුව විහාරයේ චිත්‍ර, රිදී විහාරය, දඹුල්ල, ලේවැල්ල ගංගාරාමය ආදී ස්ථානවල චිත්‍ර හොඳම නිදර්ශන අතරින් කිහිපයක් පමණි.ගම් දනව් සිසාරා මෙම විශේෂ විහාර චිත්‍ර අදපවා ශේෂව තිබීම හෙළ උරුමයේ විශේෂ සංකේතයන් අතර වැදගත් වේ. මෙම විශේෂ සම්ප්‍රදායෙන්ම පෝෂණය වූ පහතරට විහාර චිත්‍රවලින් ද මෙම කාර්ය භාරයම සිදු වී ඇත. කැලණිය, තෙල්වත්ත, මුල්කිරිගල, කරගම්පිටිය ආදිය මුහුදුබඩ හා පහතරට කලාප හා සම්බන්ධවන විහාර චිත්‍ර නිදසුන් ලෙස දක්වාලිය හැකිය. මේවා බෞද්ධ ජන ජීවිතය කෙරෙහි දැඩි බලපෑම් කිරීමට සමත් වී තිබේ. මෙම චිත්‍ර සඳහා විශේෂ සංස්කෘතීන්ගේ හා සමාජවල බලපෑම් සිදුවී තිබුණුද බෞද්ධ ගැමි සිංහල සංස්කෘතියේ ක්‍රියාශීලී බලවේගයක් ලෙස පහතරට විහාර චිත්‍ර ද මේහා සම්බන්ධ වන බව කිව යුතු ය.

මේ අනුව බුදුසමය විහාර චිත්‍ර කලාව හා බෞද්ධ ජන ජීවිතය එකිනෙකට අන්‍යෝන්‍ය ලෙසින් බැඳී පවතින බව පැහැදිලිය. මෙකී චිත්‍ර කලාව, සම්පූර්ණයෙන්ම බුදුසමයෙන් පෝෂණ වී ඇති බව පෙනේ. ශ්‍රව්‍ය මාධ්‍ය තුළින් දෘෂ්‍ය මාධ්‍යයට බුදුදහම සම්පිණ්ඩනය කිරීමෙන්, බොදුජන ජීවිතය මුළුමනින් හැඩගැස්වීමටත්, බෞද්ධ ඉගැන්වීම පිළිබඳ ප්‍රත්‍යක්‍ෂ කරවීමටත් මුල් වී ඇත. එසේම හේතුඵල වාදය පිළිබඳ අවබෝධය ලබාදීම, ජාතක කතා සාහිත්‍යය ජනතාවට සමීප කරවීමටත් මේ තුළින් හැකියාව ලැබී තිබේ. බුදු සිරිතේ වැදගත් සිද්ධි සහ අවස්ථා, අටමස්ථාන, සොළොස්මස්ථාන, සංගායනා ආදිය මෙන්ම දිව්‍යලෝක හා අපාය පිළිබඳ ජන සම්මතයන් පවත්වා ගෙන යාමටත්, බුදු සමය විහාර චිත්‍ර කලාව තුළ ක්‍රියාත්මක වී ඇති අයුරු පැහැදිලි වේ. එසේම බුදු සිරිත, උපතේ සිට බුදුවීම දක්වා උන්වහන්සේගේ චර්යාරටා පිළිබඳව සත් සතිය, මාරපරාජය, ආලවක දමනය ආදී සංසිද්ධි ඇතුළත් චිත්‍ර රාමු, බොදු ජන විඤාණයෙහි මුල් බැස ගැනීමට තරම් සමත්වී ඇති බව ප්‍රායෝගිකව දැකිය හැකිය. බොදු ජන සිත් සතන් තුළ හොඳ, නරක, පින,් පව්, කුසල්, අකුසල්, පන්සිල් රැකීම ආදිය පිළිබඳවත් නිරයේ ආදීනව හා ඒවායෙන් වැළකී සිටියයුතු ආකාරයත්, ඉතා සරලව විහාර චිත්‍ර කලාවෙන් ලබා දෙයි. බුදුසමයෙන් බෞද්ධ විහාර චිත්‍ර කලාව, ප්‍රභවය හා විකාශය වීමත්, එය ඉතා ජනපි‍්‍රය වී ජන ජීවිතවලට සමීපවීමත් එම දෘෂ්‍ය රාමු ජන ජීවිත තුළ ආකල්ප ගොඩනැංවීම සඳහාත් විශේෂ මෙහයක් ඉටුකර තිබෙන බව මේ අනුව පැහැදිලි වේ. බුදුසමය, විහාර චිත්‍ර කලාව හා බෞද්ධ ජන ජීවිතය ශ්‍රී ලාංකේය සමාජ ව්‍යුහය තුළ නොමැකෙන හා අන්‍යෝන්‍ය ලෙස බැඳී පවතින බව මෙහිදී සඳහන් කළ යුතු ය.