Print this Article


පුරාවිද්‍යා සාධක මගින් සනාථ වන මහින්දාගමනය

පුරාවිද්‍යා සාධක මගින් සනාථ වන මහින්දාගමනය

පොසොන් පුරපසළොස්වක පොහොය පිළිබඳව සිහිපත්වන විටම සිහියට නැඟෙන්නේ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තියයි. ප්‍රකට මහින්දාගමනය යන්නෙන් කියැවෙන්නේ එම ඓතිහාසික සිදුවීමයි. මේ ලිපියේ අරමුණ පුරාවිද්‍යාත්මක සාධක මඟින් මහින්දාගමනය සනාථවන අයුරු පැහැදිලි කිරීම යි.

මහින්දාගමනය සිදුවන්නේ ඉන්දියාවේ අධිරාජයාව සිටි ධර්මාශෝක මහ රජුගේ හා ශ්‍රී ලංකාවේ රාජ්‍යපදප්‍රාප්ත තිස්ස මහරජුගේ,අදෘෂ්ඨ මිත්‍ර සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් වශයෙන් බව අප සැවොම දන්නා කරුණකි. මේ සිදුවීම සිදුවන්නේ බු.ව. 236 දීය. එනම් ක්‍රි.පූ. 247 දීය. මහින්දාගමනය යනු ශ්‍රී ලංකා සංස්කෘතියෙහි සුවිශේෂ සන්ධිස්ථානයකි. මෙරට සංස්කෘතිය නව මඟකට යොමුකළ මහානර්ඝ සිදුවීමක් වශයෙන් මෙය හඳුන්වා දිය හැක්කේ එබැවිනි. මහාවංශයෙහි මහින්දාගමනය පිළිබඳ සටහන්ව ඇත්තේ මෙසේය.

ඛණෙනෙව ඉධාගම්ම
රම්මේ මිස්සක පබ්බතෙ
අට්ඨාසි පීලුකූටම්හි
රුචිරම්භත්ථලේ වරේ

(ම.ව. 13 පරි.20 ගාථාව, ම.ඉලංගසිංහ සංස් 2006 )

‘ක්ෂණයකින් මෙහි වැඩමකොට සිත්කලු මිස්සක පර්වතයෙහි උතුම් රුචිර අඹ තලයෙහි වැඩ සිටි සේක’ වශයෙන් ඒ සඳහා අර්ථ සැපයිය හැකිය.මේ අවස්ථාවේ චාරිත්‍ර ප්‍රකාර උත්සවයක යෙදී සිටි තිස්ස මහරජතුමා මුවකු පසුපස ලුහුබඳිමින් සිටියේය. මහාවංශයෙහි එය දක්වා ඇත්තේ මෙසේය.

දේවානම්පියතිස්සො සො
රාජා සලිලකීලිතං
දත්වා නගර වාසීනං

මිගවං කීලිතුං අගා (ම.ව. 14 පරි. 01 ගාථාව)

‘ඒ දෙවන පෑතිස් රජ තෙමේ නුවර වැසියන්ට දියකෙළි විධාන කොට තෙමේ මුවදඩ කෙළියට ගියේය’ වශයෙන් එහි අර්ථය පෙනේ. මෙයින් පැහැදිලි වන්නේ දේවානම්පියතිස්ස රජු පොසොන් පුරපසළොස්වක පොහෝ දින මුවදඩ කෙළියෙහි යෙදී සිටි අවස්ථාවේදී මිහිඳු මහරහතන් වහන්සේ මෙරට මිස්සක පවුවට වැඩි බවයි. වංශකථාවේ එන මේ සිදුවීම පුරාවිද්‍යා සාධක මගින් තහවුරුවන්නේද යන්න කෙරෙහි අප අවධානය යොමු කළ යුතුව ඇත්තේය.

ධර්මාශෝක මහරජතුමා ධර්මදූතයන් පිටත්කර හරින ලද ප්‍රදේශ හා රාජ්‍ය පිළිබඳ විස්තරයක් ඒ රජුගේ 13 වැනි ගිරිලිපිවල සටහන්ව ඇත්තේය. ඒ අනුව ගිර්නාර්, ෂාහබෂ්ගර්, ඛල්සි, මාන්සේරා යන ගිරිලිපිවල 13 වැනි ලිපිවල එක හා සමාන තොරතුරු සටහන් වෙයි. එහි චෝඩා, පාම්ඩ්‍යා, ඒවම් තම්බපම්ණියා, හිද රාජ විශාවාසි යොන කම්බොජෙසු,....’ (ධ්දඵජපඪනබඪධදඵ ධට ඒඵධඬච, ඡර ඩ්භතබලඵජඩ ,ඡ්,1969 නන210 –211 ) වශයෙන් දේශයන් නවයකට යවන ලද ධර්ම දූතයන් පිළිබඳ තොරතුරු සටහන්ව තිබේ. මෙහි ‘තම්බපම්ණියා ‘ වශයෙන් දක්වා ඇත්තේ පැහැදිලිවම ශ්‍රී ලංකාව පිළිබඳවයි. එබැවින් වංශකථාවන්හි දිස්වෙන,මෙරටට මහින්ද හිමි ඇතුළු ධර්ම දූතයන් වහන්සේගේ සම්ප්‍රාප්තිය ඉන්දීය අශෝක ශිලා ලේඛන සතරකින්ම පැහැදිලිව සනාථ ව තිබේ.

මීළඟට අපගේ අවධානය යොමුවන්නේ මෙකී සිදුවීම සම්බන්ධයෙන් ඇති වංශකථාගත සාධකවලට අමතරව ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා සාධක මඟින් එය සනාථවන අවස්ථා සම්බන්ධයෙනි. මෙරටට වැඩම වූ ධර්මදූත කණ්ඩායම පැහැදිලිව නම් වශයෙන් මහාවංශයෙහි සටහන්කොට තිබේ.

මහාමහින්දත්ථෙරං තං
ථෙර ඉට්ඨියමුත්තියං
සම්බලං භද්දසාලාංච
සකෙ සද්ධිවිහාරිකෙ

(ම.ව. 12 පරි. 08 ගාථාව)

මහා මහින්ද තෙරුන්වහන්සේ ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල යන සද්ධිවිහාරික තෙරුන් වහන්සේද කැටුව මෙරට වැඩි බව එයින් සනාථ වේ. තවද සුමන සාමණේර හා භණ්ඩුක උපාසක යන අය ද මේ ගමනට එක් වූ බව මහාවංශයෙහි සටහන්ව තිබේ.

මෙකී තෙරුන් වහන්සේ පිළිබඳ වූ ඓතිහාසික සිදුවීම ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා සාධක මඟින් ද සනාථ වී ඇත්තේය.ක්‍රි.පූ. දෙවැනි සියවසට හෝ ක්‍රි.පූ. පළමුවැනි සියවසේ මුල් භාගයට අයත් යැයි සැලකිය හැකි අම්පාර දිස්ත්‍රික්කයේ රජගල පිහිටි ශිලාලිපිවලින් එක් ලිපියක මෙසේ සඳහන් ය.’යෙ ඉමදිප පටමය ඉඩිය අගතන ඉඩික (තෙර ම ) හිද තෙරහ තුබෙ’ (ර්‍ථචපචදචමඪබඩචදච ඉ ,ධ්.ඛ්. ඍධත.ත,ව්ධ 468 ,න .35 ) මේ ශිලාලිපියෙන් කියැවෙන්නේ ‘මේ දිවයිනට පළමුවෙන් ඍද්ධියෙන් වැඩම කළ,ඉත්ථිය තෙරුන්ගේ හා මහින්ද තෙරුන් වහන්සේගේ ථූපයයි ‘ යන්නයි.මෙහි පැහැදිලිව ම ‘ඉඩිය’ යනුවෙන් වදනක්වෙයි. සිංහල ප්‍රාකෘතියට අනුව ඒ සඳහා ඍද්ධියෙන් ‘ යන අදහස ගත හැකිය. එහෙත් පරණවිතානයන් ඒ සඳහා ගෙන ඇත්තේ ‘අභිවෘද්ධිය පිණිස’ යන තේරුමයි. (‘.....එඩධ ජචථඥ බධ බඩඪඵ ධ්ඵතචදඤ ඡර ඪබඵ ඨධධඤ ටධපඥථධඵබ ඨධධඤ ටධපබභදඥ’) එහෙත් වංශකථාවෙහි පැහැදිලිව ම උන්වහන්සේ ඍද්ධියෙන් (අහසින්) වැඩමකළ බව කියැවේ.

තස්මා විහාරං ආකාසං උග්ගන්ත්වා සො
මහිද්ධිකො
ඛනෙනෙව ඉධාගම්ම ...’

(ම.ව. 12 පරි. 19/20 ගාථා)

එයින් පැහැදිලි වන්නේ උන්වහන්සේ ඍද්ධියෙන් වැඩම කළ බවයි. ඉහත රජගල ශිලාලේඛනයේදී ද ‘ඉඩිය’ වශයෙන් යෙදී ඇත්තේ ඍද්ධියෙන් වැඩි බවයි. නොඑසේව පරණවිතානයන් දක්වන ලෙස ‘අභිවෘද්ධිය පිණිස ‘ යන්න නොවේ. ‘ඉඩිය’ යන තත්කාලීන සිංහල ප්‍රාකෘත වචනයට වඩාත්ම ගැළැපෙන්නේ ‘ඍද්ධි’ යන තේරුමයි.කෙසේ වෙතත් ‘අභිවෘද්ධිය පිණිස ‘ යන අදහස ගත්තද මහින්දාගමනයේ ඓතිහාසිකත්වය සනාථ වීම විෂයෙහි එයින් කිසිදු බාධාවෙක් ඇති නොවේ.

මීළඟට අප අවධානය යෙදිය යුතු වන්නේ, අනුරාධපුරයේ වාසය කොට පිරිනිවන් පෑ මහින්ද හිමි ඇතුළු තෙරුන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් ථූපයන් රජගල වැනි දුර බැහැර ප්‍රදේශවලින් හමුවන්නේ ඇයි ද යන්න පිළිබඳයි. මේ තත්ත්වය, ඓතිහාසිකත්වය පිළිබඳ සැක සංකා ඉපදවීමට බාධාවක් නොවේ. දීප වංසයෙහි, රටේ දුර බැහැර උන්වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් ථූපයන් සෑදවීමට බලපෑ සාධක පැහැදිලිව දිස් වේ.

ධාතුසේසං ගහෙත්වාන මහින්දස්ස
සුධීමතො
අකා ථූපවරං සබ්බේ ස්වාරාමේසු
ච ඛත්තියො

(දී.ව. 17 පරි.112 ගාථාව )

මෙහි අදහස වන්නේ, ඒ උත්තිය රජ තෙමේ, ආදාහනයෙන් අනතුරුව මිහිඳු හිමිගේ ශාරීරික ධාතු ශේෂයන් ගෙන සියලු අරම්හි උතුම් චෛත්‍ය සෑදවූ බවයි. රජගලින් කියවෙන්නේද එබඳු එක් ථූපයක් පිළිබඳ විස්තර බව පැහැදිලිය.

මහාදාඨික මහානාග රජුගේ (ක්‍රි.ව. 7 –19) මිහින්තලේ ගිරි ලිපියෙහි ඇති තොරතුරුවලින් ද මහින්දාගමනයේ ඓතිහාසිකත්වය සනාථ වේ. එහි ‘බරලිපණහ’ නම් ස්ථානයේ ඇති වැවේ ආදායම මහින්ද,භද්‍රසාල, ඉත්තිය හා උත්තිය යන තෙරවරුන්ගේ පිළිරූ නඩත්තුව සඳහා යෙදවිය යුතු බව සටහන් වෙයි. එයින් පැහැදිලි වන්නේ උත්තිය රජු විසින් ඒ වන විට එකී පිළිරූ සාදවනු ලැබ තිබූ බවයි. එකී ශිලාලේඛනයෙහි ‘බරලි පනහි කරව මහිද තෙරහච භද්‍රසාල තෙරහච ඉටික තෙරහච උති තෙරහච පඨමහ කරපිත..’ (ර්‍ථචපචදචමඪබඩචදච ඉ,ධ්.ඛ්.ඍධතත .ධ්ධ් ර්‍ථචපබ ධ්,න 33 ) වශයෙන් සඳහන් වන්නේ ඒ අදහසයි.

මෙකී සාධකවලින් පැහැදිලි වන්නේ ඉන්දීය හා ශ්‍රී ලාංකේය වංශකථාවලින් පමණක් නොව දෙරටෙහි ම ඇති ශිලාලේඛවලින් ද පැහැදිලිවම මහින්දාගමනයේ ඓතිහාසිකත්වය සනාථ වන බවයි.ඒ අනුව, මහින්දාගමනය යනු ශ්‍රී ලංකා සංස්කෘතිය නිර්මාණය කිරීමෙහිලා සුවිශේෂී බලපෑමක් සිදු කළ ඓතිහාසික වශයෙන් ඉතා පැහැදිලි සිදුවීමක් බව සඳහන් කළ හැකිය.