Print this Article


මහින්දාගමනයේ උරුමයන් නිබඳවම රැක ගනිමු

මහින්දාගමනයේ උරුමයන් නිබඳවම රැක ගනිමු

දයාව, ආගන්තුක සත්කාරය, වීරත්වය,සත්ව කරුණාව,ආදි මානව ගුණාංගයන්ගෙන් මෙන් ම අනභිභවනීය ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් සිංහල බෞද්ධයාට උරුම වූයේ මීට වසර 2320කට ප්‍රථම සිදු වූ මහින්දාගමනයෙන් පසුවය.

භාරත ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ රජු ලෙස අවිවාදයෙන් පිළිගැනෙන්නේ ධර්මාශෝක අධිරාජයායි. භාරතීය ජනතාව සුඛිත මුදිත කිරීමට අපරිමිත මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කළ එතුමා භාරත මාතාවගේ උත්තම දායාදය ලෙස සැලකෙන බුදුදහමේ උන්නතිය උදෙසා ද අති විශාල මෙහෙවරක් ඉටු කළේය.

අශෝක සිරිතට අනුව කාලිංග යුද්ධ ජයග්‍රහණයෙන් ලත් කටයුතු අත්දැකීම් ඔස්සේ බුදු දහම වැළඳගත් ධර්මාශෝක රජතුමා බුදු දහමේ ගැබ්ව තිබූ මානව දයාව, මානව භක්තිය රාජ තාන්ත්‍රික සම්ප්‍රදායට එක් කර ගන්නේ,ජනතාව සුඛිත මුදිත කිරීමට නිවැරැදි ධර්ම මාර්ගය එය බව පසක් කර ගැනීමෙනි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ බෞද්ධයකු බවට පත් වූ එතුමාගේ උදාරතර ශාසනික මෙහෙවරක් ලෙස සැලකෙන්නේ තුන්වන ධර්ම සංගායනාවයි. එම සංගායනාවෙහි ආනුශංශික ප්‍රතිඵලයක් නම් බෞද්ධ ධර්මදූතයන් වහන්සේලා විදේශීය රටවල් රාශියකට බුදුදහම ප්‍රචාරය කිරීම සඳහා පිටත්කර හැරීමය. එසේ යැවූ රටවල් අතර ලංකාවද එකකි.

ලංකාවට වැඩම කළ බෞද්ධ ධර්මදූත පිරිස සත්දෙනෙකුගෙන් සමන්විත වූ අතර එහි ප්‍රධානත්වය දැරුයේ ධර්මාශෝකයන්ගේම පුතණු කෙනෙකුවූ මහා මිහිඳු මහ රහතන් වහන්සේය. මේ ධර්මදූත පිරිස ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වන්නේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ දීය. ‘මහින්දාගමනය’ යනුවෙන් අප කථා කරන්නේ මේ බෞද්ධ ධර්මදූත කණ්ඩායමේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තියයි.

එක් රැස් කරගත හැකි තොරතුරු ආශ්‍රයෙන් විමර්ශනය කළහොත් අපට පෙනී යන්නේ, මහින්දාගමනයට පෙර මේ රටේ ක්‍රමවත් සංස්කෘතියක් නොපැවැති බවය.අපේ ඓතිහාසික මූලාශ්‍රවල යක්‍ෂ,දේව,නාග ආදි ගෝත්‍රිකයන් පිළිබඳව කරන විස්තරවලින් ඒ බව සනාථවෙයි.

අනාදිමත් කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ජනාවාසයක්ව පැවැතියත් ශිෂ්ට සම්පන්න සමාජ ක්‍රමයක් ස්ථාපිත වන්නේ මහින්දාගමනයෙන් අනතුරුවය.ඒ අනුව මහින්දාගමනය ලාංකේය ඉතිහාසයේ හැරවුම් ලක්‍ෂයක් වෙයි. මිහිඳු මාහිමියන් මෙහි රැගෙන ආවේ හුදු ආගමක් පමණක් නොව අංගසම්පූර්ණ මානව ශිෂ්ටාචාරයකැයි විද්වතුන් පවසන්නේ ඒ නිසාය. වසර දහස් ගණනක් තිස්සේ සිංහලයා සතුව පවත්නා භෞතික ආධ්‍යාත්මික බුද්ධිමය, සාහිත්‍යමය ආදිය නියත වශයෙන්ම මහින්දාගමනයෙන් ලත් හර පද්ධතියක් ලෙස හැඳින්විය හැකිය. සිංහලයා තුළ දේශාභිමානය, ජාති හිතෛෂි භාවය,ආත්ම ධෛර්යය, කාර්යශූරත්වය, ශාස්ත්‍රාභිලාෂය, කලා රුචිකත්වය, සහනශීලි බව, විචාර පූර්වක බුද්ධිමහිමය,සහ මානව දයාව ආදි සකල විධ සාරධර්මයන් ඇති වූ සේක. වර්ධනය වෙමින් පෝෂණය වූයේත් මිහිඳු මාහිමියන් මෙරටට හඳුන්වාදුන් බුදුදහමේ ව්‍යාප්තිය නිසාය.

මහින්දාගමනයේ අරමුණු ඉටු වී තිබේද යන කාරණය සාකච්ඡා කිරීමට පෙර මහින්දාගමනයේ අරමුණු මොනවාදැයි අප තේරුම් ගත යුතුය. මිහින්තලයේ දී දෙවන පෑතිස් රජුට මුණගැසුණු මිහිඳු මාහිමියන් තම ගමනේ අරමුණු පැහැදිලි කරන්නේ මෙසේය.

සමණාමයං මහාරාජ- ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය –ජම්බුදීපා ඉධාගතා

මහරජතුමනි, අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබට අනුකම්පාවෙන්ම දඹදිව සිට මෙහි පැමිණියෙමු. එහි සරල අර්ථයයි.

මිහිඳු මාහිමියන්ගේ මෙම ප්‍රකාශය ගැන මතුපිටින් සරල බවක් පෙන්නුවද එහි ගැඹුරු යථාර්ථයක් ගැබ් වී ඇති බව බුද්ධිමත්ව විමසා බැලීමේදී තහවුරු වෙයි.

කවුරුත් දන්නා පරිදි මිහිඳු මහරහතන් වහන්සේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුත්‍රයාය.

මිහිඳු මාහිමියන් වදාළ පරිදි උන්වහන්සේ මෙහි වැඩම කරන්නේ ධර්මාශෝක අධිරාජයාගේ රාජකීය නියෝජිතයකු ලෙස නොව ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකයකු ලෙසය. ඒ රාජ්‍ය තාන්ත්‍රික කාර්යයක් උදෙසා නොව ශ්‍රී ලංකාවේ රජතුමා ඇතුළු රටවැසියන් වෙනුවෙන් අනුකම්පාවෙනි. ඒ අවදිය වන විට තථාගත ධර්මය වැනි සම්‍යක් දෘෂ්ටියක සම්‍යක් ප්‍රතිපදාවක පිළිසරණය ලාංකික සමාජයට අත්‍යවශ්‍යම තිබිණි. එසේම උන්වහන්සේ මෙහි පැමිණියේ අශෝක අධිරාජ්‍යයේ සිට නොව ‘ජම්බුද්වීපයේ’ සිටය. ජම්බුද්වීපය යනු බුදුරජාණන්වහන්සේ උපන් බිමය.

කෙතරම් අපුරු හේතු පාඨයක් ද?

මීළඟට අපගේ අවධානය යොමු විය යුත්තේ මිහිඳු මාහිමියන්ගේ අරමුණ ඉටුවූයේද? ඉටුවී තිබේද? යන කාරණය පිළිබඳවය. එහිලා දිය හැකි ඉතාම කෙටි සරල පිළිතුර “ඔව්’ යන්නය. මහින්දාගමනයේ සිට අද දක්වා ශ්‍රී ලාංකේය සමාජයේ ගමන් මඟ විමර්ශනය කිරීමෙන් මේ බව සනාථවෙයි.

බුදු දහම යනු සාරධර්ම පිළිබඳව විශේෂ උද්‍යෝගයක් දක්වන ආගමික චින්තනයකි. ගිහි පැවිදි දෙපාර්ශ්වයේම ජීවන රටාවන් වෙත උසස් චින්තනයක් සහිතව ප්‍රසන්න ආචාර විචාර පිළිවෙතක් ආදේශ කර සමාජය තුළ ජීවිතය ජීවත්වීමේ අයිතිය දේපළ අයිතිය සහ දේපළ සුරක්‍ෂිතභාවය,උසස් මානුෂික සබඳතා පිළිබඳ ගෞරවාන්විත ආකල්ප තහවුරු කෙරෙන සාරධර්ම පද්ධතියක් බුදු සමය විසින් සමාජ ගත කරනු ලැබ තිබේ. වසර දෙදහසකටත් අධික කාලයක් ගතවී ඇතද අනේක විධ බාධක,තර්ජන, ආක්‍රමණ සහ බිඳවැටීම් හමුවේ අද දක්වාත් ඒ සාර්ධර්ම ලාංකේය සමාජය තුළ විද්‍යමාන වීමෙන්ම මහින්දාගමනයේ අරමුණු ඉටුවී ඇති බව තහවුරු වන්නේය.

මහින්දගමනයෙන් සිංහලයා ග්‍රහණය කරගත් පළමුවන සාර ධර්මය මිනිස් - තිරිසන් භේදයකින් තොරව ජීවිතය වටිනා වස්තුවක් බව අවබෝධ කර ගැනීමයි. මිහිඳු මාහිමියන් මෙහි වැඩම වන්නට පෙර එවන් යථාවබෝධයක් ලාංකේය සමාජය තුළ වූ බවක් නොපෙනේ. බොහෝ ප්‍රභූවරුන් විනෝදය සඳහා කළේ සතුන් දඩයම් කිරීමය. මිහිඳු මාහිමියන් හමුවන මොහොතේ පවා දේවානම්පියතිස්සයන් සිටියේ දඩකෙළිය සඳහා ගත් දුනු අතැතිවයි. ඒ දුනු හී එතුමා අතින් ගිලිහුණේ මිහිඳු මාහිමියන්ගේ හමුව නිසාය. ඒ වූකලි ප්‍රාණවධය වෙනුවට ජීවිතයේ අගය ලාංකිකයා අවබෝධ කරගත් බව පෙන්නුම් කරන අපූරු සංකේතයකි. ඉන් අනතුරුව මාංශ භක්‍ෂක සමාජයක් වෙනුවට ශාක භක්‍ෂක සමාජයක් නිර්මාණය වීමේ දැහැමි ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගිණි. පොහොය දිනය සියලු සතුනට අභය ලැබුණු දිනයක් විය. රජ ගෙදර මුළුතැන් ගෙයින් පරණ මස් මාංශ ඉවත් කෙරිණි. සමහර අවස්ථාවලදී සත්ව ඝාතනය සපුරා තහනම් කෙරෙන “මාඝාත ආඥාව” පවා පැනවිණ. රට පුරා මස් මාංශ වෙනුවට නිර්මාංශ ආහාර භෝග සුලභ කිරීමේ ව්‍යාපෘති ආරම්භ විය. වැව දාගැබ,ගම ,පන්සල යන සංකල්පය සිංහල සමාජයේ සන්නාමය වූයේ ඒ අනුවය.

බුදු දහම සකල සත්වයා කෙරෙහි සම මෙත පැතිරවීම අවධාරණය කරන ශාන්තිවාදයකි. මාතා යථා නියං පුත්තං ආයුෂා ඒක පුත්ත මනු රක්ඛේ.(මම දිවි හිමියෙන් සිය එකම පුතු රක්නා පරිද්දෙන් සියලු සත්වයන් වෙත මෛත්‍රිය දැක්විය යුතුය) යනුවෙන් පැහැදිලි කරන්නේ ඒ මහා මෛත්‍රි චේතනාවය. සිංහලයා මේ බෞද්ධ සාරධර්මය සිය දිවි පෙවෙතට ආදේශකර ගත්හ. ඒ අනුව ලාංකේය සමාජයේ මානව හිතවාදය සහ ජීව හිත වාදය මුල් බැස ගත්තේය. සිරි ස¼ගබෝ වැනි මානවහිතවාදි රජුන් බිහිවූයේත්, ‘මාඝාත ආඥාව ‘ පනවමින් ජීවහිතවාදය, තහවුරු කළ සිලාකාල සිවුවන අග්බෝ තුන්වන කාශ්‍යප දෙවන මහින්ද, පළමුවන සේන, දෙවන දප්පුල වැනි රජ දරුවන් ඉතිහාසයට එක් වූයේත් ඒ අනුවය. අද පවා සිංහල බෞද්ධයෝ සාංඝික දන් පිදීමෙන් පමණක් නොව බලු කපුටු දන් දීමෙන්ද මහත් ආස්වාදයක් ලබන්නේ ඒ ආභාසයෙනි.

බුදුදහමෙන් අපට ලැබුණූ තවත් සාරධර්මයක් නම් පුද්ගලයා සහ සමාජ සබඳතා ජන ජීවිතයට බද්ධවීමයි. පුද්ගලයා සහ සමාජය අතර ඇත්තේ එකම කාසියක දෙපැත්ත වැනි අවියෝජනීය සබඳතාවක් බව සිංහලයා අවබෝධ කරගත්තේ බුදුදහම තුළිනි. සමාජ සංවර්ධනය යනු පුද්ගල සංවර්ධනයම බව පසක් කර ගත් සිංහල පාලකයෝ භික්‍ෂූන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය හරහා දැහැමි සමාජයක් නිර්මාණය කිරීමට කළ හැකි සියල්ල ඉටු කළහ. එහිලා ඔවුහු පූර්වාදර්ශීහු වූහ. මේ සාරධර්මය සිංහලයා තුළ රෝපණය කරවීම සංකේතාත්මකව නිරූපණය කරන්නේ මිහිඳු මාහිමියන් දෙවන පෑතිස් රජුට යොමු කළ අඹ හා ඥාති ප්‍රශ්නයෙනි. එය වූ කලි පුද්ගල ප්‍රවෘත්තියක් විශ්ව ස්වභාවයත් සාරාංශ කර දැක්වීමක් වැන්න.

මහින්දාගමනයට පෙර විශාල වශයෙන් ජනතාව ඒක රාශීව කරන පොදු කාර්යයක් වූ බවක් නොපෙනේ. මිහිඳු මාහිමියන්ගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට එක්රැස් වූ විශාල පිරිසට රාජකීය මිදුල ඉඩ කඩ මද වශයෙන් ඇත්හල,ඇස්හල පවා යොදාගන්නට වීමෙන් ඒ බව සනාථ වෙයි. ඉන් ගම්‍යවන්නේ රජ මැදුර පවා ඉතා සරල ඉදිකිරීමක් ලෙස තිබෙන්නට ඇති බවය. ජනතාව විශාල වශයෙන් ඒකරාශි වීමක් නොවූයේ සමහර විට ජනගහණය අඩු වූ නිසාද වන්නට පිළිවන. කෙසේ වෙතත් ජනතාව හුදෙකලා වීම යනු සමාජ සබඳතා දුරස්වීමයි. මහින්දාගමනයත් සමඟ බෞද්ධ ප්‍රජාව අතර ගොඩනැගුණු සාමූහිකත්වය,මානව දයාව දියුණූ තියුණූ වීමටද හේතුවිය. ලාංකික සමාජය තුළ මානව වර්ගයාගේ ඒකත්වය පිළිබඳ සංකල්පය ඇතිවූයේද මහින්දාගමනයෙහි ප්‍රතිඵලයක් වශයෙනි. විවිධ වාද භේද මතිමතාන්තර සහ විසමතා පැවැති යද වර්තමානයේ පවා සිංහල නමින් අභිමානවත් ජනවර්ගයක් අපට ඉතිරිව ඇත්තේ බුදු දහම නිසාය. විවිධ හේතු සහ අවශ්‍යතා මත වරින්වර විදේශීය ජනකොටස් මෙරටට පැමිණියේය.සංඝමිත්තාව සමඟ මෙහි සපැමිණි අටළොස් කුලයකට අයත් විශාල පිරිස එක් නිදසුනකි. මෙසේ පැමිණි විවිධ පිරිස් ශ්‍රී ලාංකිකයන් හා ඒකාත්මික වූයේ බුදුදහම නිසාය. ඔවුහු ජාතියක් ලෙස එක්වීමට පෙර ආගමක් ලෙස එක් වූහ අවසානයේ දී ඒ සියලු පිරිස් එකම මානව වර්ගයකට එකතුවූහ. එහි ලා පූර්වාදර්ශය වූයේ බුදු දහම අනුව සැකසුණු සංඝ සමාජය විය යුතුය. විවිධ ජල මූලාශ්‍ර ඒකරාශී වීමෙන් මුහුදුජලයේ සංයුතිය සැකසුන ද මුහුදු දිය එකම ලුණුරසයෙන් යුක්තවෙයි.සඟ සසුනද එසේය. ඒ අනුව අපට පෙනී යන්නේ ලාංකිකයා තුළ එකමුතුකම ගොඩනැගෙන්නේද බුදුදහමේ ආභාසයෙන් බවයි.අද පවා සිංහලයා එකමුතු කර ඉදිරියට යැවීමේ බලයක් ශක්තියක් බුදුදහමට තිබේ. දුටුගැමුණු රජතුමා සිංහලයා එක්සත් කළේ බුදුසසුනේ චිරස්තිථීයේ නාමයෙනි. අනගාරික ධර්මපාලතුමා ජනතාව පිබිදවූයේ බුදු සසුන බැබළේවා යන තේමා පාඨය ඉදිරිපත් කිරීමෙනි.

බුදුදහමෙන් ඉගැන්වෙන සාරධර්ම ග්‍රහණය කරගැනීමෙන් සිංහලයා ලත් තවත් ප්‍රතිඵලයක් නම් නිදහස අගය කරන විචාරශීලි සමාජයක් නිර්මාණය වීමයි. විවිධ ජාතීන් විවිධ ආගමිකයන් හා විවිධ සංස්කෘතින් මෙරටට ද පැමිණිය ද ඒ සියලු දෙනා සමඟ සාමකාමි සහජීවනයක් පවත්වා ගැනීමට සිංහලයා සමත්වූයේ ඒ අනුවය.

මහින්දාගමනය,මේ රටේ රාජ්‍ය තන්ත්‍රයෙහි ලා ඇතිකළ මානව වාදි රාජ්‍ය ප්‍රතිපත්තිය සුවිශේෂීය.රජතුමා නිරන්තරයෙන්ම ජනතාව සතුටු කිරීමට කැපවී සිටි අතර ජනතා ප්‍රශ්න හදුනාගැනීම සඳහාම නිලධාරීන්ද පත් කර තිබිණ. සමහර අවස්ථාවලදී රජතුමා ම වෙස් වළාගෙන රාජ්‍යය පුරා සංචාරය කළේ ජනතාවගේ ප්‍රශ්න ප්‍රායෝගිකවම අවබෝධ කර ගැනීමටය. මෙහිදී සිංහල රජවරුන් පූර්වාදර්ශයට ගෙන ඇත්තේ ධර්මාශෝකයන්ගේ ජනතාවාදි චර්යා රටාවය. ධර්මාශෝක රජතුමා පැය 24 ම ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් වෙන් කර තිබිණි. රට පාලනය කළ විජාතික පාලකයන් පවා මේ ක්‍රමයට අනුගතව ක්‍රියා කිරීමට උත්සුක වූ බව පෙනේ.දවසේ ඕනෑම මොහොතක ජනතාවගේ දුක් ගැනවිල්ලක් රජුට දැනුම් දීම සඳහා රජ මැදුරේ දොරටුවෙහි ඝණ්ඨාරයක් එල්ලා තැබීමට එළාර රජු පියවර ගත්තේද ඒ අනුවය. මේ මගින් රජු සහ ජනතාව අතර මාපිය දූ දරු සබඳතාව වැනි බැඳීමක් පැවතිණ. ඒ බෞද්ධ සාරධර්ම රාජ්‍ය තන්ත්‍රය කෙරෙහි ඇතිකළ බලපෑමේ ප්‍රතිඵලයයි.

බුදු දහම අනුව දැහැමි රජ කෙනෙකු තුළ පැවැතිය යුතු උතුම් ගුණාංග 10 ක් විය. එය හැඳින්වෙන්නේ දශරාජ ධර්මය නමිනි.අපේ ප්‍රධාන ඉතිහාස මූලාශ්‍රය වන මහාවංශය වූ කලී ද සිංහල රජවරුන් දශ රාජ ධර්මයෙන් රට පාලනය කළ ආකාරය කියාපාන වාර්තාවකි.

ඉතිරි කොටස ජුනි 30 වන දා පත්‍රයේ පළවේ