Print this Article


ආර්ථික සමෘද්ධියෙන් අධ්‍යාත්මික දිළිඳුකම බැහැර කරමු

ආර්ථික සමෘද්ධියෙන් අධ්‍යාත්මික දිළිඳුකම බැහැර කරමු

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික දිනය ඓතිහාසික වෙසක්පුර පසළොස්වක පොහොය දවසයි. ලෝකවාසී බොදුනුවන්ගේ උත්තරීතර ආගමික දිනය වන වෙසක් පොහොය දිනය ලක්වැසි බොදුනුවන්ගේ ඓතිහාසික ජාතික දිනය ද වේ.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පසු ගිය රාජ්‍ය වෙසක් උත්සවයේ දී ප්‍රධාන ධර්ම දේශනාවට සහභාගි වූ අවස්ථාව.

දිවිනැඟුම වැඩ පිළිවෙළේ දී මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහ නා හිමියන් වෙත ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා රෝපණය කිරීම සඳහා අඹ පැළයක් පිළිගැන්වූ අවස්ථාව.

ප්‍රධාන ධර්ම දේශනය පැවැත්වූ නියංගොඩ විජිතසිරි අනු නා හිමියන් වෙත ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ ආර්.පී. බන්දුල තිලකසිරි මහතා පිරිකර පූජා කළ අවස්ථාව.

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ ගුණයන්ගෙන් පිරුණු ගුණ මූර්තියක් වේ. අසිරිමත් සම්බුදු සිරිපා පහසින් තෙවරක්ම අතිපාරිශුද්ධත්වයට පත් කරමින් වාසනාවන්ත පුණ්‍ය භූමියක් බවට අපේ රට පත් කොට වදාළහ. එවන් පුණ්‍ය භූමියක ජන්ම දායාදය ලද බොදුනුවෝ සැබැවින්ම වාසනාවන්තය.

මෑත යුගයේ අපේ රට තිස්වසරක් පුරා පැවැති රුදුරු ත්‍රස්තවාදයට ගොදුරුවීමෙන් ජනතාව සැකයෙන් හා බියෙන් පමණක් නොව ඇතැම් විට තම ජීවිතය ගැන බලාපොරොත්තුවක් පවා නොමැතිව ගත කළ අඳුරු යුගයක් එදා විය.

ඒ අවාසනාවන්ත යුගය නිමාවට පත්වූයේ සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අපේ රටේ රාජ්‍ය නායකයා බවට පත්වීමෙන් අනතුරුවය. ඉතා දූරදර්ශීව බුද්ධිමත් භාවයෙන් එම ත්‍රස්තවාදී උවදුර රටෙන් දුරු කිරීමට එතුමාට ශක්තිය තිබූ බැවින් රටේත්, ජනතාවගේත් නිදහස ආරක්‍ෂා කිරීමට ද ජනාධිපතිතුමාට හැකිවිය.

බෙදීමට ආසන්නව තිබූ රට ත්‍රස්තවාදයෙන් බේරා ගනිමින් එක්සේසත් කළ අතර රටේ ආර්ථික සංවර්ධනයේ භාරදූර කර්ත්‍යවයෙහි ද නියැළී රටේ යෝධ සංවර්ධන ක්‍රියාදාමයට නිරතුරුවම යොමු වූහ.

අතිගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් රට ආර්ථික සංවර්ධනය කරා මෙහෙයවන ක්‍රියා දාමයේ දී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සමෘද්ධි බැංකු සංගම් ජාලයත්, දිවි නැඟුම වැඩපිළිවෙළත් ක්‍රියාත්මක වේ.

විශේෂයෙන් එම කටයුතු සිදුකරගෙන යාමේ දී උතුරු පළාතේ කිළිනොච්චි, මුලතිව්, මන්නාරම ආදී ඉකුත් ත්‍රස්තවාදී සමයේ යාමටවත් අපහසු වූ පළාත්වල පවා හැම ගමකටම සමෘද්ධි නිලධාරීන් උපාධිධාරීන් 1000 – 1500 සෘජුව නිලධාරීන් ලෙස පත් වී මෙම වෙසක් සමයේ සේවය කිරීමට සූදානමින් පසුවන බව සතුටෙන් සඳහන් කළ යුතු ය.

අපේ රටේ දිළිඳුබව තුරන් කිරීමට ඇරැඹු සමෘද්ධි ව්‍යාපාරය නැතිබැරි දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වූවකි.

නැති බැරි දිළිඳුකම දියුණු යැයි පවසන ඇතැම් බටහිර රටවල පවා අද දකින්නට ලැබෙන්නකි. එබැවින් දිළිඳුකම කවර රටකට වුවත් පොදු වූවක් බවද පෙනේ.

එහෙත් අපේ රටේ එදා පැවැති 30% ක පමණ වූ දිළිඳු බව 07% දක්වා අඩු කර ඇති බව සඳහන් කළ යුතු ය. රජයේත්, දිවිනැඟුම ව්‍යාපාරයේත් උත්සාහය එම දිළිඳුකම පිටු දකින රටක් ලෙස ලෝකයට අපේ රට එකතුවීමටය.

ඒ සදහා දැනට පවත්නා සමෘද්ධි වැඩපිළිවෙළ, දිවිනැඟුම වැඩ පිළිවෙළ ලෙස අනාගතයේ මහඟු මෙහෙවරක් සිදු කරනු ඇත.

අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතියත්, කැබිනට් අනුමැතියත්, පළාත් සභාවල අනුමැතියත්, පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතියත් ඇතිව කවර බාධක මධ්‍යයේ වුවද අදාළ පනත සම්මතවීමෙන් සමෘද්ධි වැඩපිළිවෙළට සම්බන්ධ නිලධාරීන් 27000කට පමණ විශ්‍රාම වැටුප් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සුරක්‍ෂිත භාවය ඇතිව ආත්ම විශ්වාසයෙන් යුක්තව කටයුතු කරගෙන යාමේ හැකියාව ඔවුන් වෙත උදා වී ඇත.

එපමණක් නොව අඩු ආදායම්ලාභි ජනතාවට, ප්‍රතිලාභීන්ට තව තවත් උදව් කිරීමේ අවස්ථාවද හිමිවේ. ඔවුන්ගේ ආර්ථික ශක්තිය දියුණු කිරීමටත් නව බැංකු ක්‍රමය මඟින් මූල්‍ය පහසුකම් වැඩි වැඩියෙන් ලබා දී එමඟින් ඔවුන් සක්‍රීයව පුද්ගලයාත්, ගෘහ ඒකකයත්, ගමත්, ගොඩනංවන මහින්ද චින්තන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමේ හැකියාව උදාවේ.

පසුගිය වසරවලදී මෙන්ම මෙවරද වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ‘බුදුසරණ’ පුවත්පතේ පිටපත් තුන් ලක්‍ෂයක් පමණ සමෘද්ධි බැංකු සංගම් අනුග්‍රහයෙන් රටපුරා බෙදා හැරීමට හැකිවීම මෙරට බොදු ජනතාව ලද මහත් වාසනාවකි. “සබ්බ දානං ධම්ම දානං ජිනාති” යන සම්බුදු වදනට අනුව ධර්මදානමය පිනට මෙම අසිරිමත් පෝදා දායකවීමට හැකි වූ සැමට සැනසීමට මඟක් වනු ඇත. ආධ්‍යාත්මික සුවය කවර ජිවිතයකට වුවද උදාකරනුයේ මහත් සැනසීමකි. ආර්ථික සමෘද්ධියටත්, ආධ්‍යාත්මික සුවයටත් සිදු කැරෙන මෙහෙවර පැසසිය යුතු ය.

ආගමික මෙන්ම ජාතික උත්සව අවස්ථාවන්හිදී සමෘද්ධි බැංකු සංගම් ජාලය නිහඬව මහත් මෙහෙවරක් සිදු කරනු ලැබේ. එමෙන් ම සමෘද්ධි බැංකු සංගම් අනුග්‍රහයෙන් ශ්‍රී බුද්ධ වර්ෂ 2557 වෙසක් පුර පසළොස්වක පෝදා විහාරස්ථාන දහසකදී ධර්මදේශනා දහසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

බැංකුවක් මඟින් ලාභ උපයන ආයතනයක් මඟින් මේ රටේ සංවර්ධනයට දායකවීම මෙන්ම ප්‍රතිලාභීන්ට හැකි සියලු ප්‍රතිකාර ළඟාකර දීමට පියවර ගනු ලැබේ.

පටු වාද භේදාදියෙන් බැහැර වී රට සංවර්ධනය කරා යන ගමනේ දී ඊට ශක්ති පමණින් සියලු දෙනාගේ දායකත්වය ලබාදීම වගකීම හා යුතුකම මෙන්ම යුගයේ කාර්යභාරයද වන බව කල්පනා කළ යුතු ය.