Print this Article


දඹදෙණිය මැද්දේපොළ රජමහා විහාරයේ නේත්‍රා නිරාවරණ මහෝත්සවය

දඹදෙණිය මැද්දේපොළ රජමහා විහාරයේ නේත්‍රා නිරාවරණ මහෝත්සවය

දඹදෙනිය මැද්දේපොල රජමහා විහාරයේ සැතපෙන පිළිම වහන්සේගේ නේත්‍රා යුගලය නිදන් හොරුන් විසින් සොරකම් කළ අතර නැවත නේත්‍රා යුගලයක් ලබාදීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා අමාත්‍යතුමා පොරොන්දු වූ අතර එවකට එතුමන් පරිසර අමාත්‍යවරයාව කටයුතු කරන ලදී. මෙම නේත්‍රා යුගලය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් නිර්මාණය කරන ලදුව වත්මන් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් අනුර පි‍්‍රයදර්ශන යාපා අමාත්‍යතුමා හට භාරදීමෙන් පසුව එය මැද්දේපොල රජමහා විහාරාධිපති මිරිහානේ ධර්මපාල හිමියන් වෙත පසුගිය දා භාර දෙන ලදී.

වළගම්බා රජ දවස ආරක්‍ෂිත ලෙන් විහාරයක් ලෙස ඉදිකළ ගිරිඋල්ල දඹදෙනිය මැද්දේපොල රජමහා විහාරයේ සැතපෙන පිළිම වහන්සේ නමකගෙන් හා ඓතිහාසික බිතු සිතුවම්වලින් සමන්විත වන අතර මෙම විහාරය සත්කොරළයේ බෞද්ධ මෙන්ම අන්‍ය ආගමික සැදැහැවතුන්ගේ මහත් භක්ත්‍යාදරයට පාත්‍රවූ ස්ථානයක් ද වේ. පසුගිය දිනක නිදන් හොරුන් විසින් මෙම විහාරය බිඳ විහාරයේ සැතපෙන පිළිම වහන්සේගේ නේත්‍රා යුගලය සොරකම් කරන ලදී.

සොරාගන්නා ලද නේත්‍රා යුගලය වෙනුවට නව නේත්‍රා යුගලය ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් නේත්‍රා නිරාවරණය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියත් විහාරස්ථ දායක සභාවත් කටයුතු කරන ලදී. ඒ අනුව වෙසක් පොහෝ දින ගරුතර සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා අමාත්‍යතුමාගේ ආරාධනයෙන් පරිසර හා පුනර්ජනනී බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් නේත්‍රා නිරාවරණය සිදු කෙරිණි.