Print this Article


සම්මා සමාධි

සම්මා සමාධි

ප්‍රඥාව සංවර්ධනය කිරීමේ මූලික උපාය මාර්ගය ධ්‍යාන භාවනාවන් වැඩීම වේ. ඒ තුළින් ලොව ඇති සියලු ප්‍රපංචයන්ගේ ස්වභාවය පරීක්‍ෂා කළ හැකිය. කෙලෙස් වනය සිඳ දැමීමටත් ධර්මාවබෝධයටත් එය හේතු වේ. සම්මා සමාධිය විස්තර කරන මුලික සූත්‍ර‍්‍රධර්ම එය ධ්‍යාන ලබා ගැනීම ලෙස දක්වා ඇත

සමාධි (Concentration) යනු චිත්ත ඒකාග්‍රතාව යි. එය ධාර්මික වූත් පවිත්‍ර වූත් ජීවිතය හා බැඳුණූ භාවනාමය තත්වයයි. එය උත්තරීතර ප්‍රඥාව (Higher wisdom) හා විමුක්ති (Emancipation) ප්‍රතිලාභය සඳහා අත්‍යවශ්‍ය වූ තත්වයකි. දීඝ නිකායේ සුභ සූත්‍රයේ දී සමාධිකන්ධ යනුවෙන් චිත්ත සම්පදාව දක්වා ඇත. එනම් ශ්‍රමණ ජීවිතයේ දී පින් රැස්කිරීම මගින් උසස් වූ තත්වයකට පැමිණීම යි. සංක්‍ෂිප්තව ගතහොත් සමාධි යනු ඉන්ද්‍රියයන් ආරක්‍ෂා කර ගැනීම (ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරතා) සිහියෙන් යුක්ත වීම (සති සම්පප්ඤ්ඤ) ලද දෙයින් සතුටුවීම, (සන්තුට්ඨි) පංචනීවරණයන්ගෙන් මිදීම හා ධ්‍යානලාභී වීම ය.

සම්මා සමාධිය (Right Concentration) නිවැරදි භාවනාව යි. සම්පූර්ණ සමාධියට සහ ධ්‍යානමය තත්වයට (State of Meditative Absorption) ළඟා වන තුරු භාවනානුයෝගියා සිත ප්‍රගුණ කරයි. සම්මා සමාධිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක් මාර්ගාංගයකි. සම්මා සමාධිය ප්‍රගුණ කළ හැක්කේ ආනාපානසතිය  (Mindfulness of breathing) කසිණ  (Visual objects) හා සජ්ඣායනා මගිනි. හුස්ම ඉහළට ගැනීම හා පිටතට හෙළීමේ භාවනාව (Meditation on in –breathing and out breathing) තමාත් තම ශරීරයත් ලෝකයත් පිළිබඳ අභ්‍යන්තර අවබෝධයට හිණිමඟකි.

‘දසකසිණ ආයතනානි භාවෙන්ති’ යනුවෙන් කසිණ 10 ක් පිළිබඳ භාවනාව උගන්වා ඇත. එනම්

1. පඨවි කසිණ (Earth)

2. ආපෝ කසිණ (Water)

3. තේජෝ කසිණ  (Fire)

4 . වායෝ කසිණ  (Air)

5. නීල කසිණ  (Blue)

6. පීත කසිණ  (Yellow)

7. ලෝහිත කසිණ  (Red)

8. ඕදාත කසිණ  (White)

9. ආකාස කසිණ (Space)

10.විඤ්ඤාණ කසිණ (Intellection or Consciousness) වේ .

විසුද්ධි මාර්ගයේ ද බොහෝ මූලික සූත්‍රවල ද මෙම කරුණු මැනවින් විස්තර වේ.මේ සෑම කසිණයක් ම පංචවිධ ය. එනම් උද්ධං (above) අධො (below) තිරියං (across) අද්වයං (single)  හා අප්පමාණං (boundless) යනුවෙනි.

ධ්‍යාන ලබා ගැනීම සඳහා පංච නීවරණයන් යටපත් කිරීමට සිදුවන අතර ඒ සඳහා උපස්ථම්භක වන්නේ සමාධියයි. කාමච්ඡන්ද (Sensuality) ව්‍යාපාද , (III –will) ථීනමිද්ධ  (Torpor of mind and body) උද්ධච්ච කුක්කුච්ච (Flurry /worry) විචිකිච්ඡා (doubt/ perplexity) යන පංචනීවරණයන් නිවන ආවරණය කරන ධර්මතාවන් හෙයින් සමාධිය මගින් ම ඒවා යටපත් කළ යුතු ම වේ. සමාධිය චිත්ත සමාධි (Concentration of mind)  හා ධම්ම සමාධි (Identical with Samatha)  නමින් දෙවදෑරුම්වේ.

සමාධියේ තවත් දෙවැදෑරුම් ස්වරූපයකි .එනම්,

1. උපචාර සමාධි (Preparratory Concentration) සහ

2. අප්පණා සමාධි(Attainment Concentration) යනුවෙනි.

සමාධිය නැවත ද තෙවදෑරුම් ලෙස මෙසේ දක්වා ඇත.එනම්

1. සුඤ්ඤත සමාධි (Empty)

2. අප්පණීහිත සමාධි (Aimless)

3. අනිමිත්ත සමාධි (Signless) යනුවෙනි.

ප්‍රඥාව සංවර්ධනය කිරීමේ මූලික උපාය මාර්ගය ධ්‍යාන භාවනාවන් වැඩීම වේ. ඒ තුළින් ලොව ඇති සියලු ප්‍රපංචයන්ගේ ස්වභාවය (Nature of phenomena) පරීක්‍ෂා කළ හැකිය. කෙලෙස් වනය සිඳ දැමීමටත් ධර්මාවබෝධයටත් එය හේතු වේ. සම්මා සමාධිය විස්තර කරන මුලික සූත්‍ර‍්‍රධර්ම එය ධ්‍යාන ලබා ගැනීම ලෙස දක්වා ඇත.

1. කාමයෙන් වෙන්ව අකුසල් දහමින් වෙන්ව සවිතර්ක සවිචාර විවේකජ පී‍්‍රතිසුඛ ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ විසීම

2. විතක්ක විචාරකයන්ගේ ව්‍යූපශමයෙන් තමා තුළ පැහැදීම ඇති චිත්ත ඒකාග්‍රතාවය ඇති අවිතර්ක අවිචාර සමාධිජ පී‍්‍රති සුඛ ඇති ද්විතීය ධ්‍යානය උපදවා විසීම

3. පී‍්‍රති විරාගයෙනුදු උපෙක්‍ෂකව ස්මෘතිමත්ව සම්ප්‍රඥාන ඇති ව වාසය කරමින් නාමකයින් සුඛය ද විඳින තෘතීය ධ්‍යානය උපදවා විසීම.

4. සුඛදුක්ඛ ප්‍රහාණයෙන්ද,සොම්නස් දොම්නස් නැතිවීමෙන්ද, අදුක්ඛ වූ අසුඛ වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධි ඇති චතුර්ථ ධ්‍යානය උපදවා විසීම

මෙම උත්තරීතර ධ්‍යානමය තත්වයන්ට පැමිණීම සම්මා සමාධිය වේ.