Print this Article


පුජාච පූජනීයානං

පිඹුරේ ශ්‍රී උදිත මහ නා හිමි

අගලවත්ත ප්‍රතිරාජ පිරිවෙන් රාජමහ විහාරය, මතුගම ශ්‍රී සුදර්ශනාරාමය යන උභය මහා විහාරාධිපති, ශාස්ත්‍රවේදී පිඹුරේ ශ්‍රී උදිත අනුනාහිමියෝ මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී කල්‍යාණී සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අභිනව මහානායක ධුරයට තේරී පත්ව සිටිති. පිඹුරේ ශ්‍රී‍්‍ර උදිත අනුනාහිමියෝ තේරී පත්වූයේ පසුගිය අපේ‍්‍රල් මස 20 වැනිදා සවස 3.30 ට රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානයේදී, පැවති විශේෂ කල්‍යාණි කාරක මහාසංඝ සභාවේ ඒකච්ඡන්දයෙනි.

පස්යොදුන්රට, අගලවත්ත පිඹුරේ ඩබ්.ඩී. චාර්ලිස් අප්පුහාමි මහතාට සහ චාලට් කන්නන්ගර හාමිනේ යන දම්පතීන්ට දාව 1948 ජනවාරි මස 11 වැනිදා උපත ලැබූ නාහිමියෝ 1957 ජනවාරි මස 04 වැනිදා පැවිදි වූහ. ඒ පිඹුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේදීය.

අගලවත්ත ප්‍රතිරාජ පරිවෙණාධිපතිව වැඩ විසූ, රාජකීය පණ්ඩිත පිඹුරේ ගුණරතන මාහිමි, මතුගම ශ්‍රී සුදර්ශනාරාමාධිපතිව වැඩ විසූ තුඩුගල ශ්‍රී ජීවානන්ද මාහිමි, පිඹුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති, මහෝපාධ්‍යාය බදුරලියේ සීලරතන මාහිමි යන මාහිමිවරුන් මහනාහිමියන්ගේ ආචාර්ය පාදයන් වහන්සේලා වූහ. එවකට ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක සහ විද්‍යෝදය පරිවෙනාධිපතිව වැඩ විසූ කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාශේඛර මහ නාහිමි, විදුදය සරසවියේ උපකුලපති ව වැඩ විසූ වැලිවිටියේ ශ්‍රී සෝරත නා හිමි, රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසූ කලාශුරි මාපලගම විපුලසාර යන මාහිමිවරු නාහිමියන්ගේ උපාධ්‍යායන් වහන්සේලා වූහ.

මූලික පැවිදි අධ්‍යාපනය කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථ ශ්‍රී ඥානේශ්වර පිරිවෙනින්ද උසස් අධ්‍යාපන කටයුතු සඳහා දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙනින්ද ලබාගත්හ. එවකට පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන සරසවි තත්වයට උසස්වීමෙන් අනතුරුව පිරිවෙන් අධ්‍යාපන කටයුතු පැවැත්වූයේ දෙමටගොඩ විද්‍යාලංකාර භූමියේදීය.

1974 දී විදුදය සරසවියෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්හ. 1968 මාර්තු මාසයේදි ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍රධර්ම මහා සංඝ සභාව වෙතින් උපසම්පදා වූහ. 1976 ගුරු සේවයට එක්වූ නාහිමියෝ හම්බන්තොට රිටිගහයාය මහ විද්‍යාලය,වලස්මුල්ල අතුබෝදේ විද්‍යාලය, අගලවත්ත, ඕමත්ත, කනිෂ්ඨ විද්‍යාලය යන රජයේ පාසල්වල කීර්තිමත් ගුරුවරයෙකු ලෙස කටයුතු කළහ.

1990 දී පිරිවෙන් ගුරු සේවයට එක්වෙමින්, අගලවත්ත ප්‍රතිරාජ මහ පිරිවෙන්හි පරිවෙනාධිපති වූහ. තිස් දෙවසරක ස්වකීය ගුරු සේවයෙන් 2008 දී විශ්‍රාම යනතුරු නා හිමියෝ අගලවත්ත ප්‍රතිරාජ පිරිවෙන්හි පරිවෙණාධිපතිවරයා ලෙස කටයතු කළහ.

මහනාහිමියෝ පුරා වසර 25 ක් අගලවත්ත ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි ධුරයේ කටයුතු කරමින් ප්‍රදේශයේ ජාතික, ශාසනික හා සංස්කෘතික කටයුතු නංවාලීය.

ප්‍රතිරාජ පිරිවෙන සහ මතුගම ශ්‍රී‍්‍ර සුදර්ශනාරාමය යන අගලවත්තේ සහ මතුගම පිහිටි ප්‍රධාන විහාරස්ථාන දෙකෙහිම ආධිපත්‍යයට පත් වූ නාහිමියෝ ගරා වැටෙමින් පැවති ප්‍රතිරාජ පිරිවෙනෙහි ඓතිහාසික බව රැකගනිමින් අංග සම්පූර්ණ විද්‍යාස්ථානයක් බවට පත් කළහ.

උදාරතර ශාසනික, ආගමික, අධ්‍යාපනික හා සාමාජික මෙහෙවරක නියැලෙන මහනාහිමියන් වෙත ශ්‍රී‍්‍ර කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාව වෙතින් 1986 දි කාරක සංඝ සභික ධුරයක්ද 1996 දි කැකුලන්දොල විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක පදවියද පිරිනැමූහ. 2001 දී උන්වහන්සේ එම සංඝ සභාවේ අනුනායක පදවියක් සඳහාද ඒකමතිකව තෝරාපත් කර ගනු ලැබූහ.

පසුගියදා හිස්වූ අභිනව මහනායක පදවිය සඳහාද ශ්‍රී‍්‍රකල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ ‘කල්‍යාණි’ කාරක මහ සභාව මගින් ඒකමතිකව පිඹුරේ ශ්‍රී උදිත අනුනාහිමියෝ තෝරාපත් කරගනු ලැබූහ. අභිනව මහනායක පදවියෙන් පිදුම් ලැබූ පිඹුරේ ශ්‍රී‍්‍ර උදිත මහනාහිමියන් හට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.


අම්පිටියේ සිරිවිමල නා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශාසනික පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා යෝජිත පළාත් සංඝනායක තනතුරට මාතලේ කූඹියන්ගොඩ ශ්‍රී‍්‍ර විද්‍යාශේඛර පිරිවෙන, අම්පිටියේ ශ්‍රී ජෙම්සන් ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානය , ශ්‍රී‍්‍ර විජයතිලකාරාම බෝගහකොටුව පන්සල, කලල්පිටිය ශ්‍රී‍්‍ර ධර්මේශ්වරාරාමය, ගල්නෑව ශ්‍රී ආනන්දාරාමය යන පඤ්ච මහා විහාරයන්හි විහාරාධිපති, ශ්‍රී‍්‍ර ලංකා රාමඤ්ඤ මහානිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික,ජෙට්ඨානුවිජ්ජික ශ්‍රී සුමිත්ත ඉන්ද්‍රජෝති ධම්මිස්සර වංශාවතංශ ශාසන කීර්ති ශ්‍රී ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත අම්පිටියේ සිරිවිමල මාහිමිපාණන් වහන්සේ නිතරගයෙන් තෝරා පත් කර ගෙන ඇත. අදාළ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කූඹියන්ගොඩ විද්‍යාශේකර පිරිවෙනේදී ඉකුත් 26 වන දා පැවැත්විණි.

ශ්‍රී‍්‍ර ලංකා රාමඤ්ඤ මහානිකායේ කාරක සභික ධුරන්දරව වැඩ විසූ මාතලේ ධම්මිස්සර මහා ස්වාමීන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1944 දී අම්පිටියේ සිරිවිමල සාමණේර හිමියන් ලෙස ශ්‍රී‍්‍ර ජෙම්සන් විවේකාශ්‍රමයේදී පැවිදි බිමට පත්විය.

කූඹියන්ගොඩ ශ්‍රී විද්‍යාශේඛර මූලික පිරිවෙනේ මූලික අධ්‍යාපනය හැදෑරීය. 1951 උපසම්පදා ශීලයට ඇතුළත් වූහ. 1951 දී මරදානේ ශ්‍රී‍්‍ර ලංකා විද්‍යාලයට ඇතුළත්වී 1956 භාෂාත්‍රයෙන්ම එකවර රාජකීය පණ්ඩිත උපාධිය සමත්වූහ.

1956 දී් ශ්‍රී‍්‍ර ලංකා විද්‍යාලයේම අචාර්යවරයෙකු ලෙස කටයුතු කළහ.1957 දී බෙම්මුල්ල බණ්ඩාර බටවල ශ්‍රී විධ්‍යාකර පිරිවෙනේ ප්‍රධානාචාර්ය වශයෙන්ද කටයුතු කළහ.

1958 දී උඩුනුවර තෙළඹුගල ශ්‍රී නිග්‍රෝධඛෙත්ත පිරිවෙනෙහි උප ප්‍රධානාචාර්ය ලෙස පත්වීම් ලැබ පරිවේණාධිපති ධුරයටද පත්වී 1987 වර්ෂය දක්වා දශක තුනක් පමණ සේවය කළහ. 1964 දී ශ්‍රී‍්‍ර ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය සමත් වූ අතර වර්ෂ විස්සකට අධික කාලයක් ශ්‍රී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජෙට්ඨානු විජ්ජික වශයෙන් අධිකරණ කටයුතුවල යෙදී ඇත.

වර්ෂ දහයකට අධික කාලයක් උපසම්පදා විනය කර්මවලදී කර්මාචාර්ය ස්වාමීන් වහන්සේ නමක් ලෙස කටයුතු කිරීමද වර්ෂ පහළොවකට අධික කාලයක් මහනුවර උතුර ප්‍රාදේශීය සංඝ සභාවේදී පාලක තනතුර දැරීමද 1993 දී ජෙම්සන් විවේකාශ්‍රමයේ විහාරාධිපති ධුරයට පත්වී අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්කර අද ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයක් බවට පත්කර විදේශ රටවල් රැසක විදේශිකයන්ට බෞද්ධ භාවනා ක්‍රම හා බෞද්ධ දර්ශනය පිළිබඳ අධ්‍යනයක් ලබාදීමට කටයුතු කිරීමද සිදු කෙරේ.

නේපාල, බංගලාදේශ ළමුන් විසිපහකට වැඩි පිරිසක් පැවිදිකර බෞද්ධ අධ්‍යාපනය ලබාදීමට කටයුතු කර ඇති අතර බුරුම රටේ භාවනා ක්‍රම පිළිබඳ ක්‍රමවත් පුහුණුවක් ලබා ඇති උන්වහන්සේ ඉන්දියාව, නේපාලය,තායිලන්තය, සිංගප්පූරුව, ඇමරිකාව යන විදේශයන්හි සංචාරය කරමින් වස් වසා වැඩ සිටිමින් ධර්ම ප්‍රචාරක සේවයේ නියැළෙමින් විශාල සේවයක් සිදුකර ඇත.

නවක සාමණේර භික්‍ෂූන් සඳහා ගල්නෑව ශ්‍රී‍්‍ර ආනන්දාරාමයේ සිරිසුමිත්ත සාමණේර ආයතනය ආරම්භ කර ඇත.

අසූවෙනි වියේ පසුවන නා හිමියන් මේ වන විට උපසම්පදා භූමියට ප්‍රවිශ්ට වී අවුරුදු හැට එකක් සපිරේ.

ඉතා චතුර හා විචිත්‍ර ධර්මදේශකයන් වහන්සේ නමක් ලෙස නිරන්තරයෙන් ගුවන් විදුලියෙන් ධර්ම දේශනා පවත්වන අතර සිංහල භාෂාව මෙන් ඉංගී‍්‍රසි,පාලි, සංස්කෘත, ද්‍රවිඩ භාෂාවන් හැසිරවීමේ මනා හැකියාවක් ඇති භික්‍ෂූන් වහන්සේ නමකි.

උන්වහන්සේ විසින් ලියන ලද වික්‍රමෝර්වශී විචාරය හා අනුවාදය පාලි පරිචයද සංස්කරණ තත්වයෙන් බිහිවූ මාතලේ විත්ති නම් ශාස්ත්‍රිය ග්‍රන්ථයද බොහෝ විචාරකයන්ගේ පැසසුමට ලක්ව ඇත.


යටිගල නන්දාලෝක නා හිමි

ඩී.සී. රුවන් පතිරණ සහ නිහිළුව හාමිනේ යන දම්පතීන්ගේ පුත් රුවනක්ව 1924 මාර්තු 25 දින මෙලොව දුටු ඩී. ඒ. රුවන් පතිරණ කුමරුවා පාසල් අධ්‍යාපනය ලැබුවේ යටිගල ද්විතීයික පාසලෙනි. 1941 අගෝස්තු මාසයේ පනන්වෙල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපතිව වැඩ සිටි පනන්වෙල උපතිස්ස හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි විය. පිරිවෙන් අධ්‍යාපනය සඳහා මාතර මහා මන්තින්ද පිරිවෙනට ද අනතුරුව උසස් අධ්‍යාපනය කැලණිය විද්‍යාලංකාර පිරිවෙනට ද සාහිත්‍ය ප්‍රාරම්භ විභාගය මෙන්ම ත්‍රිපිටක විභාගය සඳහා ඉදිරිපත් වූ මුන්වහන්සේ ත්‍රිපිටක උපාධිය ලබා ගත්හ.

යටිගල නන්දාලෝක සාමණේරයන් වහන්සේ පනන්වෙල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති පනන්වෙල උපතිස්ස ලොකු හාමුදුරුවන්ගේ ආචාර්යත්වයෙන් මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී 1945 දී උපසම්පදාව ලැබූහ.

‘ශ්‍රී ඥානප්‍රදීප දහම් පාසල, සීල සමාධි භාවනා’ මධ්‍යස්ථානය යනුවෙන් ආයතන පිහිටුවීම පමණක් නොව ගින්නෙන් විනාශ වූ යටිගල විද්‍යාලය යථා තත්ත්වයට ගැනීමට ක්‍රියා කරන ලදී. එසේම රැකියා විරහිත තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් ලබා දෙමින් යටිගල පේෂ කර්මාන්තය පිහිටුවීම, මී ඇල්ල ගමට තැපැල් හලක් ලබා ගැනීමට කටයුතු කිරීම තුළින් සහනයක් ලබා දෙන ලදී.

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ මහා නායක පුරාවිද්‍යා චක්‍රවර්තී රාජකීය පණ්ඩිත මහාචාර්ය අතිගරු කඹුරුපිටියේ වනරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු තත් කාරක සංඝ සභාව විසින් කීර්ති ශ්‍රී තේජෝවර ශ්‍රී ධම්මදස්සී යන ගෞරව නාමය සහිත සම්මාන නායක ධුරයෙන් අති පූජ්‍ය යටිගල නන්දාලෝක ලොකු හාමුදුරුවන් වෙත පුදනු ලැබූහ.

යටිගල නන්දාලෝක නාහිමිපාණන් වහන්සේ තම දිවි ගමනේ 89 වැනි විය ඉකුත් වූ මාර්තු 25 දින පසු කරන ලදී. විනයධර, ධර්මධර හිමි නමක් ලෙසත් ඇසූ පිරූ තැන් ඇති සංඝ පීතෘන් වහන්සේ නමක් ලෙසත් භික්‍ෂු ආකල්ප තුළින් තම දිවිය සරු කර ගත් භික්‍ෂුවක් ලෙසත් ආදර්ශ සම්පන්න වූ කීර්ති ශ්‍රී තෝජෝවර ශ්‍රී ධම්මදස්සී අති පූජ්‍ය යටිගල නන්දාලෝකභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආගමික සමාජීය හා ජාතික මෙහෙය වඩන්නට ශත වර්ෂාධික කාලයක් ලෝ සසුන් වැඩ වසමින් වැජඹෙන්නට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.


දෙනගම පඤ්ඤාලෝක හිමි

හක්මණ දෙනගම ඇතිණිමළාරේ ශ්‍රී‍්‍රසුදර්ශනාරාම පුරාණ මහාවිහාරාධිපති මාතර සාන්ත තෝමස් කුමර විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රචාර්ය දෙනගම පඤ්ඤාලෝක හිමියන් පැවිදි දිවියට ඇතුළත්ව 2013.05.22 දිනට වසර හතළිස් පහක් සම්පූර්ණ විය.

ඒ නිමිත්තෙන් අශිර්වාදාත්මක පින්කම් මාලාවක් වෙසක් සතිය පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් මධුර ස්වරයෙන් පිරිත් දෙසුමෙහි, ධර්මදේශනා පැවැත්වීමෙහි, අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා පැවැත්වීමෙහි, යුගාසන ධර්ම දේශනා, මෛත්‍රි වර්ණනා දේශනා, දොරඩකඩඅස්න අනුශාසනා ආදී දේශනාවන්හි අති දක්ෂ හිමියෝ ජාතික ආගමික ශාසනික සමාජයීය මහ මෙහෙයක් සිදුකරනු ලබයි.

දහස් ගණන් දරුවන්ගේ නැණ පහන් දල්වමින් ගුරුහිමිනමක් ලෙස කරනා සේවයද අතිමහත්ය. උන්වහන්ස්ගේ සේවය අගයන සැමගේ පැතුම වන්නේ නිදුක් නිරෝගි ජීවිතයකට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා යන්නයි.