Print this Article


හෙළ රජ දවසින් පසු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මිහින්තලාවේ සංරක්‍ෂණ කටයුතු ඇරැඹුණා

හෙළ රජ දවසින් පසු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මිහින්තලාවේ සංරක්‍ෂණ කටයුතු ඇරැඹුණා

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන ධර්මදූත පිරිස මෙරටට වැඩම කළ ඓතිහාසික පූජනීය ස්ථානය මිහින්තලා පුදබිමයි. මෙයට වසර 2320කට ප්‍රථම සිදුවූ එම ඓතිහාසික මහින්දාගමනය නිසාම මෙරට ජන සමාජයේ හැම යස ඉසුරකටම කේන්ද්‍රස්ථානය වූයේද එම මිහින්තලා පුදබිම ය.

චෛත්‍යය, විහාර, පිරිවෙන්, පෝය සීමා, ගල්ලෙන් ඇතුළු දහස් ගණන් මහරහතන් වහන්සේලා ද වැඩ සිටි එම මිහින්තලා පුදබිම මෙරටට සම්බුද්ධ ධර්මය දායාද කරමින් ලක් බුදුසසුන පිහිටුවීමෙන් මිහිඳු මහ රහතන් වහන්සේ විසින් විශිෂ්ටතම ශිෂ්ටාචාරයකට අතුල්‍ය පදනම දමන ලදී.

මිහින්තලා රාජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේ මිහින්තලා පුදබිමෙහි නව සංරක්ෂණ කටයුතු කෙරෙහි දක්වනුයේ මහත් කැපවීමකි.

ඒ පිළිබඳව ධම්මරතන හිමිපාණන් වහන්සේ ‘බුදුසරණ’ට දැක්වූ අදහස් මෙසේය.

මානව සමාජයේ පුනර්ජීවනය මෙන්ම ගුණ නැණ බෙලෙන් පිරි ආධ්‍යාත්මික ශක්තියෙන් සපිරි යහපත් ජන සමාජයක් ගොඩනැඟීමට මූලික අඩිතාලම තබන ලද ශ්‍රී ලාංකේය ජනසමාජයේ කේන්ද්‍රස්ථානය හෙළ රජ දවසින් පසු අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පරම පිවිතුරු ගුණ වගාවන්ට ගෞරව දක්වමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි වර්තමානයේදී යළිත් පෙර පරිද්දෙන්ම සංරක්ෂණයට ලක් වනුයේ මෙරට මතු පරපුරේ අභිවෘද්ධිය සහ සම්බුදු බුදුදහමේ සහ සම්බුදු සසුනේ තිර පැවැත්ම උදෙසා බව වෙසෙසින්ම සිහිපත් කළ යුතුමය.

ඓතිහාසික මිහින්තලා පුදබිමේ පුරාවිද්‍යාත්මක පෞරාණික ස්මාරක හා අක්කර පන්සිය අසූ දෙකක් පුරා පැතිර පවතින අභය භූමිය වන සතුන්ගේ සහ මානව වර්ගයාගේ යහපත පිණිස සංරක්ෂණයට ලක් කරමින් මෙහි පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවට අවශ්‍ය පොදු පහසුකම් සපුරා ලීමට රජය මේ වනවිට රුපියල් මිලියන ගණනක් වැය කර තිබේ.

සිංහල රජ දවසින් පසු කාලයාගේ ඇවෑමෙන් මහ ඝන වන පෙතින් යටව තිබූ මිහින්තලා පුදබිම යම් යම් කාල පරිච්ඡේදයන්හිදී ඇතැම් වගකිවයුත්තන්ගේ අවධානය යොමු වුණද ඒ් සියල්ල තහවුරු කර ගැනීම් මෙන්ම ස්මාරක සංරක්ෂණය කිරීම ආදී ක්‍රියාදාමයන්ට සීමා විය.

එහෙත් සුන්දර වන පෙතේ අසිරිය ගොඩ නැගෙන්නට හෝ වාර්ෂිකව මෙහි පැමිණෙන සැදැහැවතුන්ගේ පොදු පහසුකම් නඟා සිටුවීම කෙරෙහි අවධානයක් යොමු නොවී පැවතුණි.

මා, මේ සඳහා දැඩි අවධානයක් යොමු කරමින් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සමරකෝන් මහතා සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාත් එක්ව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මිහින්තලා පුදබිමෙහි පොදු පහසුකම් සංවර්ධනය හා ස්මාරක සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්හ.

ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මිහින්තලා පුදබිම නිරීක්‍ෂණය කිරීමේ චාරිකාවකට ද එක්වූහ. එහිදී සියැසින් මෙහි අවශ්‍යතාවයන් දුටු ජනාධිපතිතුමා වහා මිහින්තලා සංවර්ධන කටයුතු ඇරැඹීමට උපදෙස් ලබා දුන්හ. ඒ අනුව 2012 “දැයට කිරුළ” ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව මිහින්තලා පුදබිමේ සංවර්ධන කටයුතු කඩිනමින් ඇරැඹුණි.

එහෙත් මිහින්තලාවට පැවැති පුද්ගල, පළාත් ආදී දෝෂත්, භූමි විපත් ආදියත් දුරුවෙලා මහා පින්බර අරුණැල්ලක් උදාවීමට පටන් ගත්හ. ඒ පින්බර ආලෝකය දැක ගැනීමට අප පුණ්‍යවන්තයෝ වූහ.

සංවර්ධන කටයුතු ඉටු කිරීමේ පූර්ණ වගකීම නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර කළ අතර එතුමන්ගේ අධීක්ෂණය යටතේ පුදබිමේ වර්තමාන සියලු සංවර්ධන කටයුතු ආරම්භ විය. සිවිල් ආරක්ෂක බලකායේ දෙදහසක පමණ පිරිසක් මහත් කැපවීමෙන් ඒ සඳහා දායක වූහ.

මාර්ග සංවර්ධන, නාගරික සංවර්ධන, බුද්ධ ශාසන, වනජීවී, පූජාභූමි, පුරාවිද්‍යා ආදී අමාත්‍යාංශ රැසක් ද ලේක්හවුස් ආයතනය,ලංකා විදුලිබල මණ්ඩලය,ජල සම්පාදන මණ්ඩලය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන ද දේශීය හා විදේශීය සැදැහැවතුන් ද දැක්වූ සහාය මෙහිදී කෘතවේදීව සිහිපත් කරමු.

පුරා විද්‍යා දෙපාර්තමේන්තු විධි නියමයන්ට අනුව නාගරික සංවර්ධන අධිකාරියත්, මාර්ග සංවර්ධන අධිකාරියත් මෙහි සියලු කටයුතු සංවිධානය කළේය.

දීර්ඝකාලීන සංවර්ධන සැලැස්මක් අනුව පුදබිමේ පවතින මාර්ග නවීන ක්‍ර‍්‍රමවේද මඟින් නවීකරණයට ලක් කෙරිණි. එහිදී සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඉමහත් මෙහෙවරක් ඉටු කරන ලදී.

මිහින්තලා අඹ වනය කේන්ද්‍ර කර ගනිමින් අභය භූ®මිය තුළ සඳුන් පැළ 500ක් රෝපණය කිරීමේ කටයුතු එස්. එම්. රංජිත් උතුරු මැද ප්‍රධාන අමාත්‍යතුමාගේත්, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මැතිතුමාගේත් දායකත්වය ඇතිව ජනාධිපතිතුමාගේ සුරතින් සිදු කැරිණි.

මිහින්තලා මහා සෑයෙහි අකුණු සැරින් හානියට ලක්වූ චූඩාමාණික්‍යය වෙනුවට අභිනවයෙන් වැඩම වූ චූඩාමාණික්‍යය නිරාවරණය ඇසළ පෝදා සිදු කැරේ.

සේල චෛත්‍යයේ චූඩාමාණික්‍යය නිරාවරණය පොසොන් පෝදා ජනාධිපතිතුමා අතින් සිදු කැරේ.

මිහින්තලා මහා සෑයේ සහ සේල චෛත්‍යයේ සුදු පිරියම් කිරීමේ කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පූර්ණ මැදිහත්වීමෙන් සිදු කෙරුණු අතර අමාත්‍ය මර්වින් සිල්වා මහතා දක්වන ලද දායකත්වය පින්දෙමින් අගය කළ යුතුව ඇත.

අෂ්ඨඵල රුහ බෝධීන් වහන්සේ උදෙසා වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතාගේ පූර්ණ දායකත්වයෙන් රන්වැට ඉදිවූ අතර එය මෙම පොසොන් පෝදා නිරාවරණය කෙරේ.

භූගත විදුලි පද්ධතියක ආධාරයෙන් සේල චෛත්‍ය මළුවේ දර්ශනීය විදුලි පද්ධතියක් ද සේල චෛත්‍ය මළුවේ පැරැණි භූ දර්ශනය, එහි පැති බැමි, මිහිඳු ගුහාවේ අත්වැල හා ආවරණය හා කුඩා ස්ථූප සංරක්ෂණය ඉදිකටු සෑ පොකුණ සහ ප්‍රාකාර බැම්ම සංරක්ෂණය, මහසෑ මළුවේ පිළිමගෙය වහලය ආදී සංරක්ෂණ කටයුතු රැසක් වෙනුවෙන් රජය මේ වනවිට රුපියල් කෝටි ගණනක මුදලක් වැය කර ඇති බවද කීය.

එමෙන්ම 2320 වන පොසොන් පොහොය සමරන මෙවර පොසොන් පෝදා ඓතිහාසික මිහින්තලා පුදබිමේදී අටපිරිකර 2320ක් පූජා කිරීමේ මහා පින්කමද සිදු කෙරෙන බැවින් මිහින්තලා පුදබිමට පැමිණෙන සැදැහවතුන්ට ද එම මහා පින්කමට දායක වන ලෙස විවෘත ආරාධනාවක් කරන අතර අටපිරිකර රැගෙන පැමිණ ඊට සහභාගිවන ලෙසද වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියෝ ඉල්ලීමක් කරති.

මිහින්තලා පුදබිම වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් වෙතින් විශේෂ ඉල්ලීමක් කරන වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියෝ මෙසේද පැවැසූහ.

සුදුවතින් සැරසී ඉතා සංයමයෙන් යුතුව මිහින්තලා පුදබිම නිදහසේ දැක බලා ගනිමින් වන්දනා කිරීමට පැමිණෙන ලෙස දන්වා සිටියි.

මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලේදී දන්සැල් 50කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට නියමිත බවද ධම්මරතන හිමියෝ පැවැසූහ.