Print this Article


උතුම් වෙසක් පුන් පෝදා සිදු වූ අසිරිමත් සිදුවීම්

‘අග්ගෝහමස්මි ලෝකස්ස, ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස’ මම ලෝකයට අග්‍ර වෙමි. ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි, මේ මාගේ අන්තිම ආත්ම භාවයයි. නැවත උපතක් නැත.’ යනුවෙන් අභීත සිංහ නාදය පවත්වන ලද්දේත්, වෙසක් පුන් පොහෝ දිනයේදී ය

ලෝ සතුන් අපමණ දුක් හිරිහැර විඳිමින් ගත කළ ඒ දුක් බර ජීවිතයට සැනසුම උදාකර, ඔවුන් සසර සයුරෙන් එතෙර කිරීමේ මහත් කරුණාවෙන් සැදුණු අප සිදුහත් බෝ සතුන් උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත් වී වදාළ වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධයන් වූ අප සැමට අසම වූ උතුම් දිනයකි. මෙදින වූ අසිරිමත් සිදුවීම් රාශියකි.

මෙයින් සාරා සැකි කප් සුවහසකට පෙර සුමේධ තාපසව සිටිය දී දීපංකර සම්බුදුරදුන් හමුවේ දී බුද්ධත්වයට පත්වීම පිළිබඳව පළමු කොට නියත විවරණ ලැබුවේ වෙසක් පුන් පොහෝ දිනකය.

කපිලවස්තු පුරයෙහි පාලක ශාක්‍යය වංශික සුද්ධෝදන රජතුමාණන්ගේ අගබිසව වූ මහාමායා මෙහෙසිය කුසින් ලුම්බිණි සල් වනයේ දී බෝ සතුන් බිහි වීමේ අසිරිමත් සිදු වීම ද වූයේ වෙසක් පුන් පොහෝ දිනකය. ‘අග්ගෝහමස්මි ලෝකස්ස, ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස’ මම ලෝකයට අග්‍ර වෙමි. ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි, මේ මාගේ අන්තිම ආත්ම භාවයයි. නැවත උපතක් නැත.’ යනුවෙන් අභීත සිංහ නාදය පවත්වන ලද්දේත්, වෙසක් පුන් පොහෝ දිනයේදීය.

බුද්ධත්වයට පත්වීමත් සමඟ ඇතිවූ මහත් පී‍්‍රතිය ප්‍රකාශ කරමින් ‘අනේක ජාති සංසාරං සංධාවිස්සං අනිබ්බිසං’ යන ආදී වශයෙන් ශ්‍රේෂ්ඨ වදන් ප්‍රකාශ කරන ලද්දේ ද උතුම් වෙසක් පුර පසළොස්වක් පොහොය දිනයේදී ය.

බුද්ධත්වයෙන් හතළිස් පස් වසරක් මුළුල්ලේ සවි සතුනට අමාමහ නිවන් සුව සලසාලමින් වැඩ සිට අවසානයේ කුසිනාරා නුවර මල්ල රජවරුන්ගේ උපවර්තන නම් සල් උයනෙහි පැවැති යමක සාල වෘක්‍ෂයන් අතර පනවන ලද ආසනයෙහි සැතපී වැඩ සිටිමින් අන්තිම බුද්ධ වචනය වූ ‘අප්පමාදේන සමිපාදේථ’ යනුවෙන් නිවන් සුව ළඟා කර ගැනීම සඳහා අප්‍රමාදිව ක්‍රියා කරන්න’ යයි තම ශ්‍රාවකයනට අවවාද දී අසූවන වියේ දී බුදුරදුන් පිරිනිවන් පා වදාළේත් වෙසක් පුන් පොහෝ දිනයක ය.

සම්බුදුරදුන් දෙවන වර නාගදීපයට වැඩි අවස්ථාවෙහි මණිඅක්ඛිත නාරජුන් කළ ආරාධනයට අනුව පන්සියයක් භික්‍ෂූන් පිරිවරාගෙන බුද්ධත්වයෙන් අටවන වසරෙහි කැලණියට වැඩමවා දහම් දෙසා සමන් දෙවියන්ගේ ඇරයුමෙන් සමනළ කඳු මතට වැඩම කොට සිරිපා සටහන පිහිටුවන ලද්දේත් උතුම් වෙසක් පුන් පොහෝ දිනයක ය. මෙවර ලංකාවට වැඩමවූ බුදුරදුන් තවත් ස්ථාන දොළහකට ද වැඩමවා ඒවා පූජණීයත්වයෙන් උසස් තත්ත්වයකට පත් කළහ.

සුද්ධෝදන රජතුමාගේ ඇරැයුමෙන් විසි දහසක් පමණ සඟ පිරිස පිරිවරාගෙන රජගහ නුවරින් පිටත්ව පිය රජතුමාණන් පාලනය ගෙන ගිය කිඹුල්වත් පුරය වෙත වැඩමවන ලද්දේත්, එහි දී ශාක්‍යයන්ගේ මානය තුරන් කිරීම පිණිස යමා මහ පෙළහර දක්වන ලද්දේත් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකය.

සම්බුදු රදුන්ගේ අග්‍ර උපස්ථායක ධුරය දැරූ ධර්ම භාණ්ඩාගාරික අනඳ තෙරණුවන් එකසිය විසි වසරක් වැඩ සිට පිරිණිවන් පාන ලද්දේත් උතුම් වෙසක් පුන් පොහෝ දිනයකය.

බෞද්ධ ආගමික වර්ෂයත්, සිංහල ජාතික වර්ෂයත් දෙකම එක් දිනයක් බවට පත් වීමේ වැදගත් සිදුවීම අප සිත්හි සනිටුහන් කරමින් වංශ කතාව සඳහන් කරන අන්දමට සිංහල ආර්ය වංශික ප්‍රථම පාලකයා වූ විජය රජතුමා සත්සියයක් පිරිස සමඟ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සැපත් වූයේ ද වෙසක් පුන් පොහෝ දිනයක ය.

අනුරාධපුර යුගයේ ශ්‍රේෂ්ඨතම පාලකයෙකු වූ දෙවනපෑතිස් රජතුමා ඉන්දියාව පාලනය කළ අශෝක අධිරාජ්‍යයාගේ ඉල්ලීම පරිදි දෙවන වරට ආර්ය අභිෂේකය සිදු කරන ලද්දේත් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකය. ශ්‍රී ලංකාව විදේශීයන්ගෙන් නිදහස් කොට ගත් දුටුගැමුණු රජතුමා අනතුරුව අනුරාධපුරයෙහි රුවන්වැලි සෑය සෑදවීමට වැඩ ආරම්භ කරන ලද්දේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකය. අතිශයින් ශ්‍රේෂ්ඨ වූ බුදු තෙමඟුල ප්‍රධාන මෙහි දැක් වූ වෙසක් පුන් පොහෝ දිනයන්හි වැදගත් සිදුවීම් සිහියට නගා ගනිමින් සෑම දෙනාම සැදැහැබර ගෞරවයෙන් පිරිපුන්ව සියලු පව් වලින් දුරුව උතුම් වූ ප්‍රතිපදාවන්හි යෙදීමට මේ වෙසක් පෝ දා අධිෂ්ඨාන කර ගනිමු.