Print this Article


සුදුහුම්පොළ විමලසාර හිමියන්ගේ ‘දහම් සෙවණේ සිඟිත්තෝ’

සුදුහුම්පොළ විමලසාර හිමියන්ගේ ‘දහම් සෙවණේ සිඟිත්තෝ’

වෙඩි හඬ නෑසුණත්, මේ දරු දැරියන් කාලය ගෙව්වේ යුද මානසිකත්වයකින්. වැඩිහිටියන්ගේ කතා බහෙන් විතරක් නෙමෙයි, ගුවන් විදුලියෙන්, රූප පෙට්ටියෙන් යුද්ධය ගැන ඇසෙන දකින දේ නිසා ඔවුන් නිරන්තරයෙන් ම පීඩාවට පත් වුණා. ඒ යුද පෙරමුණට ගිය තාත්තට, අප්පච්චිට කුමක් හෝ කරදරයක් වේද? යන බියෙන්, නිවසේ දුරකතනය නාද වන මොහොතක් පාසා ඔවුන්ගේ සිත සලිත වුණා. ඒ අතරම මිතුරු මිතුරියන් ගේ පියවරුන් අසල්වැසි නිවෙස්වල මාමලා, අයියලා යුද්ධය නිසා දිවි පුදන හැටි ඔවුන් දුටුවා.

‘දහම් සෙවණේ සිඟිත්තෝ’ වැඩසටහන්වලට සහාය දුන් මියන්මාරයේ හිටපු ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවක්.

සුදුහුම්පොළ විමලසාර හිමියන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට සමරු තිළිණයක් පිළිගන්වමින්.

ජපානයේ දී ‘දහම් සෙවණේ සිඟිත්තෝ’ ළමා සමාජයකදී

යුද්ධයේ අමිහිරි භයානක අත්දැකීම් ඔවුන් වෙත ආවේ ඒ විදිහට. පනාගොඩ කැන්දලන්ද යුද හමුදා නිල නිවාසයන්හි දිවි ගෙවූ පොඩිත්තන් ගේ කතාවයි මේ.

යුද්දෙට ගිය තාත්තා ගැන මහා බරක් හිතේ හිර කරගෙන, කඳුළු හංගා ගෙන හිනාවෙලා ජීවිතයට මුහුණ දෙන අම්මගේ දෙපා නැමැඳ පාසලට යන මේ පොඩිත්තො පාසල් ගේට්ටුව ළඟදී සිතින් අසරණ වුණා. තමන් ගේ ම පන්තියේ යහළු යෙහෙළියන් තාත්තලාගේ අතේ එල්ලිලා පාසලට එන හැටි ඔවුන් දැක්කේ බොඳවුණු දෙනෙතින්.

‘අනේ තාත්තගේ අතේ එල්ලිලා අපටත් ඉස්කෝලෙ එන්න පුළුවන් වුණා නම්.’ මේ දරුවන්ට අනේක වාරයක් හිතෙන්නට ඇති.

‘නුඹේ පියා යුද්දෙට ගියේ අපි වෙනුවෙන්, මේ රට වෙනුවෙන්. අප සැනසිල්ලේ ඉන්නේ ඒ වීරෝදාර රණ විරුවන් නිසයි. දුක්වෙන්න එපා පුතේ. කවදා හරි සතුට අරගෙන තාත්තා ගෙදර එයි.’ එසේ ආදර වදනින් හෝ මේ දරුවන් දිරිමත් කරන්නට කෙනෙක් හිටියා නම් ඒ කලාතුරකින්.

ඒ දරුවන් ගේ දුක වේදනාව පිරුණු සිත කියවිය හැකි වුණේ මිනිසුන් අතර සිටි සැබෑ මිනිසකුට විතරයි.

එවකට හැමදාමත් මේ දරුවන් ගේ අහිංසක මුහුණු ඇස ගැටෙන බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා බ්‍රිගේඩියර් කස්තුරිආරච්චි මහතාත් කල්පනා කළේ මේ දරුවන් ගේ මානසිකත්වය නැංවීමේ වැඩපිළිවෙළක් ගැනයි. අඩුම තරමේ මේ දරුවන් තුළ ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්න සිත එකඟ කර ගන්නා තරමට සුදුසු මානසික වාතාවරණයක් ගොඩ නඟන්නට ඔවුන් දෙදෙනා උත්සාහ කළා.

පුංචි ටෙන්ට් ආවරණයක් ඇතුළෙ ළමා සමාජයක් නිර්මාණය වුණේ ඒ උත්සාහයන් මල් ඵල දරමින්. ‘දහම් සෙවණේ සිඟිත්තෝ’ නමින් ආරම්භ වුණු මේ ළමා සමාජය මෙහෙය වූයේ තරුණ ස්වාමින් වහන්සේ නමක්.

ගිහි සැප හැර දමා බුදු පුතකු වූ උන්වහන්සේ අනුන් ගේ දුකේ දී කම්පා වෙන සංවේදී ගතිගුණවලින් පිරිපුන් හිමි නමක්. ඒ සුදුහුම්පොළ විමලසාර හිමියන්. දහම් සෙවණේ සිඟිත්තන් සමඟ එක් වන විට උන්වහන්සේට වයස අවුරුදු 20ක් තරම්.

ප්‍රාථමික ශ්‍රේණිවල දරුවො විතරක් නෙමෙයි, ඉහළ පන්තිවල දූ පුතුන් පවා පොඩි හාමුදුරුවන්ට බොහොම එකතුයි. උන්වහන්සේගේ කරුණාබර වචන, සංවරශීලී හැසිරීම කියා දෙන ලස්සන බණ කතා උපදේශ කතා, මේ දරු දැරියන්ට මානසික සුවයක් වගේම සතුටක් ගෙන දුන්නා. මේ නිසාම ළමා සමාජය වටා එක් රොක් වුණු පිරිස දවස ගානෙම වැඩි වුණා.

ඒ වර්ධනයත් එක්ක ළමා සමාජයේ සාමාජිකයන්ට හමුවෙන්න තැනක් අවශ්‍ය වුණා.ඒ සඳහා අපූරු ගොඩනැගිල්ලක් තැනුණේ යුද හමුදා බෞද්ධ මණ්ඩලයෙන්.

මේ සියලු කටයුතු කෙරුණේ පනාගොඩ පන්සල මූලික කරගෙනයි. නව ගොඩනැගිල්ල ඉදිවීමත් සමඟම දහම් සෙවණේ සිඟිත්තෝ ළමා සමාජය තව තවත් වර්ධනය වුණා. වැඩිකලක් යන්නට මත්තෙන් සාමාජිකයන් ගණන 3200ක් දක්වා වැඩි වුණා. යුද හමුදා නිල නිවාසවල දරුවන්ගෙ සහභාගිත්වයෙන් ආරම්භ වුණත් ළමා සමාජය ගැන අහපු අවට ප්‍රදේශවල දරුවොත් ඊට එකතු වුණා.

හැම තත්ත්පරයකම දැඟලිල්ලටම හිත යන පුංචි දරුවො තුන් හාර දහසක් පාලනය කිරීම අපහසු කාර්යයක්. දරුවො දෙන්නා තුන්දෙනා ඉන්න ගෙදරක වුණත් ඔවුන් පාලනය කරගන්න අම්මලා ගන්න උත්සාහය අපමණයි. ඒත් විමලසාර හාමුදුරුවන්ට මේ දරුවො සංවරව තබා ගැනීම, විනීතව පාලනය කර ගැනීම ලොකු අභියෝගයක් වුණේ නෑ. උන්වහන්සේ මේ දරුවන්ට එක කොන්දේසියක් පැනෙව්වා.

දහම් සෙවණේ සිඟිත්තන්ට එකතු වෙන්න නම් හැම පසළොස්වක පෝය දවසකම සිල් සමාදන් විය යුතු වීම ඒ කොන්දේසියයි. ඒ අවවාදය පිළිගත් පොඩි දරුවෝ සුදුවතින් සැරසිලා හැම පෝයකම සිල් සමාදන් වුනා. සීල සමාදාන පින්කම් විතරක් නෙවෙයි. චිත්‍ර, ක්‍රීඩා, නැටුම්, ගැයුම්, වැයුම් වැනි විවිධ අංශවලට මේ දරුවන් යොමු කරමින් ඔවුන්ගේ දස්කම්, විස්කම් පෙන්වීමට අවස්ථාව ලබා දුන්නා. දස්කම් පෙන් වූ අයට ඒ කුසලතා තව තවත් වැඩිදියුණු කර ගන්නට විමලසාර හාමුදුරුවෝ උදව් උපකාර කළා. ඒ ඔස්සේ “ඔබේ පියා දුර බැහැර සිටියත් ඔහු ගේ සේවය උදාරය.” අපි ඔහුට ආශිර්වාද කළ යුතු ය. ඔබේ දස්කම් පෙන්වා යුදබිමේ සිටින තාත්තා දිරිමත් කරන්නට ඔබට පුළුවන. යන පණිවුඩ මේ දරුවන් ගේ හිතට කා වැදුණා.

ඒ විදිහට හිතට අරගෙන දිරිමත් වුණු මේ දරුවෝ තමන් ගේ සැඟවුණු කුසලතා ගුරු දෙගුරුන් නෑදෑ හිත මිතුරන් ඉදිරියේ ඉදිරිපත් කළා. මේ ආරංචිය ගම් දනව් පුරා පැතිරී ගියා. ‘දහම් සෙවණේ සිඟිත්තෝ’ ගම් මට්ටමින් ආරම්භ කරන ලෙස දිගින් දිගටම ඉල්ලීම් ලැබුණා. මොරටුව, මීගොඩ, දැල්තර වගේ ප්‍රදේශවල මේ ළමා සමාජ ව්‍යාප්ත වුණේ එහි ප්‍රතිඵලයක් ලෙසට.

මේ ව්‍යාප්ත වීම ජාතික වශයෙන් වැදගත් වන නිසා ජාතික රූපවාහිනිය ඔස්සේ සෑම පසළොස්වක පොහෝ දිනකම ‘දහම් සෙවණේ සිඟිත්තෝ’ නමින් වැඩසටහනක් විකාශය වුණා.

එවකට හිටපු රූපවාහිනී සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු පිරිස මේ වැඩසටහනට විශාල දායකත්වයක් ලබා දුන්නා. ජනාධිපතිතුමා ඇතුළු දේශපාලන අධිකාරියෙන් හොඳ සහායක් මේ සඳහා ලැබුණා. ක්‍රමයෙන් මේ වැඩසටහන ගම් මට්ටමට ගියා. ලංකාවේ සියලු දිස්ත්‍රික්ක පුරා විහිදුණා. ළමා සමාජ 3823ක් බිහිවුණා.

රූපවාහිනියෙන් විකාශය වූ ‘දහම් සෙවණේ සිඟිත්තෝ’ වැඩසටහන පසුව ගුවන් විදුලියෙන් ද විකාශය වුණා. අවස්ථා රැසකදීම මේ වැඩසටහන ප්‍රදර්ශනාත්මක ලෙසින් කරළියට ආවා. 1994 වසරේ මොරටුව වේල්ස් කුමරි විදුහලේ පැවැත් වූ මහා නිර්මාණ දැක්මට වත්මන් ජනාධිපතිතුමා විසින් සුබපැතුම් පණිවුඩයක් එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසින් ලබා දී තිබුණා.

මේ අතරදී උසස් අධ්‍යාපනයට විමලසාර හිමියන් ඉන්දියාවට වැඩම කළා. එහිදී උන්වහන්සේගේ සේවාව දැකපු ජපන් භික්‍ෂූන් වහන්සේ එම සේවය නංවන්න උදව් කරන්න ඉදිරිපත් වුණා. එහෙත් දහම් සෙවණේ සිඟිත්තෝ ළමා වැඩසටහන ලංකාව පුරා ක්‍රියාත්මක කරන්න හදවතින් දායක වූ අය නොමැති තරම්. ඒත් උත්සාහය අත් නොහැරපු විමලසාර හාමුදුරුවෝ ජපන් ආධාර ඇතිව දහම් සෙවණේ සිඟිත්තන් ගේ අධ්‍යාපනික භාණ්ඩ අවශ්‍යතා පවා ඉටු කරා. ඒ බොහොම නිහඬ සේවාවක් හැටියටයි. ජපන් වැසියන් මේ ළමා සමාජ ක්‍රමයට හරිම පි‍්‍රය කළා. ඔවුන් ඒ වැඩසටහන ජපානයේත් ක්‍රියාවට නංවන ලෙසට ඉල්ලීම් කලා.

ඒ විදිහට ජපානයෙන් පස්සේ එංගලන්තයේත්, ඇමරිකාවේත් මේ ළමා සමාජ බිහිවුණා. මියන්මාරය, තායිලන්තය වගේ රටවලත් මේ වැඩසටහන ක්‍රියාත්මක වුණා. අදත් ඒ රටවල මේ ළමා සමාජ ක්‍රියාත්මක වෙනවා. ලංකාවේත් මේ ළමා සමාජ හොඳින් ක්‍රියාත්මක වෙනවා.

මෙම වැඩසටහන ජාතික වශයෙන් වගේම අන්තර්ජාතිකවත් වැදගත් වෙච්ච නිසා ඒකට වෙබ් අඩවියක් විවෘත කරා, ඒ 2011 අවුරුද්දේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා අතින්. අද ලංකාවේ යුද්ධයක් නැහැ. කැන්දලන්ද යුද හමුදා නිල නිවාස වගේම උතුරු නැඟෙනහිර හැම දූ දරුවෙක්ම හිනා වෙනවා. ඒ වුණත් ‘දහම් සෙවණේ සිඟිත්තෝ’ එදා වගේම අදත්, අපේ දූ පුතුන් එක්ක ඉන්නවා. ‘දූ දරුවකු වරදින් මුදා හොඳින් සිරිත් පුරුදු කරමින් දැන උගත් කළ යුතු බව බුද්ධ දේශනාවයි.’

බුද්ධිමත් විනය ගරුක සමාජයක් මතු කර ගත හැකි වන්නේ ඒ තුළින්. දහම් සෙවණේ සිඟිත්තෝ ජාතික ළමා සංවර්ධන වැඩසටහන ඒ බොදු මඟ ගමන් කරමින් තිබෙනවා. කුඩා දරුවන්ට හොඳ නරක පුරුදු කරමින් යහපත් සිරිත් පුරුදු කිරීම එහි අරමුණයි. මව්පියන් වැඩිහිටියන් නැමැඳීමටත් නිවැරැදිව හා අවංකව කටයුතු කිරීමටත් මෙහිදී වැදගත් කොට සලකා තිබෙනවා.

සදාචාර චර්යා ධර්මයන් හැඩගස්වමින් ඉගෙනීම් කටයුතු කළ යුතු බව මේ සිඟිත්තන්ට හුරු කරවීමට විමලසාර හිමියන් මහත් වෙහෙසක් ගන්නවා. උන්වහන්සේගේ අරමුණ උස් ගොඩනැගිලි හදන්න නෙමෙයි. වෙහෙර විහාර ගණන වැඩි කරන්න නෙමෙයි. කුඩා දූ දරුවන් ගේ නැණැස වඩවන්නයි. ඔවුන්ගේ චර්යා ධර්ම දියුණු කරන්නයි උන්වහන්සේ ඇප කැප වී ඉන්නේ. ඒකට ලංකාවේ ඉඳගෙන කළුගමුවේ නාරද හිමියන් ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. විමලසාර හාමුදුරුවන් එදත් අදත් එක වගේම ලංකාවට ආදරෙයි. දරුවන්ට ආදරෙයි.

දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ විමලසාර හාමුදුරුවන් ගෙන ආ ‘දහම් සෙවණේ සිඟිත්තෝ’ වැඩසටහන අනාගත පරපුරට දායාද කිරීම අප කාගේත් වගකීමක් වනවා. ඒ වගේම රූපවාහිනී සංස්ථාවේ වත්මන් සභාපති මොහාන් සමරනායක මහතා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට උන් වහන්සේ තම ස්තුතිය පිරිනමන්නේ ‘දහම් සෙවණේ සිඟිත්තෝ වැඩසටහන අඛණ්ඩව විකාශය කරන නිසයි.’