Print this Article


වසර 2320ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 260ක් සපිරුණු මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ උපසම්පදාව

වසර 2320ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 260ක් සපිරුණු මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ උපසම්පදාව

මල්වතු මහා විහාරය ආරම්භවීමට මුල්ම හේතුව වූයේ සම්බුද්ධ ශාසනයේ පැවැත්ම සිදු වන්නේ උපසම්පදා භික්‍ෂූන් වහන්සේ නිසාමය. එකඳු උපසම්පදා භික්‍ෂුවක්වත් නොසිටි හෙයින් වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේට කීර්ති ශ්‍රී රාජසිංහ මහරජ තුමාගේ අනුග්‍රහය ලබාගෙන උපසම්පදාව ගෙනඒමට හැකි වූ ආකාරය මුලදී සඳහන් විය. උපසම්පදාවේ ඇති වටිනාකම සලකාගත් කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමා වික්‍රමබාහු, විමලධර්මසූරිය විමලධර්මසූරිය යන රජ දවස උපසම්පදා වු භික්‍ෂූන් වහන්සේ ඉදිරියට පවත්වා ගැනීමට නොහැකි වූයේ උන්වහන්සේලාට ස්ථිරව වැඩ විසීමට ආවාස පහසුකම් නොමැති වීමත් අනාගතයේදි භික්‍ෂූන් ආරක්‍ෂා කර ගැනීමේ සැලැස්මක් නොතිබූ හෙයින් ඒ බව සලාක පළමුකොට තමාගේ මල්වත්තම උපසම්පදා මහා පුණ්‍ය ක්‍රියාව සඳහාම වැලිවිට සරණංකර හිමියන් ප්‍රධාන මහා සංඝරත්නයට පූජා කොට උපෝෂථාගාරය ද සාදවා ගම්බිම් ඉඩකඩම් සහිතව ප්‍රාදේශීය විහාරස්ථාන ද පූජා කරමින් අනාගත චිරස්ථිතිය සැලැස්වීය.

ප්‍රධාන ශිෂ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්‍ඛිත මාහිමියන් දිවිතීය ශිෂ්‍ය දරමිටිපොල ධම්මරක්‍ඛිත ගිනිගත්පිටියේ සංඝරක්‍ඛිත මොරතොට ධම්මක්‍ඛන්ධ, රඹුක්වැල්ලේ ධම්මරක්ඛිත ආදි හිමිවරුන්ට වෙන වෙනම මල්වතු මහා විහාරය තුළම ආවාස සාදවා ඒ සමඟ එදා සියමෙන් වැඩි භික්‍ෂූන් වහන්සේලාට පෝයමළු විහාරයේත් මෙම මල්වතු විහාරයේත් ආවාස පහසුකම් සලස්වා එකී ස්ථාන සම්බන්ධකොට ලංකාවේ විවිධ පළාත්වලින් ඉඩකඩම් පූජා කරමින් අනුරාධපුර යුගයේ පටන් පැවති භික්‍ෂූන්ගෙන් එකී රාජමහා විහාරස්ථාන ඒ ඒ පන්සල වලට සම්බන්ධ කරමින් ශාසනය චිරාත්කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ හා උපාලි මාහිමියන්ගේ උපදෙස් පරිදි කටයුතු සැලැස්වීමට හැකිවීම නිසාම මල්වතු මහා විහාරය මෙන්ම අස්ගිරි මහා විහාරයේද භික්‍ෂූන් වහන්සේ චිරස්ථායි වූහ.

වාර්ෂිකව අඛණ්ඩව උපසම්පදා විනය කර්මය රාජ්‍ය සම්බන්ධතා සහිතවම පැවැත්වූ අතර,වෙසක් පොහෝ දින සිට පොසොන් පොහෝ දිනය දක්වා එකී මාසය තුළ ලක්දිව නන්දෙසින් පැමිණෙන සාමණේර භික්‍ෂූන් උපසම්පදා කරලමින් පවත්වාගෙන අවුත් ඉංගී‍්‍රසි රාජ්‍ය කාලයේ දීද ඒ අයුරින්ම උපසම්පදා විනය කර්මය පොහෝ දිනවල පෙරහර සහිතව ද සෙසු දිනයන් හි පෙරහර රහිතව ද පැවැත් වීමට කටයුතු සැලැස් වූ අතර, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමන් විසින් සිංහල රාජ්‍ය කාලයේදි සිදු කළ අයුරින්ම උපසම්පදා පෙරහර පවත්වමින් වාහලනාග නමින් උපසම්පදා වන අපේක්‍ෂකයන් වෙත මල්වතු මහා විහාරයේ පස් නමක් හා අස්ගිරි මහා විහාරයේ පස් නමක් යන දස නමට අවශ්‍ය සිවුරු පිරිකර ද පූජා කිරීම අද දක්වාම වසර 260 ක් මුළුල්ලෙහි පවත්වාගෙන එනු ලැබේ.

එකී වාහළනාග නමින් උපසම්පදා වන අපේක්‍ෂකයාට පළඳවනු ලබන එදා සියම් මහරජතුමා විසින් පුද කරණ ලද ඔටුන්න වසර 260 ක් මුළුල්ලෙහි අද දක්වාම පවත්වාගෙන අවුත් දැනට එම ඔටුන්න සුරක්‍ෂිතව මල්වතු මහා විහාරයීය රාජකීය මංගල උපෝෂථාගාරයේත් උපසම්පදාව ගෙන ඒමේ දී සියම් රජතුමා විසින් එවන ලද සංදේශය ද අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී‍්‍ර සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ භාරයේ පවතී.

මේ අයුරින් මල්වතු මහා විහාරයේ කෙරෙන උපසම්පදා විනය කර්මය වාර්ෂිකව සිදු කරමින් සම්බුද්ධ ශාසනයටත් රටටත් ඉමහත් සේවයක් සලසා ලන දැන උගත් භික්‍ෂූන් වහන්සේට ප්‍රාදේශීය නායක පදවි මෙන්ම උපාධ්‍යාය හා කර්මාචාර්ය පදවිත් ගිහිපැවිදි උභය පක්‍ෂයටම ගෞරව නාමයන්ද පිරිනමමින් ඔවුන් කරන සේවය තවතවත් ඉදිරියටත් ලබා දීමේ පරමාධ්‍යශයෙන් සිදු කරන්නකි.

1931 විහාර දේවාලගම් පනත අනුව වුවද සිංහල රජදවස පටන්ම පැවැත ආ අයුරින් මල්වතු පාර්ශ්වයට අයත් විහාරස්ථාන වල නිත්‍යානුකූල විහාරාධිපති වන්නේ මහා නා හිමියන් වහන්සේ බවත් උන්වහන්සේ විසින් අනුමත කරණ පාලක විහාරාධිපති හිමියන් එකී පරිපාලනය සඳහා විහාරාධිපති ලෙස කටයුතු කරයි.

ඉන් පසුව රා.ව. 1972 දීත්, 1978 වර්ෂයේ දීත් සම්මත කරණ ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුව ද සම්බුද්ධ ශාසනය පිළිබඳ චිරාගත සාම්ප්‍රදායානුකූ®ලව පැවරී ඇති බලය නිසාත් මල්වතු මහා විහාරයේ ගරුතර කාරක මහා සංඝ සභාව විසින් සිදු කරනු ලබන සේවයන් ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට සැලසී ඇති බව මැනවින් පැහැදිලි වේ.

මේ අයුරින් බුදුරජාණන් වහන්සේ විසින් රාධ බමුණා මහණ උපසම්පදා කොට ආරම්භ කළ සම්බුද්ධ ශාසනයේ පවත්නා අතිශ්‍රේෂ්ඨතම උපසම්පදාව මිහිඳු මාහිමියන් විසින් ලක්දිව ආරම්භ කිරීමෙන් අනතුරුව මහා විහාරවංශික උපසම්පදාව නමින් ප්‍රසිද්ධ වූ අතර, නැවත ලංකාවෙන් සියම් රටට රැගෙනගිය එකී මහා විහාර උපසම්පදාවම නැවතත් රාජ්‍ය වර්ෂ 1753 දී ශ්‍රී ලංකාද්වීපයට වැඩමවා මහනුවර මල්වතු මහා විහාරයෙහි පිහිටුවීමේ පටන් අද දක්වාම පවත්නේ එකී මහා විහාර වංශික ස්‍යාමෝපාලී උපසම්පදාවයි.

මෙවන් අතිශ්‍රේෂ්ඨ උපසම්පදාව මුල්කොටගෙන එම උපසම්පදා විනයකර්මයන් සිදු කරලීම සඳහා සියම්දේශයෙන් වැඩම වූ භික්‍ෂූන් වහන්සේටත් වැලිවිට අසරණ සරණ සරණංකර සාමණේරයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය උදෙසා කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමාගේ මල්වත්ත පූජා කොට දෙවන විමලධර්මසූරිය රජතුමන් විසින් සාදවන ලද එකී මල්වත්තෙහි තිබූ රාජකීය ශාලාව පොහොය සීමාව බවට පත්කරලමින් සංඝරාජ මාහිමියන්ට වැඩවිසීම සඳහා සංඝාවාසයක් ද එම සංඝරාජාරාමය දෙපස ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්‍ඛිත මාහිමියන්ට වැඩවිසීමටත්, දරමිටිපොල ධම්මරක්‍ඛිත නාහිමියන්ට වැඩ විසීම සඳහාත් මොරතොට ධම්මක්‍ඛන්ධ නාහිමියන්ටත්, ගණිගත්පිටියේ සංඝරක්‍ඛිත නාහිමියන්ටත් වැඩවිසීම සඳහා වෙන වෙනම සංඝාවාසයන්ද සෙසු භික්‍ෂූන් වහන්සේ සඳහාද වෙන වෙනම වැඩවිසීමට සංඝාවාසද ඉදිකරලමින් රජතුමාගේ රාජකීය මල්වත්ත මල්වතු විහාරය බවට පත්කරලූ අතර, පෝයමළු විහාරයේ ද රා.ව. 1542 දී වික්‍රමබාහු රාජ්‍ය කාලයේ වැඩ විසූ ධර්මකීර්ති හිමියන්ගේ පටන් අඛණ්ඩව මහා සංඝරත්නය පැවතගෙන ආ අතර, පළවන වීරවික්‍රම රජතුමා, විමලධර්මසූරිය, දෙවන විමලධර්මසූර්ය යන රජවරුන් විසින් රක්‍ඛංගදේශයෙන් උපසම්පදාව වැඩම වූ භික්‍ෂූන් වහන්සේටත් වැඩ විසීමට ඉදිකර තිබූ පෝයමළු විහාර භූමියේ ද සංඝාවාස ඉදිරකවමින් උක්ත විහාර දෙකේම භික්‍ෂුන් වහන්සේලා වැඩවිසීමට සලස්වා සම්බුද්ධ ශාසනය වැඩිදියුණු තත්ත්වයට පත්කරනුයේ වර්තමාන මල්වතු විහාරයෙහි වර්තමාන පෝයගෙයද දැන් පවත්නා තත්ත්වයට සාදවමින් අස්ගිරි මහා විහාරය, දළදා මාළිගාව, ගංගාරාමය, අම්පිටිය, නිත්තවෙල, සුදුහුම්පොල ආදී තැන් හි විහාරස්ථාන පිහිටුවමින් හා වැඩිදියුණු කරමින් ඉමහත් ශාසනික සංග්‍රහයක් සිදු කළ කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමා සංඝරාජ පදවියත් මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්ට මහානායක පදවි හා අනුනායක පදවි ද පත්කරලමින් ද කාරක අනුකාරක මහා සංඝයාවහන්සේ පත්කරලමින් උභය මහා විහාරය මුල් කොටගෙන ශ්‍රී ලංකාද්වීපයේ වර්තමාන සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යාමට අපමණ සේවයක් සිදු කළ ආකාරය මහාවංශය, සංඝරාජ සාධු චරියාව, ස්‍යාමෝපසම්පදාවත, රාජාවලිය, සංඝරාජ වතගොත, සඟරජ වත ආදී ග්‍රන්ථයන්හිද මැනවින් පැහැදිලි වේ.

මේ අයුරින් මල්වතු මහා විහාරයේ දී සංඝාරාමයෙන් ආරම්භ වූ සංඝාරාම වැඩිදියුණු වෙමින් වර්තමානය වන විට 32 ක් සංඝාරාමයන් පිහිටුවා ඇති අතර, භික්‍ෂූන් වහන්සේ ද 150 ට අධික සංඛ්‍යාවක් වැඩ වෙසෙමින් වාර්ෂිකව උපසම්පදා ආදී මහා විනයකර්මයන් පවත් වන අතර, එදා ඇති කළ විංශද්වර්ගික කාරක මහා සංඝ සභාව මුල්කරගෙන සෙසු ශාසනික පදවි පත්කරමින් සම්බුද්ධ ශාසනයට ඉමහත් සේවයක් සලසාලති. කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමන් විසින් 1760 දී වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර හිමියන්ට සංඝරාජ පදවිය පත් කොට 1762 දී තිබ්බටුවාවේ බුද්ධරක්‍ඛිත මාහිමියන්ට මල්වතු මහා විහාරයෙහි මහානායක පදවියත්, උපසංඝරාජ පදවියත් පත්කරලීමේ පටන් අද දක්වාම මහාවිහාරවංශික ස්‍යාමෝපාලී මහානිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා 26 නමක් වැඩ විසූහ.

සම්බුද්ධ ශාසනයට අපරිමිත සේවයක් සිදු කොට වදාළ මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ එදා සිට මේ දක්වා (සංඝරාජ මාහිමියන් හා) වැඩවිසූ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා.

පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මා හිමි (රාජ්‍ය වර්ෂ 1753 – 1778 )

1. අතිගෞරවාහ¡ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්‍ෂිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (රා.ව. 1762 – 1773), 2. අතිගෞරවාහ¡ මැදවල ශ්‍රී ආනන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, (රා.ව. 1773 – 1774 ), 3. අතිගෞරවාහ¡ දරමිටිපොල ශ්‍රී ධර්මරක්‍ෂිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (රා.ව. 1774 – 1787 ), 4. අතිගෞරවාහ¡ මොරතොට ශ්‍රී ධම්මක්‍ඛන්ධ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (රා.ව. 1787 – 1811 ), 5. අතිගෞරවාහ¡ කොබ්බෑකඩුවේ ශ්‍රී නිවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (රා.ව. 1811 – 1819 ), 6. අතිගෞරවාහ¡ වැලිවිට ශ්‍රී සරණංකර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (රා.ව. 1819 – 1822), 7. අතිගෞරවාහ¡ ගම්මුල්ලේ ශ්‍රී සුමන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, (රා.ව. 1822 – 1825 ), 8. අතිගෞරවාහ¡ කොටිකාපොල ශ්‍රී සෝභිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (රා.ව. 1825 – 1826), 9. අතිගෞරවාහ¡ කන්දේගෙදර ශ්‍රී රේවත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (රා.ව. 1826 – 1829), 10. අතිගෞරවාහ¡ ගල්ගිරියාවේ ශ්‍රී ධර්මරක්‍ෂිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (රා.ව. 1829 – 1850), 11. අතිගෞරවාහ¡ පරකුඹුරේ ශ්‍රී විපස්සි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (රා.ව. 1850 – 1862 ), 12. අතිගෞරවාහ¡ මැදගම ශ්‍රී දේවමිත්ත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (රා.ව. 1862 – 1877), 13. අතිගෞරවාහ¡ හිප්පොල ශ්‍රී සෝභිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (රා.ව. 1877 – 1893), 14. අතිගෞරවාහ¡ තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (රා.ව. 1893 – 1913 ), 15. අතිගෞරවාහ¡ ගල්හිරියාවේ ශ්‍රී බුද්ධරක්‍ෂිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (රා.ව. 1913 – 1919 ), 16. අතිගෞරවාහ¡ අමුණුගම ශ්‍රී පියදස්සී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (රා.ව. 1919 – 1924), 17. අතිගෞරවාහ¡ අඹන්වැල්ලේ ශ්‍රී සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (රා.ව. 1924 – 1927), 18. අතිගෞරවාහ¡ පහමුණේ ශ්‍රී සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (රා.ව. 1927 – 1945), 19. අතිගෞරවාහ¡ රඹුක්වැල්ලේ ශ්‍රී සෝභිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (රා.ව. 1946 – 1955 ), 20. අතිගෞරවාහ¡ වැලිවිට ශ්‍රී සරණංකර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (රා.ව. 1955 – 1956), 21. අතිගෞරවාහ¡ පුරිජ්ජල ශ්‍රී සරණංකර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, (රා.ව. 1956 – 1963), 22. අතිගෞරවාහ¡ අමුණුගම ශ්‍රී විපස්සී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (රා.ව. 1964 – 1969), 23. අතිගෞරවාහ¡ මඩුග්ලලේ ශ්‍රී ධම්මසිද්ධි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (රා.ව. 1969 – 1973 ), 24. අතිගෞරවාහ¡ සිරිමල්වත්තේ ශ්‍රී ආනන්ද මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ (රා.ව. 1973 – 1989), 25. අතිගෞරවාහ¡ රඹුක්වැල්ලේ ශ්‍රී විපස්සී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (රා.ව. 1989 – 2004), 26. අතිගෞරවාහ¡ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ (රා.ව. 2004 සිට)

ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ වර්තමාන කාරක මහා සංඝ සභාව

1. මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිගෞරවාහ¡ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, 2. මල්වතු විහාරාධිවාසී ගරුතර දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, 3. මල්වතු විහාරාධිවාසී ගරුතර නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, 4. මල්වතු විහාරාධිවාසී අලුත්ගම ශ්‍රී ධර්මරක්‍ෂිත පියදස්සි ධම්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, 5. මල්වතු විහාරාධිවාසී වල්ගොව්වාගොඩ ශ්‍රී මේධංකර විමලබුද්ධි ලේඛකාධිකාරී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, 6. මල්වතු විහාරාධිවාසී හේනේපොල ධම්මකීර්ති ශ්‍රී දෙවරක්ඛිත නන්දසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, 7. මල්වතු විහාරාධිවාසී පුස්සැල්ලේ ශ්‍රී සුමන ගුණානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, 8. මල්වතු විහාරාධිවාසී දෙහිදෙණියේ ශ්‍රී සිද්ධාර්ථ රතනසාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, 9. මල්වතු විහාරාධිවාසී පහමුණේ ධම්මකීර්ති ශ්‍රී සරණංකර සුමංගල නියෝජ්‍ය ලේඛකාධිකාරී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, 10. මල්වතු විහාරාධිවාසී බුළුමුල්ලේ ශ්‍රී බුද්ධරක්‍ඛිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, 11. මල්වතු විහාරාධිවාසී කැටයාපතනේ ශ්‍රී ධම්මරක්‍ෂිත පියදස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ,

12. මල්වතු විහාරාධිවාසී දොරණෑගම විමලකීර්ති ශ්‍රී සුමන රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, 13. මල්වතු විහාරාධිවාසී නැහිනිවෙල ශ්‍රී සුමන පියදස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, 14. මල්වතු විහාරාධිවාසී බෙන්තර ශ්‍රී සංඝරක්‍ෂිත රේවත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, 15. මල්වතු විහාරාධිවාසී අම්පිටියේ ශ්‍රී සරණංකර චන්ද්‍රජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, 16. මල්වතු විහාරාධිවාසී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, 17. මල්වතු විහාරාධිවාසී රඹුක්වැල්ලේ ශ්‍රී ධම්මරක්‍ෂිත සොභිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, 18. මල්වතු විහාරාධිවාසී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්‍ඛිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, 19. අපවත් විය, 20. අපවත් විය.

රා.ව. 1542 දී වික්‍රමබාහු රජතුමන් විසින් ඉදිකරන ලද පෝයමළු මහා විහාරයේත් කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන් විසින් ඉදිකරන ලද මල්වතු මහා විහාරයේත්, වැලිවිට සරණංකර සංඝ රාජ මාහිමියන් උදෙසා ඉදිකරන ලද සංඝරාජාරාමයේ පටන් වර්තමාන ස්‍යාමෝපසම්පදාව පිහිටුවා වසර 260 ක් සම්පූර්ණ වන විට උක්ත විහාරද්වයේ ඉදි කරන ලද සංඝාරාම 1. වැලිවිට පන්සල, 2. තිබ්බටුවාවේ පන්සල, 3. දරමිටපොල (දන්තුරේ) පන්සල, 4. ගිණිගත්පිටිය (බෙන්තර ) පන්සල, 5. රඹුක්වැල්ල පන්සල, 6. මොරතොට (මැද) පන්සල, 7. සූරියගොඩ පන්සල, 8. කොටිකාපොල (ඉඟුරුවත්ත) පන්සල, 9. හිප්පොල පන්සල, 10. දළුක්ගොල්ලේ (අම්පිටිය) පන්සල, 11. පහළ පන්සල, 12. අඹන්වැල්ල පන්සල, 13. ඇතුල්ගම පන්සල, 14. තෙල්වත්ත පන්සල, 15. මඩුගල්ල පන්සල, 16. වෑඋඩ පන්සල, 17. හැරමිටිගල පන්සල, 18. ගල්පිහිල්ල පන්සල, 19. මැණික්දිවෙල පන්සල, 20. මාත්ගමුවේ පන්සල, 21. පෙතංගල්ලේ පන්සල, 22. සිරිමල්වත්ත පන්සල, 23. හිඳගල පන්සල, 24. නියංගොඩ පන්සල, 25. තුම්පනේ පන්සල, පෝයමළු විහාරය මුල්කොට ඉදි වූ පන්සල්, 26. කොබ්බෑකඩුවේ (අමුණුගම) පන්සල, 27. පහමුණේ පන්සල, 28. ඉල්ලගොල් පන්සල, 29. දොරලියද්දේ (දොරගමුව) පන්සල, 30. රත්තේපිටිය පන්සල, 31. දේදුනුපිටිය පන්සල, 32. වල්ගොව්වාගොඩ පන්සල, 33. 1964 දී මල්වතු පාර්ශවයේ අති ගෞරවාහ¡ මහානායක මාහිමියන් වහන්සේ සඳහා රජයෙන් පූජා කරන ලද නිල ආරාමය. 34. ශිෂ්‍ය භික්‍ෂු නේවාසිකාගාරය.