Print this Article


සෙල් ලිපි මඟින් සනාථ වන මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනය

සෙල් ලිපි මඟින් සනාථ වන මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනය

මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කර මේ වසරේ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයට හරියටම අවුරුදු 2321 සපිරෙන්නේ ය. අප මෙහිදී විශේෂ අවධානය යොමු කරවන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ එම ධර්මදූත පිරිස ලංකාවට වැඩම කරවීම පිළිබඳ ඓතිහාසිකව හා පුරාවිද්‍යාත්මක කරුණු විමසා බැලීමටය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236කට පසු සිදු වූ මහින්දාගමනයත් එයින් මාස හතරකට පසුව සිදු වූ සංඝමිත්තා ගමනය හා ශ්‍රී මහාබෝධි ශාඛාව ආගමනයත් යන සිද්ධි දෙක ලංකා ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් එමෙන්ම ප්‍රථම ස්ථානයෙහි ලා සිදු වූ සිදුවීම් බවට විවාදයක් නැත. ඒ මගින් ඇති වූ ප්‍රභාවයට සමකළ හැකි ඓතිහාසික පුවතක්ද අපේ ඉතිහාස මාර්ගයෙහි දී හමු නොවේ. එහෙත් මේ සිදුවීම් තුන එකක් හැටියට මිස වෙන වෙනම ගෙන සාකච්ඡා කිරීම කළ හැකි හෝ කළයුතු ද නොවේ. ඒවා සාකල්‍යයෙන්ම එකක් අනිකට සම්බන්ධය. (ශ්‍රී මහා බෝධීන්වහන්සේ ඉතිහාසය හා තදනුබද්ධ සංස්කෘතිය ආචාර්ය වැලමිටියාවේ ධම්මරක්‍ඛිත නාහිමි පි. 88 – 1991)

මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවීමේ පුවත ඓතිහාසික සිදුවීමක් ලෙසින් (ආගමික හා සංස්කෘතිකමය වටිනාකමකින් යුත්) දීපවංසය, මහාවංසය සහ සමන්තපාසාදිකා ආදී පුරාණ පාලි ග්‍රන්ථවල සඳහන් වී ඇති කරුණකි. මේ නිසා මහින්දාගමනය නමින් හඳුන්වන ඒ සිදුවීම ඓතිහාසික වශයෙන් පුරාණ පොත් පත් වල සඳහන් වී ඇති බව ඉතා පැහැදිලිය. මෙම ඉතා වැදගත් වූ සිදුවීම පුරාවිද්‍යාත්මකවද ඔප්පු කළ හැකි ශිලා ලේඛන දෙකක්ම අපට හමු වී තිබීම ඉතා අගනේ ය. මෙයින් එක් ශිලා ලේඛනයක් හමුවී ඇත්තේ මිහින්තලයෙනි. අනෙක අම්පාර දිස්ත්‍රිකයේ රජගල පුදබිමෙන් හමුවී ඇත. මේ ශිලා ලේඛන දෙකම පර්වත (ගිරි) ලිපි දෙකකි.

අපි පළමුව රජගල පුදබිමෙන් හමු වූ ගිරිලිපිය ගැන විමසා බලමු. මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව එම ධාතූන් වහන්සේලා නිදන් කොට මිහින්තලේ ද ලංකාවේ තවත් පුදබිම්වල ද දාගැබ් සාදන ලද බව මහාවංසයේ සඳහන් වී ඇති කරුණකි. ඒ අනුව රජගල පුදබිමෙන් හමුවී ඇති මෙම ගිරිලිපිය මගින් තහවුරු වන තවත් කරුණක් නම් මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා මිහින්තලේට අමතරව තවත් පුදබිම්වල නිදන් කර දාගැබ් සාදවන ලද බවය.

රජගල පිහිටි මෙම ගිරිලිපියේ මෙසේ සඳහන් වී ඇත. ‘යෙ ඉමදිප පටමය ඉදිය අගතන ඉඩික තෙර මහිද තෙරහ තුබෙ.

මෙහි අදහස මෙසේ ය. මෙම දිවයිනට එහි වාසනා මහිමය නිසා පැමිණි ඉට්ඨිය සහ මහින්ද තෙරුන්ගේ ස්තූපයයි. මෙම ගිරිලිපියේ සඳහන්වන ඉට්ඨිය තෙරුන්ද මිහිඳු මහරහතන් වහන්සේ සමඟ ලංකාවට වැඩම කළ භික්‍ෂූන් වහන්සේලාගෙන් එක්නමකි. මෙම ගිරිලිපිය (ශිලා ලිපිය) ලියා ඇති පර්වතය පාමුල දාගැබක නටබුන්ද හමුවී ඇති බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි. ((Incriptions of Ceylon පළමුවන වෙළුම පි. 35 – 1970 ශිලාලේඛන අංක 468)

මෙම ශිලාලිපිය පරණවිතාන මහතා විසින් යුනිවර්සිටි ඔෆ් සිලෝන් රිවිව් සඟරාවේ 1962 ඔක්තෝබර් කලාපයේ ද පළ කර ඇත. මෙම ශිලා ලිපිය වැදගත් වන්නේ ඒකාලයේ දීම මෙම බ්‍රාහ්මී අක්‍ෂරවලින් ලියන ලද ශිලා ලිපියක් ද නිසාය. (වල්ලිපුරම් රන් සන්නස හා හෙළ උරුමය පි. 214 – 2003 )

මෙහි මහිද තෙර යනුවෙන් සඳහන් වන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ය. එසේම ඉට්ඨිය තෙරුන්ගේ නාමය ද මේ සමගම සඳහන් කර උන්වහන්සේගේ ධාතූන් වහන්සේලාද මෙහි තැන්පත් කිරීමට හේතුව ලෙසින් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරන්නේ මෙම ප්‍රදේශය (ලංකාවේ නැගෙනහිර) බුදුසමය දියුණු කිරීමේ කටයුතු වල ඉට්ඨිය තෙරුන් වහන්සේ මූලිකත්වය ගෙන ක්‍රියා කර ඇති නිසා බවය. ඒ කෙසේ වුවද මෙහි ඉතා වැදගත්ම කරුණ වන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ බව පුරාවිද්‍යාත්මකවද සනාථ වී තිබීමය. මේ නිසා රජගල පර්වත ලිපිය (පේළි දෙකකින් යුක්ත) ඉතා වැදගත් ශිලා ලේඛනයක් ලෙසින් සැළකිය යුතුව ඇත.

මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා ඇත්තේ දේවානම්පියතිස්ස රජුට පසුව රජ වූ එතුමාගේ සහෝදරයෙකු වූ උත්තිය රජුගේ අටවැනි රජවර්ෂයේ දී මහාවංසයෙහි සඳහන් වී ඇත.

ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ දහවන සියවසතෙක් වූ කාල පරිච්ඡේදයකට අයත් ශිලාලිපි මෙන්ම පුරාණ පුදබිමකට අවශ්‍ය වන දාගැබ්වල ආරාම පොකුණු ප්‍රතිමාඝර ආවාස ගෙවල් සඳකඩපහණ, මුරගල්, කොරවක් ගල් ආදියෙහි නටබුන් මෙම රජගල පුදබිමෙහි විසිරී පවතී. මුහුදුමට්ටමේ සිට අඩි 1038 පමණ උසින් කඳුකර ප්‍රදේශයක අක්කර 300 අධික ප්‍රමාණයක් මෙම පුදබිමට අයත්වේ. මෙහි බ්‍රාහ්මී අක්‍ෂර සහිත ලෙන් ලිපිද රැසක් දක්නට ලැබේ. මිහින්තලේ මෙන්ම මෙම රජගල කන්ද ආශි‍්‍රත පුදබිමද එකල රාජ රාජ මහාමාත්‍යාදීන්ද පොදුජනතාවද වැඳුම් පිදුම් කළ පුදබිමකි.

මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳ හා ඒ සමඟ වැඩම කළ භික්‍ෂූන්වහන්සේලාගේ නාමයන් සඳහන් වන පර්වත ලිපියක් මිහින්තලෙන් ද හමුවී ඇත. මිහින්තලයට නගින විට එහි දකුණු පස ඇති පර්වතයෙහි බ්‍රාහ්මී අක්‍ෂරවලින් ලියන ලද මෙම ශිලා ලිපිය අයත් වන්නේ මහාදාඨික මහානාග (ක්‍රිස්තුවර්ෂ 9 – 21 ) රාජ යුගයට ය. ඒ රජතුමා විසින් මහින්ද බද්ධසාල ඉට්ඨිය හා උත්තිය තෙරවරුන්ගේ ප්‍රතිමා නිර්මාණය කරන ලද බව මිහින්තලා ගිරිලිපියෙහි දහතුන්වන පේළියෙහි සඳහන් කර ඇත. එහි මෙසේ සඳහන් වේ. (Inscriptions of Ceylon – II වෙළුම 1 කොටස  Prof Senarat Paranavithana p. 31 – 34)

මහිඳ තෙරහච, භද්‍රසාල තෙරහච ඉටික තෙරහච උති තෙරහච මඨමහ (කරච... පින අසතච (ණ)

රජගල ගිරිලිපිය සමකාලීන (මිහිඳු මහ රහතන් වහන්සේගේ කාලයේම) වුවද ඉහත සඳහන් ශිලාලේඛනය ඊට පසු කාලයකට අයත් බව පැහැදිලිය.

මහින්දාගමනය නමින් හඳුන්වා දෙනු ලබන මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ එම ධර්මදූත පිරිස අද වැනි දිනක ලංකාවට වැඩම කරවීම සැබවින්ම අප රටේ ආගමික සාමාජික හා සංස්කෘතික වශයෙන් හැරවුම් ලක්‍ෂයක් සනිටුහන් කරන එමෙන්ම අපගේ මෙතෙක් පැවති කෘෂිකාර්මික ශිෂ්ටාචාරය තවත් දියුණුවට පත් කරලීමේ ආරම්භක අවස්ථාවක් ලෙසින් ඉතිහාස ගත වී ඇත.