Print this Article


දඹදිවට අගරජ වූ ධර්මාශෝක රජතුමා

දඹදිවට අගරජ වූ ධර්මාශෝක රජතුමා

ධර්මාශෝක රජතුමා ලක්දිව ජනතාවට විශේෂ ගෞරවයක් දැක්වූ අයකු බව ලක්දිවට එවන ලද ධර්මදූත කණ්ඩායමේ නායකත්වයට තම පුත් මිහිඳු මහ රහතන් වහන්සේම තෝරා ගැනීමෙන් පැහැදිලි වේ. එපමණක් නොව ලක්දිව බෞද්ධ ජනතාවගේ නිරන්තර වන්දනාවට ලක්වන ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීමටත් මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමටත් තම දියණිය වූ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ලක්දිවට වැඩම කරවීමද සුවිශේෂි සිදුවීමකි.

ලක්දිව බුදුසසුන පිහිටුවීමේ මාහැඟි අවස්ථාව සමරන මෙවන් සමයක ඒ උතුම් ධර්මදූත සේවාවට හා තෙවැනි ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය ලබාදුන් ධර්මාශෝක රජතුමා පිළිබඳ වෙසෙසින් අවධානය යොමු වේ. එතුමන්ට ශාසන ඉතිහාසයේ සුවිශේෂී තැනක් හිමිවන අතරම ශ්‍රී ලාංකේය බෞද්ධයන් වන අපට එතුමන්ගේ ගුණ සිහිකිරීම අතිශයින්ම වැදගත් වේ.

බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ සිද්ධස්ථාන සොයා ගෙන එම සිද්ධස්ථානවල අශෝක ස්ථම්භ පිහිටුවා බෞද්ධයන්ට වැඳ පුදා ගැනීමට අවස්ථාව සැලසීමෙන් ධර්මාශෝක රජතුමා විසින් සිදු කරන ලද ශාසනික මෙහෙය සමස්ත ලෝකවාසී බෞද්ධයන්ටම කරන ලද සදානුස්මරණීය සේවාවකි. ධර්මාශෝක රජතුමා ලක්දිව බෞද්ධ ජනතාවට විශේෂ ගෞරවයක් දැක්වූ අයකු බව ලක්දිවට එවන ලද ධර්මදූත කණ්ඩායමේ නායකත්වයට තම පුත් මිහිඳු මහ රහතන් වහන්සේම තෝරා ගැනීමෙන් පැහැදිලි වේ. එපමණක් නොව ලක්දිව බෞද්ධ ජනතාවගේ නිරන්තර වන්දනාවට පූජනීයත්වයට ලක්වන ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීමටත් මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමටත් තම දියණිය වූ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ලක්දිවට වැඩම කරවීමද සුවිශේෂි සිදුවීමකි.

බොහෝ ඈත අතීත කාලයක බරණැස් නුවර මී පැණි වෙළෙඳාමේ නියුක්ත වූ සහෝදරයෝ තිදෙනෙක් වූහ. වැඩිමල් සොහොයුරා ඈත ගම්වලට ගොස් මී පැණි එකතු කරයි.දෙවැන්නා එම මී පැණි ගෙනැවිත් දෙයි. බාල මලණුවන් එම මී පැණි විකිණීම කරයි. එකල ගන්ධ මාදන පර්වතයේ වාසය කරන එක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් යම් කිසි ව්‍යාධියක් සඳහා මී පැණි ලබා ගැනීමට පිණ්ඩපාතයේ වැඩි සේක. එම පසේබුදුන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩියේ ඉහත කී බාල මලණුවන් මී පැණි වෙළෙඳාම් කරන වීථීයේ මය. එකල එක්තරා කුල ගෙයක බැලමෙහෙවර කරන ස්ත්‍රියක් පැන්ගෙන ඒමට කළයක්ද ගෙන යන විට මේ පසේ බුදුන්වහන්සේ දැක අවුත් පසඟ පිහිටුවා වැඳ ‘ස්වාමීනි කුමක් සඳහා වැඩි සේක්දැ” යි ඇසුවාය. ‘එම්බා නැඟණියනි, මී පැණි ටිකක් අවශ්‍යව ඇති බැවින් වැඩියෙමි’ යි පසේ බුදුන් වහන්සේ පිළිතුරු දුන් සේක.

“ස්වාමීනි අර පෙනෙන්නේ මී පැණි විකුණන තැනයි”යනුවෙන් එම ස්ත්‍රිය අත දිගුකොට පෙන්වූ විට පසේ බුදුරජාණන් වහන්සේ එහි වැඩි සේක. උන්වහන්සේට මී පැණි නොලැබුණොත් තමන් හැඳ සිටි ඇඳුම හෝ විකුණා මී පැණි ලබාදෙමි’යි සිතා එම ස්ත්‍රිය එහිම රැඳී සිටියාය.

මී පැණි වෙළෙඳසැල ඉදිරිපිටට පසේ බුදුන් වහන්සේ පැමිණි පසු උන්වහන්සේ ඉදිරියට පැමිණි වෙළෙන්දා පසඟ පිහිටුවා වැඳ පාත්‍රය අතට ගෙන මී පැණි කළයක් පාත්‍රයට වත් කළේය. පාත්‍රය පිරී ඉතිරී මීපැණි පිටතටද ගලා ගියේය. එය දැක වෙළෙන්දා මහත්සේ සතුටුව මී පැණි දුන් පිනෙන් දස දහසක් යොදුන් දඹදිව එක්සේසත් කොට දඹදිවට අගරජ වෙම්වා යි පැතීය.පසේ බුදුන් වහන්සේද වෙළෙන්දාගේ පැතීම ඒ ආකාරයෙන්ම සිද්ධ වන බව දැන ආශිර්වාද කොට ආපසු එනවිට ඉහතකී ස්ත්‍රිය හමුවිය.

මී පැණි ලැබී ඇති බව දැනගත් ස්ත්‍රිය වෙළෙන්දා කුමන ප්‍රාර්ථනාවක් කළේ දැයි ඇසුවාය. ඔහු දඹදිව අග රජකම පැතූ බව ප්‍රකාශ කළ විට “මඳක් වැඩ සිටිය මැනැවයැ” යි පවසා එම ස්ත්‍රිය වහ වහා නිවෙසට ගොස් තමා හැඳ සිටි වස්ත්‍රය සෝදා, වළල්ලක් කොට පාත්‍රය යටට තබා ගන්නැයි පසේ බුදුන් වහන්සේට පූජා කළාය. එසේ පූජා කොට මීපැණි වෙළෙන්දා අග රජවන විට එතුමාගේ අග මෙහෙසිය වෙම්වායි පැතුවාය. වෙළෙන්දා ගේ හා ස්ත්‍රියගේ පැතුම් ඒ ආකාරයෙන්ම සිද්ධවන බව දැන පසේබුදුන් වහන්සේ ස්ත්‍රිය බලා සිටියදීම අහසට නැඟී ගන්ධ මාදන පර්වතයට වැඩි සේක. එම මී පැණි පාත්‍රයෙන්ම පසේ බුදුන් වහන්සේගේ රෝගය සංසිඳිණි.

ඉන් පසු එක් දිනෙක වෙළෙඳ සහෝදරයෝ තිදෙනා එකතුව වෙළෙඳාමේ අය වැය පරීක්‍ෂාකර බැලූහ.එවිට එක් මී පැණි කළයක අඩුවක් දැන ඒ පිළිබඳ බාල සහෝදරයාගෙන් විමසීය. තමා පසේ බුදුන් වහන්සේ නමකට මී පැණි කළය පූජා කළ බවත්, පින් අවශ්‍ය නම් පින් අනුමෝදන් වන ලෙසත්, නැතහොත් මී පැණි කළය හෝ එහි මිල හෝ දෙමි’යි කීය.

“නුඹගෙන් ණය ගන්නේ කෙසේදැ’යි විමසූ වැඩුමල් සොහොයුරෝ දෙදෙනා එම මුදල් තිබිණි නම් අප තිදෙනාටම ප්‍රයෝජනවත් වන්නේ යැයි පැවසූහ.

“නුඹලා වරදක් නොසිතන්න. අප්‍රමාණ ගුණ ඇති සංවර වූ ඉන්ද්‍රියයන් ඇති, කාෂාය වස්ත්‍ර දරන පසේ බුදුන්වහන්සේ නමකටයි මී පැණි පූජා කළේ යැ’යි බාල සහෝදරයා කීය.

‘එම්බා මලණ්ඩ, මෙකල සැඩොල් කුලේ අයත් කාෂාය වස්ත්‍ර හැඳ ඇවිදියි. නුඹ දන් දුන්නේද එවැනි සැඬොලෙකුට වෙන්න ඕනෑ යැ’යි වැඩුමල් වෙළෙන්දා පැවසීය.

“තොප මී පැණි දන් දුන් අයගෙ ගුණ අපට කියන්නේ ඇයි? තොපගේ පසේ බුදුන් මූදින් එතෙර දමා පියව‘යි දෙවැනි වෙළෙන්දා කීය.

“මහානුභාව සම්පන්න ඒ පසේ බුදුන් වහන්සේට එසේ නොකියනු මැනැවි. සිල්වත් ගුණවත් අයට අපහාස කළ අය අපාගත විය හැකි යැ’ යි බාල සහෝදරයා කීය.

‘තොප ඔය හැටි කියන්නේ නම් අපිත් පින් අනුමෝදන් වෙමු යැයි’ සාධුකාරදී පින් අනුමෝදන් වූහ.

මෙසේ පින් සිදුකරගත් මේ අය පින්දහම් කරමින් දෙව් මිනිස් සැප විඳිමින් සසර සැරි සරා අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් කලකට පසු දඹදිව උපත ලැබූහ. මී පැණි දන්දී කරන ලද ප්‍රාර්ථනාව අනුව බාල වෙළෙන්දා දඹදිව බින්දුසාර රජුගේ පුත්‍රයා වශයෙන් උපත ලැබීය. මී පැණි වෙළෙඳ සැලට අත දිගු කොට පෙන්වූ ස්ත්‍රිය අසන්ධිමිත්‍රා නමින් ඒ ධර්මාශෝක රජතුමාගේ අගබිසොව බවට පත්වූවාය.

පසේ බුදුන් මූදින් එතෙර දමව’ යි කී දෙවැනි වෙළෙන්දා ඒ නිසාම දඹදිව නොඉපිද ලක්දිව දේවානම්පියතිස්ස නමින් උපත ලැබීය. පසේ බුදුන් චණ්ඩාලයකු වේදැ’යි කී වැඩුමල් සහෝදරයා සැඩොල් ගමක නුග ගසක් යට ඉපදී නිග්‍රෝධ නමින් පැවිදිවී රහත් බව ලැබීය. (ඔහු රජතුමාගේ සුමන නම් සහෝදරයකුගේ පුත්‍රයා වන අතර සැමියා යුද්ධයෙන් පැරැදී මැරී වැටුණු බව අසා දේවිය භයින් තැතිගෙන දුවද්දී මේ නුග ගස යටදී දරු උපත සිදුවූ බව සදහන් වේ) මාලිගාව ඉදිරියෙන් ගමන්ගත් සත් හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ මාලිගාවට වැඩමවා දහම් ඇසීමෙන් බුදුදහම කෙරෙහි පැහැදුණු ධර්මාශෝක රජතුමා එතැන් සිට බුදුසසුනට අපරිමිත සේවයක් සිදු කළේය. ‘සහස්සවත්ථු’ හා ‘සීහලවත්ථු’ කථාවල දැක්වෙන ආකාරයට ඔහු ලක්දිව උපත ලබා පැවිදිව ‘ඛුජ්ජතිස්ස’ රහතන් වහන්සේ යැයි ප්‍රසිද්ධව පිරිනිවන් පෑ බව සඳහන් වේ.