Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය
ශාසනික ඉතිහාසයෙහි සඳහන්වන විවිධ කාන්තාවන් අතුරෙන් ‘බුද්ධ මාතාව‘ නමින් ප්‍රසිද්ධව සිටි කාන්තාව කවුද?

පිළිතුර
සුප්‍රබුද්ධ රජතුමාගේ බාල සොහොරිය මහා ප්‍රජාපතී ගෝතමියයි. මහාමායා දේවිය ඇයගේ වැඩිමහල් සොහොයුරිය වූවා ය. මහමායා දේවිය මියගිය පසු තම සොහොරියගේ පුත් සිද්ධාර්ථ කුමරු හදා වඩා ගත්තා ය. ඇයගේ ගෝත්‍ර නාමය ගෝතමී වූ අතර ඇයට මහාප්‍රජාපතී යන නාමය ව්‍යවහාර වූයේ මහ පිරිසට නායක වන බව නිමිති පළකළ හෙයිනි. බුදුරජාණන් වහන්සේ සුදොවුන් පිය මහ රජුට දෙසූ ධම්මපාල ජාතක දේශනාව අසා සෝවාන් ඵලයෙහි පිහිටි ඇය බුදුරජාණන් වහන්සේ දෙවන මව්පදවිය ලැබීම නිසා බුද්ධ මාතා නම් වූවා ය.

ප්‍රශ්නය
අනුරාධපුර මහාවිහාරයේ වැඩ වාසය කරමින් හෙළටුවා පාලි භාෂාවට පරිවර්තනය කළ මහා ස්ථවිරපාදයන් වහන්සේ හැඳින්වෙන්නේ කවර නමකින්ද?

පිළිතුර
දඹදිව බෝමඩුට නුදුරු ‘ඝෝෂ’ නම් ග්‍රාමයේ බමුණු කුලයක උපත ලද අයෙක් වාදයෙහි දක්‍ෂ වූ රේවත නම් හිමි නමක් වෙතින් පැවිදි විය. බුද්ධඝෝෂ හිමියන් ලක්දිවට පැමිණියේ අනුරාධපුර රාජධානි කරගත් මහානාම රජු දවසය. බුද්ධ ඝෝෂ හිමියන් විසින් කරන ලද අට්ඨකතා සියල්ලම මිහිඳු මාහිමියන් විසින් ලක්දිවට ගෙන එන ලද අටුවා සමූහයයි. පාලි අටුවා පොත් වලින් අඩකටත් වඩා සපයා ඇත්තේ බුදු ගොස් හිමියන් විසිනි.

ප්‍රශ්නය
ශාසනික ඉතිහාසයෙහි ‘සාහස්සිකා’ යන සුවිශේෂ නමකින් හැඳින්වෙන්නේ කුමක් ගැනද?

පිළිතුර
සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය පන්තිස් වැන්නෙහි අශෝක අධිරාජයාගේ දායකත්වයෙන් පැළලුප් නුවරදී තුන්වන සංගායනාව පැවැත්වීය. මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රහතන් වහන්සේලා දහසක් සම්බන්ධ වෙමින් පැවැත් වූ සංගායනාව ‘සාහස්සිකා’ නම් වෙයි. සංගායනාව නවමසකින් සම්පූර්ණ විය.

ප්‍රශ්නය
සෑම ජාතක කතා දේශනාවකින්ම බෝධිසත්වයන් වහන්සේගේ එක් පාරමිතාවක් කේන්ද්‍රගත පුවතක් හෙළිවෙයි. ‘පංචායුධ’ ජාතක දේශනාවෙන් බෝධිසත්වයන් වහන්සේගේ කුමන පාරමිතාවක් දක්නට ලැබේද?

පිළිතුර
බෝධිසත්වයන් වහන්සේගේ ‘වීර්ය පාරමිතාව‘ පංචායුධ ජාතක කතා දේශනාවෙන් පැහැදිලි වෙයි.

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේගේ ජන්ම භූමිය වූ දඹදිවට පවා අහිමි වූ අති පූජනීය වස්තුවක් ශ්‍රී ලංකා දීපවාසින්ට ලැබී ඇත. මෙම ශ්‍රේෂ්ඨ පූජනීය වස්තුව කුමක්ද?

පිළිතුර
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ ශ්‍රී ලාංකාවාසීන්ගේ සැමදා පූජනීය වස්තුවක් වශයෙන් සියවස් විසිපහකට අධික ඓතිහාසික කතා පුවතක් ද සිහිපත් කරමින් වැඩ සිටිති.

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ ‘ආදිත්ත පරියාය’ සූත්‍ර දේශනාව පැවැත් වූයේ කවුරුන් උදෙසාද?

පිළිතුර
ජටිල සහෝදරවරුන් උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රධර්මය ආදිත්තපරියාය සූත්‍ර දේශනාවයි.

ප්‍රශ්නය
බහුශ්‍රැත ශ්‍රාවිකාවන් අතුරෙන් අගතනතුරු ලබාගත් ශ්‍රාවිකාවගේ නම කුමක්ද?

පිළිතුර
බුජ්ජුත්තරාවෝ දිනපතා බුදුරදුන්ගෙන් බණ අසා අවුත් සාමාවතී ප්‍රධාන පිරිසට ධර්මය කියා දෙති. එහෙයින්ම ඕ තොමෝ බණ ඉගෙන බහුශ්‍රැතත්වය (බොහෝ ඇසූ පිරූ ඇති) ට පැමිණියහ. බුදුරජාණන් වහන්සේ බණ කියන උපාසිකාවන් අතුරෙන් බහුශ්‍රැත ශ්‍රාවික අගතැන් පත් කළහ.

ප්‍රශ්නය
ඉපැරැණි සාම්ප්‍රදාය සහ රාජ නීතිය අනුව දළදා වහන්සේ ගේ භාරකාරත්වය තිදෙනෙකු පැවරීම අනිවාර්යය ශාසනික කටයුත්තකි. මෙම භාරකාරත්වය පැවරෙන තිදෙනා කවුරුන්ද?

පිළිතුර
මල්වතු, අස්ගිරි අතිපූජ්‍ය මහානායක මාහිමි දෙනම සහ දියවඩන නිලමේතුමා වර්තමානයෙහි ද දළදා වහන්සේ ගේ භාරකරත්වය පැවරී ඇත.

ප්‍රශ්නය
තොටගමු විහාරයේ වැඩ වාසය කරමින් සිටි රණස්ගල්ලේ මාහිමියන් ලියූ කාව්‍ය ග්‍රන්ථය කුමක්ද?

පිළිතුර
මෙලක්දිව පැරැණි උපදේශ කාව්‍ය අතුරෙන් මුල් තැන්හිලා සැලකෙන ලෝකෝපකාරය රණස්ගල්ලේ මාහිමියන් විසින් රචනා කරන ලදී.

ප්‍රශ්නය
රහතන් වහන්සේලා වාසය සඳහා අට සැටක් ලෙන් එකම ස්ථානයක පිහිටා ඇත. ස්ථානය සඳහන් කරන්න.

පිළිතුර
අනුරාධපුර මිහින්තලය පූජනීය භූමිය තුළ අටසැටලෙන් පිහිටා ඇත.

ප්‍රශ්නය
ක්‍රි. පූ. 236 දී මිස්සක පව්ව මුල්කරගෙන ශ්‍රී ලංකාවේ සිදුවන සුවිශේෂ වූ ශාසනික මෙහෙවර කුමක්ද?

පිළිතුර
ඉපැරැණි රාජකීය සම්ප්‍රදායක් අනුගමනය කළ දේවානම්පියතිස්ස රජු දඩ කෙළියේ ගොස් සිටි අවස්ථාවක මිහිඳු මාහිමියන් පොසොන් පෝ දින හමු විය. අනුරාධපුරයෙහි සිට සැතපුම් 08ක් පමණ දුර පිහිටි මිස්සක පව්ව නම් ස්ථානයෙහි දී (වර්තමාන මිහින්තලය) මෙම රාජකීය හමුවීම සිදු වූ බව පාලි වංස කතාවල සඳහන් වෙයි.

මිහිඳු මාහිමියන් මෙරටට වැඩම කළේ තවත් තෙරවරු හතරක් සම¼ගය. උන්වහන්සේ කැටුව ආ පිරිසෙහි මිහිඳු මාහිමියන් කිට්ටු නෑදෑ දෙපළක් වූහ. එනම් උන්වහන්සේගේ නැගණියන් වූ සංඝමිත්තා කුමරියගේ පුත් සුමන සාමණේරයන් සහ මෑණියන්ගේ සොහොයුරියගේ දුවණියගේ පුත් භණ්ඩුක උපාසක යන මේ දෙදෙනාය. මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිංහල සංස්කෘතියේ ආරම්භය වශයෙන් සැලකිය හැකිය.

ප්‍රශ්නය
පොළොන්නරුව පූජනීය පෙදෙසේ පිහිටි ‘උත්තරාරාමය’ නමින් හැඳින්වෙන ස්ථානය කුමක්ද?

පිළිතුර
පොළොන්නරුව ගල් විහාරය නමින් සඳහන් වන ස්ථානය ඉපැරැණි භාවිතය උත්තරාරාමය නම් වෙයි.

ප්‍රශ්නය
අනුරාධපුර දුටුගැමුණු මහරජතුමා විසින් කරවන ලද රුවන්වැලි සෑය ස්ථූප ආකෘතික වශයෙන් කුමන ආකෘතියක් අනුව සකස් කොට තිබේද?

පිළිතුර
ඉපැරැණි ථූප ආකෘති (සැලැස්ම) සයකි. එයින් බුබ්බුලාකාර ආකෘතියට (දිය බුබුලක) අනුව රුවන්වැලි සෑය නිර්මාණය කොට ඇත.

ප්‍රශ්නය
ත්‍රිපිටකයේ එන දේශනාවන්ගෙන් වැඩිපුර ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ කුමන ආරාමයක් මුල් කරගෙනද?

පිළිතුර
දේශනා පාලියෙහි එන ‘එවං මෙසුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ’ යන වැකියෙන් අවධාරණය වන පරිදි සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටිමින් උන්වහන්සේ දහම් දෙසූ සේක.

ප්‍රශ්නය
විල්ගම්මුල හිමිපාණන් වහන්සේ සිංහල බෝධිවංශය රචනා කොට ඇති පරමාර්ථය කුමක්ද?

පිළිතුර
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම වීමේ ඓතිහාසික පුවත විස්තර කිරීම සඳහා බෝධිවංශය රචනා කොට ඇත.