Print this Article


51 වසරක් සපුරන මිහින්තලා-ලේක්හවුස් ආලෝක පූජාව

51 වසරක් සපුරන මිහින්තලා-ලේක්හවුස් ආලෝක පූජාව

සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය

බැතිබර දායකත්වය අබාන්ස් ආයතනය

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් තෙවරක්ම පිවිතුරු වූ ලක්දිව් තලය සදහම් දීපයක් ලෙසින් බැබළවීමට මුල් ගල තැබුවේ ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී උදාවූ පොසොන් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

එදා මිස්සක පව්ව නම් වූ උස් වූ කඳු මුදුනට වැඩම කළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සදහම් අමා ගංඟාව ලක්දිව සතර දිගන්තය පුරා ගලා හැලීමට මඟ හසර විවර කළ සේක

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූතයන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත්වූ මිහින්තලාව බෞද්ධ ශිෂ්ඨාචාරයේ කේන්ද්‍රස්ථානය බවට පත් විය.

මේ අසිරිමත් සෙල්තලාව පිහිටියේ ඓතිහාසික අනුරපුර නගරයට නැඟෙනහිර දිසාවෙන් සැතපුම් අටක් පමණ දුරකිනි.

එදා වනෝද්‍යානයක් සේ මෙහි පැවැති රූස්ස ගහ කොළ, උස් වූ ගිරි ශිඛර මෙන්ම අඳුරු ලෙන් කුටි බිහිසුණු සතා සිවුපාවුන්ට කදිම වාසභූ®මියක් ව පැවතුණි. තැන තැන පිහිටි සොඳුරු වූ දියපොකුණු මෙන්ම ඒ මත විකසිත වූ සියපත් ද විසල් වනයේ විවිධ පැහැයන්ගෙන් යුක්ත වූ සුපුෂ්පිත වූ පුෂ්පයෝ ද පරිසරයට චමත්කාරය නිබඳවම දායාද කළේය.

දහසක් පියගැට මතින් උස් වූ ගිරි දුර්ගය තරණය කරනා වන්දනාකරුවන්ට වෙහෙසක් නොදැනෙන්නට ඇත්තේ බැතියෙන් නැහැවෙනා හදවත සුවපත් වූ බැවිනි.

මිහින්තලා පව්ව වෙතට පියනගන සැදැහැතියන්ගේ සාධු නාදයත්, තුන් සරණේ කවිවල දෝංකාරයත් වන පියස සිසාරා රාව ප්‍රතිරාව දෙද්දී ඒ හඬට මුසපත් වූ වන සතුන්ගෙන් වන්දනා කරුවන්ට කරදරයක් වන්නට නැත.

ගමනේ ඇති දුෂ්කරතාව හොඳින් හඳුනාගත් අතීතයේදී අපේ මුතුන් මිත්තෝ තම දේපළ වස්තුවද දරුවන්ට පවරා දී නැවත ගම් බිම් කරා නොඑන ගමනක් යන්නා සේ මිහින්තලා වන්දනාවට එක් වූ බව කියැවේ.

සදහම් ප්‍රදීපයේ ආලෝකයෙන් තම දිවිමඟේ අඳුර නිවාලීමේ උතුම් අභිලාෂය පෙර දැරි කරගත් ඔවුන් අඳුරු රාත්‍රියේදී මිහින්තලා පව්ව වෙත පියමන් කළේ ‘කැකුණ පන්දම්’ ආලෝකයෙන් පරිසරයම ආලෝකවත් කර ගනිමිනි. අපමණ දුෂ්කරතා පීඩාවන් මධ්‍යයේ මිස්සක පව්ව තරණය කරන අහිංසක සැදැහැවතුන්ගේ මෙවන් අසීරුතා හඳුනාගත් ඇතැම් දානපතීන්, දායකකාරකාදීන්ගේ කාරුණික හදවත සංවේදී විය. පව්ව දක්වාම සුසැඳි ගල් පියගැටපෙළත් ඒ අවට පුද බිමත් එළි පෙහෙළි විය. අරලිය මල් පහසින් නිබඳව හැඩවුණු මේ පියගැට පෙළ මතින් ඉහළ මළුවට ඇදෙනා වන්දනාකරුවන්ගේ අත දරා ගත් ‘කැකුණ පන්දම්’ වෙනුවට විදුලි පහන් ආලෝකය ලැබෙන්නේ තාක්‍ෂණ දියුණුව නිසාය.

ඓතිහාසික සදානුස්මරණීය මෙන්ම අති පූජනීය මිහින්තලා පුදබිම ඒකාලෝක කරමින් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ මූලාරම්භය උදා වන්නේ 1963 වසරේ පත්තර මහ ගෙදර මගිනි. යෝධ පහන් ටැඹක් බඳු වූ පත්තර මහ ගෙදර නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ සංකල්පය පළ දරමින් එවකට සිටි සභාපති ආර්. එස්. විජයවර්ධන මහතා ගේ සුරතින් මිහින්තලා පව්ව ආලෝකවත් කිරීමට පියවර ගත්තේය. අද මෙන් විදුලි රැහැන් නොතිබුණු එදා යුගයේ සුළං මෝල් (ජෙනරේටර්) භාවිතයෙන් පුද බිම පව්ව දක්වාම ආලෝක පූජාවෙන් අසිරිමත් විය.

එදා මේ සුවිශේෂී දසුනින් මෙන්ම බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩුණු වන්දනාකරුවන්ගේ මුවින් ‘සාධු නාදය’ පැතිරුණේ ඔවුන්ගේ සිත් සතන් ද ආලෝකවත් වූ නිසාය.

මෙයට වසර පනස් එකකට පෙර පත්තර මහගෙදරින් ඇරැඹුණු ‘ආලෝක පූජාවේ’ අසිරිය ලක් දෙරණ පුරා පැතිර යද්දී ලක්‍ෂ ගණනින් වන්දනා කරුවෝ පුදබිම වෙත ඇදී එන්නට වුහ.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවෙන් පමණක් නොනැවතුණු පත්තර මහ ගෙදර සුවිශේෂී මෙහෙවරින් උතුරු මැද පළාතේ දැයේ දූ දරුවන්ගේ නැණ පහන් දැල්වීමට ඉදිරිපත් වීමද උදාර කාර්යයකි. මේ නිසා ආලෝක පූජාවේ ආලෝකයත් සමඟම, 1965 දී එළි දකින ලද ‘බුදුසරණ’ සදහම් පුවත්පතෙහි ප්‍රථම පිටපත මිහින්තලා රජ මහා විහාරාධිපති වලවාහැංගුණු වැවේ රතනපාල රතනජෝති නා හිමියන්ට පිළිගැන්වීම ද සදානුස්මරණීය සිදුවීමකි.

පත්තර මහගෙදරින් ඇරැඹූ ආලෝක පූජාවට සමගාමීව 1978 වසරේදී විදුලිබල මණ්ඩලයේ සහායද පසුකාලීනව එක් විය.

මේ නිසා දිනෙන් දිනම බහුල වූ වන්දනාකරුවන්ගේ පහසුව උදෙසා ‘ මිහින්තලා ආලෝක භාරය’ බිහි වූයේ ද විහාරාධිපති නා හිමියන්ගේ නොමඳ වීර්යයේ ප්‍රතිඵලයක් නිසාය.

ආලෝක පූජාවට පමණක් සීමා නොවූ පත්තර මහ ගෙදර පින්බර කර්තව්‍ය තවත් පුළුල් වෙමින් අධ්‍යාපනික හා සාමාජික වශයෙන් ද ප්‍රදේශවාසීන්ට සැලැසූ සෙතද අගැයිය යුතු වෙයි.

1989 දී ප්‍රදේශයේ දහම් පාසල් හා පාසල් දරු දැරියන් 125 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මිහින්තලා පුද බිමේ දී සීල සමාදාන වැඩසටහනක් ඇරැඹිණි. ඔවුන්ට අවශ්‍ය සිල් රෙදි ප්‍රදානය කිරීම සහ උදේ, දවල් දාන මාන සැපයීම මෙහිදී සිදු කෙරිණ.

එදා සිටම අද දක්වාම අඛණ්ඩව දහම් පාසල් දරු දැරියන් වෙත දහසකට සිල් රෙදි ප්‍රදානය කෙරෙයි. මෙහි ඇරැඹූ දෙවන පියවර වූයේ පාසල් දරුවන්ගේ ධර්ම ඥානය වර්ධනයට පිටිවහලක් වූ උතුරු මැද පළාතේ පාසල් දහම් පාසල් දරුවන් සඳහා කථික තරග පැවැත්වීම ය. තෙවනුව සමස්ත ලංකා රචනා තරගයක් සංවිධානය කෙරිණ. එකල ‘දිනමිණ’ සහ බුදුසරණ පුවත්පත්වල දායකත්වයෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළ ඇරැඹිණි. මේ සඳහා දිගු කලක සිටම ජාතික ඉතිරි කිරීමේ බැංකුව දැක්වූ නොමඳ සහාය පැසසිය යුතුය. මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් ප්‍රදේශයේ සිදු කළ හා දැනුදු පත්තර මහ ගෙදරින් වසරෙන් වසර සිදුකරන මෙහෙවර සුවිශාලය. මිහින්තලේ කම්මලක්කුලම විද්‍යාලයට විද්‍යාගාරයක් පරිත්‍යාග කිරීමත් එම ගම්මානය විදුලි පහන් ආලෝකයෙන් ඒකාලෝක කරවීමත් තවත් සුවිශේෂී කාර්යයකි. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් ගම මැදින් දිවෙනා මාවත් සංවර්ධනය කිරීමද සිදු විය.

මිහින්තලා මහා විද්‍යාලයට දිනමිණ – බුදුසරණ අංගසම්පූර්ණ පුස්තකාල ගොඩනැගිල්ලක් ද පරිත්‍යාග කෙරිණි.

මිහින්තලා කනිටු විදුහලට දන්ත චිකිත්සාගාරයක් ද අනතුරුව කුරුන්දන්කුලම විදුහලට වඩු කාර්මික පුහුණු වැඩපොළක් ඉදි කිරීම ද සිදු විය. කටුපොත ගම්මානයේ පෙර පාසලක් අරඹා එහි පාලනයට අවශ්‍ය විධි විධාන යෙදීම ද තවත් කාර්යයකි.

විදුලි ආලෝකයෙන් මෙසේ හැඩවෙනා මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව තවත් විවිධාංග රැසක් එක්වූයේ වසරෙන් වසරය. පොසොන් දම් දෙසුම මෙන්ම විහාරස්ථානයට අයත් වූ මිහිඳු පිළිරුවත් එහි මැදුරත් ප්‍රතිසංස්කරණය සිදු විය. මිහින්තලා මහා විද්‍යාලයේ දරු දැරියන්ගේ තාක්‍ෂණ දැනුම දියුණුවට පරිගණක මධ්‍යස්ථානයක් ඉදිකර අවශ්‍ය පරිගණක පරිත්‍යාග කර විදුලිබල පහසුකම් සැපයීම මිහින්තලා ආලෝක භාරයට හැකි විය.

දුර්වර්ණ වූ චෛත්‍යරාජයා හුණු පිරියම් කිරීම සිදු කළේද පරිත්‍යාගශීලීන්ගේ නොමඳ ඇප කැප වීම නිසාය.

උඩමළුව දොළොස් මහේ පහනකින් අසිරිමත් කළ අතර ඒ සඳහා අලංකාර මැදුරක් ද ඉදි වුණි. මිහින්තලා ආලෝක භාරයේ විශේෂ ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මිහින්තලා විද්‍යාලය නවීකරණය විය.

ලංකා විදුලිබල මණ්ඩලයේ තාවකාලික විදුලිබල පද්ධතිය නවීකරණයෙන් පසුව නව භූ®ගත විදුලිබල පද්ධතියකින් පුදබිම ඒකාලෝක කරවීමට කටයුතු සලසන ලදී.

2012 වසරේදී මිහින්තලා පතිරාජ තෙන්නකෝන් ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ළමා උද්‍යානය නවීකරණය කිරීමත් එම වසරේදීම මිහින්තලා රජ මහාවිහාරයේ ඓතිහාසික පොහොය ගෙය මැලිබන් ආයතනය අනුග්‍රහයෙන් සංරක්‍ෂණය කිරීමත් සිදු විය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින්රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් මිහින්තලා පුදබිමේ නව සංවර්ධනය උදා වී ඇත.

එම වසරේ දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව පුදබිමේ මංමාවත් නවීකරණය කරමින් සොඳුරු පරිසරය සුරැකෙනා ලෙසින් කඳුවටා මාවත් කාපට් යොදා සංවර්ධනය කිරීමත්, පැරැණි රෝහල් මාර්ගය හා කටුසෑය මාර්ගය ඉදිකිරීමත් තවත් සුවිශේෂී කාර්යන්ය.

දෙස් විදෙස් බැතිමතුන්ගේ පා යුග ගැටෙනා මේ පින් බිමෙහි මැද මළුවට පිවිසෙන මීටර් 750 ක මාවත ‘වර්ණ කොන්ක්‍රීට්’ අතුරා සැකසීම ද සිදු කර ඇත.

ස්මාරක සංරක්‍ෂණය, නව මල්කුටි වෙළෙඳ සල් ඉදිකිරීම, ක්‍රමවත් කාණු පද්ධති, දර්ශනීය රථගාල, නව නගර උද්‍යාන ඉදි කරමින් ඒවා පොකුණු මගින් අසිරිමත් කරමින් නගරයේ සොඳුරු බවද පිවිතුරු බවද සුරැකීමට පියවර ගෙන තිබේ.

වත්මන් මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් මිහින්තලා අඹවනය මූලික කරගනිමින් අභය භූමියේ සඳුන් පැළ 500 ක් රෝපණය කිරීමද පසුගියදා සිදු විය.

සේල චෛත්‍යයේ නව චූඩා මාණික්‍යය ජනපති සුරතින් නිරාවරණය කිරීම මෙවර පොසොන් උළෙලට සමගාමීව සිදු කෙරෙනා තවත් පින්කම්ය. සේල චෛත්‍ය මළුවේ පැරැණි භූ දර්ශන, පැති බැමි, මිහිඳු ගුහාවේ අත්වැල හා ආවරණ,කුඩා ස්ථූප සංරක්‍ෂණය, ඉදිකටු සෑ පොකුණ මෙන්ම ප්‍රාකාර බැම්ම සංරක්‍ෂණයත් මහා මළුවේ පිළිමගෙය වහලය වෙනුවෙන්ද රජයෙන් බර පැන දරා ඇත.

මිහින්තලා –ලේක්හවුස් ආලෝක පූජාවට මෙවරත් දායකත්වය ලබාදෙන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා ඇතුළු ලේක්හවුස් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහායත් ආලෝක පූජාවට සම අනුග්‍රහය ලබා දෙන ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබිලිව්. වී.ගනේගල මහතා ඇතුළු එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහායත් අබාන්ස් ආයතනයේ බැතිබර දායකත්වයත් නිබඳවම අගැයිය යුතුය.

ලේක්හවුස් - මිහින්තලා ආලෝක භාරය මෙහෙයවීමෙන් දෙමහල් ධර්ම ශාලාවක් ඉදි කිරීමට යෝජිතය.

මෙසේ පනස් එක් වසරක් පුරා මිහින්තලා පුදබිම තෙදිනක් විදුලි පහන් ආලෝකයෙන් බැබළවීමට පත්තර මහ ගෙදර දරන ලද පින්බර දායකත්වය නිබඳවම අගැයිය යුතුය.