Print this Article


ලොවුතුරා බුදුරදුන්ගේ ලෝකාර්ථ චර්යාව

ලොවුතුරා බුදුරදුන්ගේ ලෝකාර්ථ චර්යාව

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ තුන් ලොවටම ගුරු වූ උතුම් ශාස්තෘවරයාණන් වහන්සේ වූහ. සියලු දෙව්, මිනිසුන්ට (සත්ථා දේවමනුස්සානං) ශ්‍රේෂ්ඨ නායකයෙකු වූ සේක. එබැවින් උන්වහන්සේගේ ලෝකාර්ථ චර්යාව ඉතා සංකීර්ණ වූවකි.

ගෞතම බෝසතාණන් වහන්සේ මෙලොව එළිය දකින අවස්ථාවේ අභීත සිංහ නාදයක් කළහ. එනම්, “මම ලොවට අග්‍රවෙමි”, “මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි” “මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි” යන ආකාරයෙනි. එදා ඒ පින්වත් බෝසත් කුමරාට නම් තබන අවස්ථාවේ ඔහුට “සිද්ධාර්ථ” කියා නම තබන ලද්දේද කිසියම් පෙර නිමිත්තක් ඒ කුමරු තුළින් විද්‍යාමාන වූ නිසා ය. එනම් ඒ පින්වත් කුමාරයා යම් දවසක සම්මා සම්බුද්ධත්වයට පත්ව “ලොවට අර්ථයක්ම සිද්ධ කරන්නේය” යන අරුතින් ඒ කුමරුට සිද්ධාර්ථ කියා නමක් තබනු ලැබූහ. ඒ බව සමස්ත බුද්ධ චරිතය දෙස විචක්ෂණශීලීව බැලූ කල මනාව ප්‍රකට වන කරුණකි.

සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කොට ගත් තැන් පටන් පිරිනිවන් පාන තෙක්ම එනම් පන් සාළිස් වසක්ම මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ ලෝකයාට අර්ථයක්ම සිද්ධ කළහ. සංසාර චක්‍රය වටා ගමන් කරමින් ඇවිදින දුක්ඛිත සත්ත්වයනට බුදුරජාණන් වහන්සේ ඉමහත් කරුණාවෙන් පිළිසරණ වූහ. සංසාර ගත ලෝක සත්ත්වයන්ට ලොව යථා තත්ත්වය වන අනිත්‍යා දී ධර්මයන් අවබෝධ කර දී විමුක්තිය ලබා දෙන ලදී.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි මුල් ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා හැට නමට අවවාද දී ධර්මදූත සේවාවෙහි යෙදෙන ලෙස නියම කළහ. ඒ අනුව “මහණෙනි, ලොවට හිත පිණිස අනුකම්පා පිණිස දෙව්, මිනිසුන්ගේ හිත සුව පිණිස දියුණුව පිණිස චාරිකාවේ හැසිරෙන්න දෙදෙනකු එක මඟින් නොයන්න. මේ දහම මුල, මැද, අග යහපත් වූවකි අර්ථ සහිත වූ සම්පූර්ණ වූ සසුන් බඹසර ලොවට ප්‍රකාශ කරන්න.” යනුවෙන් උපදෙස් දී ඒ ප්‍රථම රහත් හැටනම පිටත්කොට තමන් වහන්සේ ද ධර්මදූත සේවාවෙහි නියැළුනහ. මෙයින් ද පෙනීයන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකාර්ථ චර්යාව පිළිබඳ දැක් වූ උනන්දුව හා කැපවීමයි. මෙහිදී බුදුරජාණන් වහන්සේ කරුණා ගුණයෙන් හා මෛත්‍රී ගුණයෙන් මානව හිතවාදීව ධර්මය දේශනා කොට ඔවුන් භව කතරින් එතෙර කරනු ලැබූහ. එපමණක් නොව බුදුරජාණන් වහන්සේ මඟදී හමුවන පුද්ගලයන්ට දහම් දේශනා කොට ඔවුන්ට ද විමුක්ති මාර්ගය පෙන්වා දී අර්ථයක් සිදු කළහ. නමුත් එහිදී බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවන්තයින් හැර අනුවණයින්ට ධර්මය දේශනා නොකළහ. නමුත් ඔවුන් ද ඒ සඳහා උත්සාහ විය යුතු බව පෙන්වා දී ඇත. බුදුරජාණන් වහන්සේ සසර දුකින් පීඩා විඳිනු ලබන සත්ත්වයනට දීර්ඝ කාලීනව වින්දනය කළ හැකි නිවන් සැපත ලබා දුන්හ. එමෙන්ම ලොව පවත්නා ජීව අජීව සියල්ල නිත්‍ය නොව අනිත්‍ය බවත් ඒ නිසා සියල්ලම විපරිනාමයට (වෙනස්වීමට) පත්වෙන බැවින් දුකක් බවද මමය, මාගේ යන කියා ගත හැකි කිසිවක් නොමැති හෙයින් අනාත්මය යන ත්‍රිලක්‍ෂණය දුක්ඛිත සත්ත්වයාට ලෝකාර්ථ චරියාවේ යෙදෙමින් වටහා දුන්හ.

බුදුරජාණන් වහන්සේ ලෝකාර්ථ චර්යාවේ යෙදෙන අවස්ථාවන්හි තමන්ගේම සුඛ විහරණය, පිළිබඳ නොසිතා පරාර්ථ සේවාවම පරමාර්ථ කරගෙන අන්‍යයන්ගේ යහපත උදෙසාම මඟ පෙන්වූහ. ඒ බව බුදුරජාණන් වහන්සේගේ දෛනික දින චරියාව පිරික්සූ කල මනාව පිළිබිඹු වේ. එහිදී තමන් වහන්සේගේ දෛනික කටයුතු සඳහා ඉතා සුළු කාලයක් යොදා ගත් අතර අන් සෑම අවස්ථාවකදී ම ලෝකාර්ථ චර්යාවෙහි යෙදුණහ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පරමාර්ථය වූයේ ද එයමය. මෙය දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවතගෙන එන්නකි. එදා සුමේධ තාපසව සිටි අවදියේ දීපංකර බුදුරදුන්ගේ පාද මූලයේ සිට රහත් බව ලබා සසර දුකින් එතෙර වීමේ වාසනාව තිබුණද උන්වහන්සේ කල්පනා කළේ කොහොමද “මමත් කවදා හෝ දීපංකර බුදුරජාණන් වහන්සේ මෙන් සත්‍ය අවබෝධ කරගෙන, බුද්ධත්වයට’ පත් වී පසුව සසර දුකෙන් බොහෝ පීඩා විඳින සත්ත්වයන්ට ධර්මය දේශනා කොට විමුක්තිය ලබාදෙන බවයි.”

මෙයින් පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ මූලික පරමාර්ථය වූයේ පරාර්ථ සේවාවෙහි හෙවත් ලෝකාර්ථ චර්යාවේ යෙදීමයි. බුදුරජාණන් වහන්සේ සමස්ත මහ ජනතාවටම ලෞකික වශයෙන් මෙන් ම ලෝකෝත්තර වශයෙන් මෙලොව හා පරලොව දියුණුව සලසා ගැනීම සඳහා පරාභව, වසල, ව්‍යග්ගපජ්ජ, වේළුද්වාර, සිඟා ලෝවාද වැනි සූත්‍රවලදී මඟ පෙන්වා දුන්හ.” පරත්ථං පටිපජ්ජථ” යන දේශනාවට අනුව අනුන්ගේ දියුණුව උදෙසාම ක්‍රියා කරන්න යයි උන්වහන්සේ දේශනාවෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද පෙන්වා දුන්හ.

මෙතෙක් ලොව පහළ වූ සෑම ආගමික නායකයන් අතරින් බුදුරජාණන් වහන්සේ තරම් ලෝකාර්ථ සාධනයක් සිදුකළ බවක් මෙතෙක් සඳහන් වී නොමැත. බුදුරජාණන් වහන්සේගේ එබඳු ලෝකාර්ථ චරියාව පිළිබඳ කරුණු කුඩා ලිපියකින් ඉදිරිපත් කිරීම උගහටය. එතරම් මෙම මාතෘකාව සංකීර්ණය. තවද බුදු රජාණන් වහන්සේ ලෝකාර්ථ චර්යාවේ යෙදෙන අවස්ථාවල, කුලය, ජාතිය, ආගම, ධනය, තනතුර ආදී කරුණු පිළිබඳව සලකමින් එක් එක් පුද්ගලයා සෙය්‍යමාන, සදිසමාන, හීන මාන යන ත්‍රිවිධ මානයන්ගෙන් තුලනය කරමින් පරාර්ථ චරියාවේ කිසිවිටෙකත් නොහැසිරුණහ. මෙසේ ලෝකාර්ථචර්යාවේ යෙදුන ඇතැම් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේට නොයෙක් පුද්ගලයන්ගෙන් නින්දා අපහාස අවමන් විඳින්නට සිදුවිය. එසේම තවත් පිරිසක් ප්‍රශංසා කරන ලදී.

නමුත් ඒ සෑම අවස්ථාවකම අටලෝදහමට අනුව කම්පා නොවූහ. නොසැළුනහ. ඒ සියල්ලටම බුදුරජාණන් වහන්සේ මැදහත්ව ඉවසමින් මුහුණ දුන්හ. මේ නිසා බුදුරජාණන් වහන්සේ තුළ පැවතුන නිහතමානී ගුණය හා ඉවසීමේ ගුණය මෙවන් දේවලින් ප්‍රකට වේ.

ලෝකාර්ථ චර්යාවේ යෙදුණ බුදුරජාණන් වහන්සේ දවස කාලසටහනකට අනුව ක්‍රියා කළහ. පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, අලුයම් කිස යනුවෙනි. මධ්‍යම රාත්‍රියේ මොහොතක් විවේක ගත්හ. අලුයම් කිස ආරම්භයේ දී මහා කරුණා සමාප්ති ඤාණයෙන් ලොව දෙස බලා එදා දවසේ වහා ගොස් පිහිටවිය යුතු අය සොයා සෘද්ධියෙන් වැඩම කොට පිහිට වේ. ඒ ‘තුරිත’ චාරිකාවයි. අතුරිත චාරිකා නමින් තවත් ක්‍රමයක් විය.