Print this Article


මිහිඳු මාහිමි පුබුදුවාලූ බෞද්ධ සංස්කෘතිය

මිහිඳු මාහිමි පුබුදුවාලූ බෞද්ධ සංස්කෘතිය

අපේ රටේ ප්‍රධාන චාරිත්‍ර වාරිත්‍ර රාශියක්ම ගොනු වී ඇති ධර්මදේශනා, දානමය පුණ්‍යකර්ම, පිරිත් සජ්ඣායනා, අවමඟුල් චාරිත්‍ර ආදිය මෙතෙක් සංවර්ධනය වී ඇත්තේ මිහිඳු මාහිමියන් විසින් හඳුන්වා දෙන ලද සංකල්ප පදනම් කොට ගෙන බව අපි දනිමු

සංස්කෘතිය යන වචනයේ සරල තේරුම සකස් කර ගන්නා ලද දේ යන්නයි. එහෙත් අප විසින් සකස්කර ගනු ලබන හැම දෙයකට ම සංස්කෘතියක් යැයි නොකියමු. මානව විද්‍යාවේ ප්‍රධාන ඉගැන්වීමක් වන සංස්කෘතිය යන සංකල්පය මානව විද්‍යාඥයන් විසින් විස්තර කරනු ලැබ ඇති ආකාරයට සාමාන්‍යයෙන් මෙසේ හැඳින්විය හැකිය. එනම් පුද්ගලයකුට ජීව විද්‍යාත්මකව හෙවත් උපතින් උරුම නොවූ එහෙත් දැනුම හා අත්දැකීම් පදනම් කොට ගෙන සකස්කර ගනු ලබන්නාවූ ජීවන රටාව සංස්කෘතියයි.

ලක්දිව සංස්කෘතියේ උදාව පිළිබඳව කථා කරන විට අවධානය යොමු වන කඩඉම් කීපයකි. පළමු කොට පාලි වංසකථාවන්හි වාර්තා වන පරිදි සම්බුද්ධාගමනය සිහිපත් වෙයි. සම්බුද්ධාගමනය මෙරට ඉතිහාසයේ වැදගත් ම සිදුවීමක් හැටියට වාර්තා වේ. ඒ පිළිබඳව අද කථා කරන්නට ඉතිරිව ඇත්තේ මහියංගණය, නාගදීපය හා කැලණිය යන සිද්ධස්ථාන හා සම්බන්ධ පුරාවෘත්ත පමණි.

දෙවන කඩඉම් අවස්ථාව වන්නේ විජයාගමනයයි. බුද්ධපරිනිර්වාණයට සමගාමීව සිදුවිනැයි වංසකථාවල වාර්තා වන විජයාගමනය සිංහල ජනවර්ගයේ ආරම්භය හැටියට සැලකෙයි. විජය ඇතුළු පිරිස ඉන්දීය ප්‍රභූ පන්තියෙන් විකාශනය වූ පිරිසක් වූ නිසාත් ලක්දිවට වඩා දියුණුව පවතින්නට ඇතැයි සිතිය හැකි සමාජ පරිසරයකින් පැමිණි පිරිසක් වූ නිසාත් ඔවුන්ගෙන් මෙරට සංස්කෘතියට යම් ධනාත්මක බලපෑමක් වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. කෙසේ වෙතත් විජයාගමනය සෘජුව සම්බන්ධ වන්නේ සිංහල ජනවර්ගයේ ජීව විද්‍යාත්මක සම්භවයටයි. ඒ අනුව අද මෙරට සිටින සිංහල මනුෂ්‍යයාගේ දේහ විලාශය විජයාගමනයෙන් උරුම වූවක් යැයි කීම සාධාරණය. ඊට අමතරව ග්‍රාම නාම ආදිය පදනම් කොට ගෙන මෙරට ජනාවාස බිහිවීමේ ඉතිහාසය ද යම් තරමකට විජයාගමනයට සම්බන්ධ කළ හැකිය. එහෙත් විජයාගමනය යනු සංස්කෘතික විපර්යාසයක් ඇති කළ සැලැසුම් සහගත කඩඉම් අවස්ථාවක් ලෙස සැලකිය නොහැක.

තෙවනුවට වැදගත් වන සිදුවීම වන්නේ මහින්දාගමනයයි. මහින්දාගමනය පාලි වංසකථාවලට සීමා වූ වාර්තාවක් නොවෙයි. පාලි වංසකථා හා පාලි අට්ඨකථා පමණක් නොව පුරාවිද්‍යාත්මක සාධක රාශියකින් ද වචනයෙන් කිව නොහැකි එහෙත් අපට දැනෙන සමාජ ආගමික හැඟීම් සමුදායකින් ද මහින්දාගමනයේ සංස්කෘතික බලපෑම තේරුම් ගත හැකිය. මහින්දාගමනයේ ප්‍රබල සංස්කෘතික මෙහෙවර හා ඉන් ඇති වූ පරිවර්තනය හොඳින් ම තේරුම් ගත හැක්කේ ක්‍රිස්තු වර්ෂ පස්වන ශතවර්ෂයේ ලංකාවට පැමිණි බුද්ධඝෝෂ අටුවාචාරින් වහන්සේගේ ලේඛන මගිනි.

මහින්දාගමනයට සමාන කළ නොහැකි නමුත් බුද්ධඝෝෂාගමනය මෙරටට පමණක් නොව බෞද්ධ ලෝකයට ම වැදගත් වන ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයකි. ථෙරවාදී බුදුදහමේ ඓතිහාසිකත්වය, අනන්‍යතාවය පමණක් නොව සම්භාවනීයත්වයත් මහින්දාගමනයේ ආගමික හා සංස්කෘතික සැබෑ වටිනාකම පිළිබඳවත් අපට කරුණු කියන්නේ බුද්ධඝෝස අටුවාචාරීන් වහන්සේය.

උන්වහන්සේ විසින් විනයට්ඨකථාවෙහි දීර්ඝ ලෙස විස්තර කරන ආකාරයට මහින්දාගමනයෙන් අපේ සෑම සංස්කෘතිකාංගයක් ම පාහේ ප්‍රභවය වී ඇති බව පැහැදිලිය. මිහිඳු මාහිමියන් මෙරටට හුදෙක් ආගමක් හඳුන්වා දුන්නා පමණක් නොවෙයි. උන්වහන්සේ අතින් සමස්ත ජනජීවිතය ම වෙනසකට භාජනය කරනු ලැබිණි. මිහිඳු මාහිමියන්ගේ ක්‍රියාකලාපයේ ඉතා සිත් ගන්නා ලක්ෂණයන් වන්නේ විධිමත් බවයි. ලංකාවට පැමිණීමට තීරණය කළ මොහොතේ පටන් සෑම දෙයක් ම සැලැසුම් කර තිබීම උන්වහන්සේගේ ධර්මදූත මෙහෙවරේ ප්‍රබල හේතුවක් විය.

මිහිඳු මාහිමියන් සිය ව්‍යායාමය දෙවැදෑරුම් පිළිවෙතක් ඔස්සේ ක්‍රියාත්මක කර ඇති බවක් පෙනෙයි. එනම් එක් අතකින් පුද්ගලයා තුළ ආධ්‍යාත්මික පරිවර්තනයක් ඇති කරනු වස් දිනපතා ම වාගේ ධර්මදේශනා පැවැත්වීමයි. මේ සඳහා සුදුසු මාතෘකා බුද්ධදේශනා තුළින් ඉතා විධිමත් ලෙස තෝරා ගත් බවක් පෙනෙයි. පළමු දේශනාව සඳහා තෝරාගෙන ඇත්තේ චුල්ලහත්ථිපදොපම සූත්‍රයයි. මෙහි විශේෂත්වය වන්නේ මෙමගින් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධරත්නය පිළිබඳව ලක්වැසියන්ට මූලික අවබෝධයක් ලබාදීමට හැකි වීමත්, චතුරාර්ය සත්‍යය ඇතුළු බෞද්ධ ඉගැන්වීම් පිළිබඳ දැනුම පමණක් නොව කෙනෙක් භික්ෂුවක වන ආකාරය හා භික්ෂුවකගේ හැසිරීම පිළිබඳවත් පෙන්වා දී තිබීමයි. මෙමගින් බුද්ධාගම යනු කුමක්දැයි රජතුමා ඇතුළු පිරිසට මූලික අවබෝධයක් ලැබුණ බවත් ලංකා බෞද්ධ සංස්කෘතියට අඩිතාලම වැටුණ බවත් නොඅනුමානය. මෙරට බෞද්ධ සංස්කෘතියේ ජීවමාන සංකේතය වන භික්ෂු ජීවිතය නිර්මාණය වීම තදනන්තර සියලු ප්‍රගතිශීලී ක්‍රියාවන්ට උපස්ථම්භකයන් විය.

මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනයේ ප්‍රතිපල හැටියට මෙරටට සංස්කෘතිකාංග රාශියක් හඳුන්වා දෙනු ලැබිණ. මේ කාර්යය ආරම්භ වූයේ දේවානම්පියතිස්ස රජතුමා විධිමත් ලෙස අභිෂේක කිරීමෙනි. මහාමේඝ වනෝද්‍යානය සංවර්ධනය කොට උද්‍යාන කලාවත්, භික්ෂු භික්ෂුණීන් සඳහා විහාරාරාම තැනවීමෙන් ආරාමීය සංස්කෘතියත්, පැවිදි උපසම්පදා වැනි ආගමික චාරිත්‍රත්, චෛත්‍ය වන්දනා, බෝධි වන්දනා වැනි අද ඉතාම ජනප්‍රිය ආගමික පූජෝත්සව පැවැත්වීමත් මෙරටට හුරු කරනු ලැබුණේ මහින්දාගමනයේ අතිරේක ඵල හැටියටය. අපේ රටේ ප්‍රධාන චාරිත්‍ර වාරිත්‍ර රාශියක්ම ගොනු වී ඇති ධර්මදේශනා, දානමය පුණ්‍යකර්ම, පිරිත් සජ්ඣායනා, අවමඟුල් චාරිත්‍ර ආදිය මෙතෙක් සංවර්ධනය වී ඇත්තේ මිහිඳු මාහිමියන් විසින් හඳුන්වා දෙන ලද සංකල්ප පදනම් කොට ගෙන බව අපි දනිමු.

මිහිඳු මාහිමියන් විසින් දේශිත විමානවත්ථු හා පේතවත්ථු පිළිබඳ දේශනා මගින් අද දක්වාමත් බෞද්ධ ජීවිතයේ අනන්‍ය ලක්ෂණයක් වන පාපයට බියවීම හා පිනට ලැදිකම රෝපණය කරනු ලැබිණි. දේවදූත සූත්‍රය, ආසිවිසෝපම සූත්‍රය, අග්ගික්ඛන්ධොපම සූත්‍රය, අප්පමාද සූත්‍රය ආදී හැම සූත්‍ර දේශනාවක් ම මිහිඳු මාහිමියන් විසින් උපයෝගී කොට ගෙන තිබුණේ ලාංකේය සංස්කෘතියේ ආධ්‍යාත්මය වන පුද්ගල සිතුම් පැතුම් ධනාත්මක ලෙස සංවර්ධනය කරනු පිණිසය. එහෙත් වර්තමානයේ මිහිඳු සංස්කෘතිය නමින් අදහස් කරන්නේ මෙකී ආධ්‍යාත්මික විපර්යාසය නොව හුදෙක් වාස්තු විද්‍යාව, චිත්‍ර කලාව, වාරිකර්මාන්තය, ආරාමීය අධ්‍යාපනය ආදී වූ භෞතික සංවර්ධනය බව කිව යුතුය.

මිහිඳු මාහිමියන් අනුරාධපුරයෙහි වැඩ විසූ වසර විසිහයක කාලය තුළ ප්‍රධාන වශයෙන් මිනිසුන්ගේ ආධ්‍යාත්මය සුවපත් කිරීමට උන්වහන්සේ කාලය යෙදවූහ. සත්ව ඝාතනය ඇතුළු පස් පවින් වැළකුණු ධාර්මිෂ්ඨ සමාජයක් ඇති කරලීම උන්වහන්සේගේ අරමුණ විය. එදා ආරම්භක අවධියෙහි සමාජයේ පැවති සාමකාමී, තෘප්තිමත් සැහැල්ලු ජීවන රටාව වර්තමාන දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයන් මගින් හෝ ඉතා දියුණු අධ්‍යාපන ක්‍රියාවලිය තුළින් හෝ අත්විඳ ගන්නට නොහැකි වී ඇත. වේගවත් භෞතික සංවර්ධනයක් විද්‍යමාන වුවත් ආධ්‍යාත්මික වශයෙන් මිනිසා මහා පරිහානියකට ලක්වෙමින් සිටී. ආත්මාර්ථකාමිත්වය ඉහවහා ගොස්ය. සමස්ත ජනසමාජය අතෘප්තිමත් ජීවිත ගත කරති. අපරාධ ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. සෑම කෙනෙක් ම පාහේ ජීවිතය පිළිබඳවත් ජීවන වටපිටාව පිළිබඳවත් අනියත බියකින් පසුවෙන බවක් දැකිය හැකිය.

මිහිඳු මාහිමියන් විසින් අවධාරණය කරණු ලැබූ අනිත්‍යතාව, සංසාරයේ බියකරු බව, මෙලොවක් පමණක් නොව පරලොවක් ද ඇත යන හැඟීම, සරල සැහැල්ලු ජීවිතයක අවශ්‍යතාව, පරාර්ථකාමිත්වය වෙනුවට අනුන් තළා පෙළා හැකිතරම් මෙලොවදී ම තමන්ගේ පසිඳුරන් පිනවා ගන්නා අරමුණුවලින් මිනිස් ජීවිත පිරී ඇත. පෙරදිග හා අපරදිග විවිධ ජාතීන්ගේ ආක්‍රමණ අපගේ ස්වාධීනත්වය හා සංස්කෘතික අනන්‍යතාවය කිලිටි වීමට හේතුවක් වුවත් අප විසින්ම අපගේ සංස්කෘතික අනන්‍යතාවට බරපතළ හානියක් කරගෙන ඇති බව පැහැදිලිය.

පුරාණයේ පැවැති චෛත්‍ය වන්දනා බෝධි වන්දනා ආදී පුද පූජා පින්කම්වල හා පෙරහර, අවුරුදු උත්සව, වෙසක් පොසොන් උත්සවවල මූලික අරමුණක් විය. එකී සැබෑ අරමුණු සිහියට නගා ගෙන ලක්දිව බෞද්ධ සංස්කෘතිය හරවත් කරන්නටත් පෞද්ගලිකව තම තමන්ගේ මනුෂ්‍ය ජීවිත සුවපත් කර ගන්නටත් මේ උතුම් පොසොන් පුරපසළොස්වක දිනයේ අධිෂ්ඨාන කර ගනිමු.