Print this Article


නිවස තුළදී පුහුණු කළ හැකි දහම් මඟ

නිවස තුළදී පුහුණු කළ හැකි දහම් මඟ

සියලු වැඩ අතහැර දමා ධර්මයම අසමින් හිඳීමෙන් ධර්මය පුහුණුවීමක් නොවේ. සැමියාගේ යුතුකම්, දරුවන්ගේ යුතුකම්, බිරිඳගේ යුතුකම් අසල්වැසියන්ගේ යුතුකම් අතහැර දමා බණ ඇසිය යුතුයැයි බුදුදහමේ ගිහියන්ට කොතැනකවත් ප්‍රකාශ කර නැත. ඔබ ධර්මය ශ්‍රවණය කළ යුතුයි. බහුශ්‍රැත විය යුතු යි. ශ්‍රවණය කරන ධර්මය ක්‍රමයෙන් පුහුණු විය යුතුයි. සියලුම කටයුතු අතහැර දමමින් ධර්මය පුහුණුවීමට ඇතැයි කියා කවර හෝ ස්ථානයකට ගියත් ඔබ අපේක්‍ෂා කරන ප්‍රතිඵලය ඔබට නොලැබේ. එනිසා ගැඹුරු අවබෝධයෙන් යුක්තව ගෘහ ජීවිතය සාර්ථක කරගන්නට ආර්ය අෂ්ඨාංගික මාර්ගය නිවසේ සිටම පුහුණු විය යුතුයි

ගිහියකු වශයෙන් ධර්මය පුහුණු වීමේදී මූලිකව අනුගමනය කළ යුතු ප්‍රතිපදාව කවරේද? යන්න පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි.

විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවසාන අරමුණ වන්නේ නිර්වාණාවබෝධයයි. නිර්වාණය අවබෝධ කරගැනීමේ මාර්ගය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි තුළ විශේෂයෙන් නිවැරැදිව දැකීම යන අර්ථය දහමෙහි පැහැදිලි කෙරේ. අපට නිවැරැදිව සත්‍යය, සත්‍යය ලෙස දකින්නට නොහැකි වී තිබෙන්නේ අප අන්තවාදයන් නියෝජනය කරන විටයි. ඍජුවම පරලොව ගැන පිළිබඳව සිතමින් මෙලොව පිරිසක් සිටින අතර පරලොවක් නැතැයි සිතන පිරිසකුත් වර්තමාන සමාජය තුළ දක්නට ලැබෙයි.

බුදුසමය ඔබට යෝජනා කරන්නේ, පරලොවක් ඇත යන අන්තයට හෝ පරලොවක් නැත යන අන්තයට හෝ නොවැටී අපගේ ඊළඟ භවය සැකසීමට හෙවත් සසර ගමන දිගුවීමට හේතු සාධක වන කර්ම රැස්වන ක්‍රියාමාර්ග වලින් හැකි උපරිම ආකාරයෙන් වැළකී සිටින ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එනිසා සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී කරන ක්‍රියාකාරකම් තුළදී ධර්මය පසෙකින් තැබීම නොකළ යුතුයි.

එදිනෙදා ජීවිතයේදී සිදු කරන සෑම ක්‍රියාවක්ම ධර්මානුකූලව අන්තගාමීත්වයට නොවැටී කරන්නට තීරණ ගනු ලබන හැම මොහොතකම හේතුඵල සම්බන්ධතාවය වටහාගෙන දකින්නට පුළුවන්කම ලැබුණහොත් සෑම දෙයක්ම හටගන්නා හේතු ප්‍රත්‍යයන්ගේ ස්වභාවය නුවණින් දකින්නට හැකි වුවහොත් ඇතිවිය හැකි ගැටලු අවම කරගැනීමේ අවකාශයක් ගෘහස්ථ ජීවිතයේදී උදාවේ.

සම්‍යයක් හෙවත් නිවැරැදි දැක්ම පියවරෙන් පියවර දෘෂ්ටිය දියුණු කරගැනීමට ගෘහජීවිතය තුළ හැකියාව තිබේ. සම්‍යක් දෘෂ්ඨිය හෙවත් නිවැරැදි දැක්ම අප තුළ ඇතිවන විට අනිවාර්යෙන්ම අපගේ සිත තුළ පුද්ගලයින් සම්බන්ධයෙන් වෙනදා ඇතිවන හැගීම්, වෙනදා පහළ වූ සිතිවිලි සංකල්ප වෙනුවට ඉතාම නිවැරැදි සංකල්ප සහ සිතිවිලි උත්පාදනය වේ. ඒ සංකල්ප අපට උපදවා ගැනීමට හැකියාව ලැබෙන්නේ ඒ තුළ අප හෙළන්නා වූ නිවැරැදි දැක්ම පදනම් කරගෙනයි. අප තුළ උපදින්නාවූ නිවැරැදි සංකල්ප ලෙස අව්‍යාපාද සංකප්පෝ (අනෙක් කෙනා නොනැසේවා) අවිහිංසා සංකප්පෝ (අනෙක් කෙනාට හිංසාවක් පීඩාවක් කරදරයක් කායික මානසික බාධා කිරීමක් නොකළ යුතුයි) අවිහිංසා සංකල්පය,අව්‍යපාද සංකල්පය ගෘහස්ත ජීවිතය තුළ අපට ක්‍රම ක්‍රමයෙන් පුහුණවන්නට හැකියාව ලැබේ.

නිවසේ සිටින අය වෙත අවිහිංසා සංකල්පයෙන් යුක්ත වීම, නිවසේ සිටින අය නොනැසේවා යන හැඟීමෙන් යුක්තව අපගේ මනස ක්‍රියාත්මක කිරීම යන දියුණු මනෝභාවයන් අප තුළ වර්ධනය කරගන්නට ගෘහස්තයකුට ගෘහජීවිතය තුළම හැකියාව තිබේ. එමෙන්ම නෙක්ඛම්ම සංකප්පයෙන් සමහර දේ අත්හැරීමට අපට ගෘහජීවිතය තුළදී පුරුදු පුහුණු විය හැකිය. දරුවන් බිරිඳ අතහැර වනගතවන්නට ඔබට එක්වරම කළ නොහැකිය. යානවාහන, මිළ මුදල්, බඩුභාණ්ඩ, දේපළ, ඉඩකඩම් සම්බන්ධ ඉතාම ගැඹුරු අවබෝධයකින් යුක්තව ඒවා සමග තිබෙන මානසික සංකල්ප, බැඳීම අතහැර කටයුතු කළ යුතුයි.අල්ලාගෙන කටයුතු කරනවාට වඩා මනසින් අතහැර කටයුතු කළ යුතුයි. එය පියවරෙන් පියවර වර්ධනය කර ගත යුතුයි.

සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, යන මාර්ගාංග තුන සිල්වත්වීම පිළිබඳවයි. කායිකවත්, වාචසිකවත් අප තුළ ගොඩනැගී තිබෙන සීලාදී ගුණධර්ම අපගේ ගෘහජීවිතය සාර්ථක කරගැනීමට උපකාරයක් වේ. කතා කරන ප්‍රමාණය ස්වල්ප වුවත් අත්‍යවශ්‍ය අර්ථාන්විත අනෙකා ගේ ජීවිතයට වගේම තමන්ගේ ජීවිතයටත් යහපතක් වන දෙයක් කතා කිරීමට හැකිය.

කාමමිත්‍යාචාරය, ප්‍රාණඝාතය සහ සොරකම සහ වැරැදි කායික අකුසල කර්මයන්ගේ අප සම්පූර්ණයෙන්ම දුරස්විය යුතුයි. එය ගෘහස්ත ජීවිතයේ පැවැත්මට අදාළ කාරණයකි. නිවස තුළ රැකියා ස්ථාන තුළ බස්රිය තුළ, දුම්රිය තුළ, ගෘහස්ථ ජීවිතය තුළ පුහුණූ විය යුතු කරුණු වේ. බුද්ධ ධර්මය, සාකච්ඡා කරන්නේ වනගතව පුහුණූ විය යුතු අංග පමණක් නොව තමන් එදිනෙදා පියවරෙන් පියවර ගිහිගෙය තුළ වර්ධනය කර ගත් දේද පිළිබඳවයි. සිත දූෂිතවන අකුසල කර්ම තව තවත් වර්ධනය වන වෘත්තීන් තෝරා නොගත යුතුයි. සමහර වෘත්තීන් නිසා රාගය, සමහර වෘත්තීන් නිසා තණ්හාව සමහර වෘත්තීන් නිසා ද්වේශය සමහර වෘත්තීන් නිසා මෝහය වර්ධනය වේ. අවි ආයුධ, මස් මාංශ, වස විස, මත්වතුර, වැනිදේ ඇසුරු කරගත් වෘත්තීන් නොගත යුතු බවට බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. එවැනි වෘත්තීන් තුළ කෙලෙස් වැඩිවන නිසා එවැනි වෘත්තීන්ගෙන් හැකිතාක් ඉවත් වීමෙන්,අපගේ ගෘහස්ථ ජීවිතය තුළම ආධ්‍යාත්මික පුහුණුව වෙත ගමන් කිරීමට පහසුවක් වෙයි. එදිනෙදා කටයුතු කරන අතර තුරම ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ගමන්කළ යුතුය.

දැනට අභ්‍යන්තරයේ තිබෙන්නාවූ අකුසල ධර්ම සිතිවිල ක්‍රම ක්‍රමයෙන් ප්‍රහීණ කරගැනීමටත්, අලුත් අකුසල ධර්මයන්හි වර්ධනය වීම හැකිතාක් වළක්වා ගැනීමට වීර්යය කළ යුතුයි.

උපදවා නොගත් කුසල ධර්ම කරුණාව, මෛත්‍රිය, නිර්ලෝභීබව වැනි ධර්ම මේ වන විට හොදින් වැඩී නැතිනම් ඒවා වර්ධනය කරගන්නට ඔබ යම් ආකාරයක වීර්යයක් දැරිය යුතුයි.

නිතිපතා ඔබ කරන සෑම ක්‍රියාකාරකමක් තුළම යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ඒ තුළින් ගෘහ ජීවිතය තුළ උද්ගතවන වන විශාල ප්‍රශ්න ප්‍රමාණයක් අවම කරගත හැකිය. එවැනි අවබෝධයක් සහිත පුහුණුවක් ඔබ තුළ වර්ධනය වෙමින් තිබේ නම් එවැනි දේ තුළ තිබෙන අනිත්‍යතාවය ඔබට දැකිය හැකිය.

ඔබ සිත තුළ පූර්ණ ඒකාග්‍රතාවයක් ඇතිකර ගත යුතුයි. එය දියුණු මට්ටමට එන විට ඔබ ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය ප්‍රථම ධ්‍යානය චතුර්ථධ්‍යානය වෙත ගමන් කරාවි. ඔබ කරන ක්‍රියාවට පූර්ණ මානසික ඒකාග්‍රතාවත් තිබිය යුතුයි. සියලු වැඩ අතහැර දමා ධර්මයම අසමින් හිඳීමෙන් ධර්මය පුහුණුවීමක් නොවේ. සැමියාගේ යුතුකම්, දරුවන්ගේ යුතුකම්, බිරිඳගේ යුතුකම් අසල්වැසියන්ගේ යුතුකම් අතහැර දමා බණ ඇසිය යුතුයැයි බුදුදහමේ ගිහියන්ට කොතැනකවත් ප්‍රකාශ කර නැත.

ඔබ ධර්මය ශ්‍රවණය කළ යුතුයි. බහුශ්‍රැත විය යුතු යි. ශ්‍රවණය කරන ධර්මය ක්‍රමයෙන් පුහුණු විය යුතුයි. සියලුම කටයුතු අතහැර දමමින් ධර්මය පුහුණුවීමට ඇතැයි කියා කවර හෝ ස්ථානයකට ගියත් ඔබ අපේක්‍ෂා කරන ප්‍රතිඵලය ඔබට නොලැබේ. එනිසා ගැඹුරු අවබෝධයෙන් යුක්තව ගෘහ ජීවිතය සාර්ථක කරගන්නට ආර්ය අෂ්ඨාංගික මාර්ගය නිවසේ සිටම පුහුණු විය යුතුයි.

එවිට ගෘහ ජීවිතයේ සෑම කටයුත්තක්ම හොඳීන් සිදු කරන ගමන්ම ඔබට හොඳින් ධර්මය පුහුණුවීමටත් අවකාශය ලැබෙනු ඇත.