Print this Article


සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය පවත්වනු ලබන වාර්ෂික පොසොන් මහා දන්සල

සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය පවත්වනු ලබන වාර්ෂික පොසොන් මහා දන්සල

සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ අනුශාසක ආචාර්ය කරදෙටියන ගුණරතන මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි වාර්ෂිකව ඓතිහාසික අනුරාධපුර නගරය කේන්ද්‍ර කෙරගෙන පවත්වනු ලබන මහා පොසොන් දන්සල මෙවරත් ජුනි මස 23 වන පොසොන් පුර පසළොස්වක් පොහොය දා රුවන්වැලි මහ සෑ අභියස දී පැවැත්වේ. මීට අමතරව වව්නියාව හා තන්තිරිමලේදී ද විශේෂ දානමය පින්කම් ජුනි මස 21, 22, 23 යන තෙදින තුළ පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සේදර සෙනරත් මැතිතුමාගේ විශේෂ මැදිහත්වීමෙන් ජනාධිපති ආගමික අංශයේ සම්බන්ධීකරණයෙන් සිදුකෙරෙන මෙම මහා දන්සලට පූර්ණ දායකත්වය හා අනුග්‍රහය සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය මගින් ලබා දෙයි. එම සංගමයේ ගරු ලේකම් ඛේමා ක්වෙක් මැතිනිය, සභාපති රොබට් චූ මැතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලයක් විශේෂයෙන්ම මැලේසියාවේ ව්‍යාපාරික කටයුතුවල නියැලෙන මෙල්වින් මහතා, එදිරියන් මහතා ඇතුළු දානපතියන්ගේ නොමඳ ආධාර උපකාර මෙම මහා සත්කාරය නොකඩවා වාර්ෂිකව පවත්වාගෙන යාමට උපකාරීවී තිබෙන බව පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කළ යුතුය.

ආචාර්ය කරදෙටියන ගුණරතන නා හිමියන් කෑගල්ල දිස්ත්‍රික්කයේ කඳු හෙල් සහිත දර්ශණීය ගම්මානයක ඉපිද, ඉතාම දුෂ්කර ආර්ථික පසුබිමක මූලික අධ්‍යාපනය ලබා, කැලණි විශ්වවිද්‍යාලයට ඇතුළුව ශාස්ත්‍රපති උපාධියත්, ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් ලබා ගෙන, මාතර වෙහෙරහේන පූර්වාරාමාධිපති කෑගල්ලේ රතනසාර නාහිමියන්ගේ මඟ පෙන්වීමෙන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාමයට වැඩම කොට පුරා දශක දෙකක් තිස්සේ සිංගප්පූරුවේ වැඩ වසමින් ලෝ සසුන් වෙනුවෙන් කරන්නාවූ ජාතික, ආගමික, අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජසේවා මහ මෙහෙවර කියා ලියා අවසන් කළ නොහැකි තරම්ය.

ශ්‍රී ලංකාවට සුනාමි ව්‍යසනය පැමිණි වහාම සිංගප්පූරුවේ සිට පළමු ආධාර රැගත් ගුවන් යානය ශ්‍රී ලංකාවට රැගෙන ආවේ ආචාර්ය ගුණරතන නාහිමියන්ගේ උපදෙස් පරිදිය. එදා පටන් උන්වහන්සේ සමඟ විවිධ ජාතික, ආගමික, සමාජ සේවා කටයුතුවලට පූර්ණ සහාය ලබා දීමේ හැකියාව පෞද්ගලිකවම මට ද උදාවිය. මේ රටේ දුක් විඳින, නැති බැරි අසරණ ජනතාව වෙනුවෙන් දකුණේ සිට උතුරටත් බස්නාහිර සිට නැගෙනහිරටත් අස්සක් මුල්ලක් නෑර ගිය අපි කිසිදු ජාති, ආගම්, කුළමළ ලොකු පොඩි ආදී කිසිදු භේදයකින් තොරව අවශ්‍ය සියලු දෙනාටම පිහිටවීමු. දහසකට ආසන්න සුනාමි නිවාස හදා දීම, පාසල් ගොඩනැගිලි වෙහෙර විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කරවාදීම ආදී විවිධාකාර භෞතික සම්පත් දානය මෙන්ම ආමිෂ වශයෙන් ආහාරපාන වස්ත්‍රාභරණ, ගෘහ උපකරණ, පරිගනක පාසල් උපකරණ ආදී බොහෝ දේ වාර්ෂිකවත් විශේෂ අවස්ථාවලදීත් සිංගප්පූරුවෙන් ගෙන්වාගෙන බෙදා දුන්නේ කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් පෞද්ගලිකව ලබා නොගෙනය. ආචාර්ය කරදෙටියන ගුණරතන නා හිමියන්ට පෞද්ගලික සැප සම්පත් භුක්ති විඳිමින් අතිසුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට බොහෝ හැකියාව තිබුණත් එම ආත්මාර්ථකාමී පිළිවෙත පසෙකලා පරාර්ථකාමී ජීවිතයක් ගත කරන්නේ හුදෙක්ම මෙලොව පරලොව ජය ගැනීමේ එකම පරමාර්ථය වන බෝධිසත්ව චර්යාව පුරුදු පුහුණු කිරීමේ ප්‍රතිපත්තියෙහි පිහිටාය. සියලු කටයුතුවලට අතිගරු ජනාධිපතිතුමාත්, කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් මැතිතුමාත් දිගටම පූර්ණ සහාය ලබා දෙන්නේ අවංකවම සමාජ සේවාව හොඳින් නිහතමානීව හා හැඟීමකින්ම කරන නිසාය.

පුරා පසළොස් වසරක් තිස්සේ කරන්නාවූ මෙම පින්කම්වලදී විශේෂයෙන්ම බියෙන් , සැකයෙන් තොරව නිදහසේ කටයුතු කරන්නට රට ත්‍රස්තවාදයෙන් නිදහස් කළ අතිගරු ජනාධිපතිතුමාගේ දයාබර දෙමාපියන්වන ඩී. ඒ. රාජපක්‍ෂ මැතිතුමාත්, දන්දිනා දිසානායක රාජපක්‍ෂ මැතිනියත්, රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ටත් පින් අනුමෝදන් කරන අතර දන්සලට අනුග්‍රහය ලබාදුන් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාටමත් විශේෂයෙන්ම සිංගප්පූරුවේ හා මැලේසියාවේ දානපතියන්ටත් ආශිර්වාද පළ කෙරේ.

මේ සියලු පින් බෙලෙන් ආචාර්ය කරදෙටියන ගුණරතන නාහිමි ඇතුළු පරිත්‍යාගශීලී සියලු දෙනාටම තෙරුවන් සරණින් සියලු දෙව් රැකවරණින් විශේෂයෙන්ම ජයසිරි මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී සුවය ලැබේවා යයි ප්‍රාර්ථනා කරමු.