Print this Article


ඇලෙන ගැටෙන සිත සසරට නැවෙයි

ඇලෙන ගැටෙන සිත සසරට නැවෙයි

ඇසට පෙනෙන දේ හොඳයි, හැඩයි, ලස්සනයි ආදී වශයෙන් ගෙන රාගයක්, කාමයක් ඇතිකර ගැනීමෙන් ද, එම අරමුණු අවලස්සනයි, අමිහිරියි, කැතයි ආදී වශයෙන් ගෙන අමනාපයක්, තරහක්, වෛරයක් ඇති කර ගැනීමෙන් ද සිදුවන්නේ සසරට බැඳීමයි. එවැනි ලෝභ, ද්වේශ චේතනාවක් මුල්කරගෙන මිය ගිය විට දුගතිගාමි වී සසරේ අනන්ත කාලයක් දුක් විඳින්නට සිදු වෙයි. කනට ඇසෙන ශබ්දය මිහිරිය කියා එහි ඇලේ නම්, රාගයක්, කාමයක්, තණ්හාවක් ඇතිකර ගනී නම් සසර බැඳීමට එය හේතු වෙයි. එසේම කනට ඇසෙන ශබ්දය අමිහිරිය කියා හෝ සිතට වේදනා ගෙන දෙන්නක් කියා හෝ තරහක්, වෛරයක්, ද්වේශයක් ඇති කර ගනීද, එවැනි අයට ද දීර්ඝ කාලයක් සසරේ දුක් විඳීමට සිදු වේ.

අපගේ ගෞතම බුදුපියාණන් වහන්සේ සිව්වනක් පිරිස සමඟ ධර්ම සාකච්ඡාවකයෙදී සිටි සේක. එහිදී සසර ගමන කෙටි කරගෙන දුකින් මිදී නිවන් දකින්නට අනුගමනය කළ යුතු පිළිවෙතක් මෙසේ දෙසූ සේක.

මහණෙනි! අපගේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනැසට ගෝචර වන අරමුණු වෙත අප සිත බැඳ ගත් විට අපගේ සසර ගමන දික්වෙයි. අපමණ දුක් විඳීමට සිදුවෙයි. එමනිසා ඇස, කන ආදී ඉඳුරන් සංවර කර ගන්නා ආකාරය මෙසේ දෙසූහ.

ඇසට පෙනෙන දේ හොඳයි, හැඩයි, ලස්සනයි ආදී වශයෙන් ගෙන රාගයක්, කාමයක් ඇතිකර ගැනීමෙන් ද, එම අරමුණු අවලස්සනයි, අමිහිරියි, කැතයි ආදී වශයෙන් ගෙන අමනාපයක්, තරහක්, වෛරයක් ඇති කර ගැනීමෙන් ද සිදුවන්නේ සසරට බැඳීමයි. එවැනි ලෝභ, ද්වේශ චේතනාවක් මුල්කරගෙන මිය ගිය විට දුගතිගාමි වී සසරේ අනන්ත කාලයක් දුක් විඳින්නට සිදුවෙයි. කනට ඇසෙන ශබ්දය මිහිරිය කියා එහි ඇලේ නම්, රාගයක්, කාමයක්, තණ්හාවක් ඇතිකර ගනී නම් සසර බැඳීමට එය හේතු වෙයි. එමනිසා, අපමණ දුක් විඳිමින් සසරේ ගමන් කිරීමට සිදුවෙයි. එසේම කනට ඇසෙන ශබ්දය අමිහිරිය කියා හෝ සිතට වේදනාගෙන දෙන්නක් කියා හෝ තරහක්, වෛරයක්, ද්වේශයක් ඇති කර ගනීද, එවැනි අය ද දීර්ඝ කාලයක් සසරේ දුක්විඳිති.

මෙසේ නාසයට දැනෙන සුවඳ මිහිරිය කියා ආශා කිරීමෙන් ද, එම සුවඳ අහිමිරිය කියා තරහක් ඇති කර ගැනීමෙන් ද, දිවට දැනෙන රසය ප්‍රණීතය කියා එහි ඇලීමෙන් ද එම රසය නීරසය, අපි‍්‍රයය කියා ද්වේශයෙන් ප්‍රතික්ෂේප කිරීමෙන්ද, කයට දැනෙන පහස මෘදුය, මොළොක් ය, සැපය, කියා එහි ලොල් වී රාගයක්, කාමයක් ඇති කර ගැනීමෙන් ද, එම පහස ගොරෝසුය, සැප නැතය, කියා සිතේ දුකෙන් වේදනාවෙන්, තරහෙන් ගැටුම් ඇති කර ගැනීමෙන් ද අනන්ත කාලයක් සසරේ ගමන් කිරීමට සිදු වෙයි. එසේම, මනැසට ගොදුරු වන්නේ විවිධ සිතිවිලි ධර්මයන් ය. ඒ කෙරෙහි ද ඇලීම, ගැටීම නුසුදුසු ය.

රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යනාදි මෙම අරමුණු පිළිබඳ යමෙකුගේ සිතෙහි ලෝභාදි අකුසල සිතුවිලි පහළවෙයි ද, ඒ අනුව වැඩ කරයිද එම සිතුවිලිවලින් අපිරිසුදු වූ මනැසින් මිය ගිය විට ඔහු උපදින්නේ ද දුගතියකය. එමනිසා අනන්ත කාලයක් රුදුගොර සසරේ දුක් විඳින්නට සිදුවේ. කුසල් දහම් කරගෙන සසර කෙටිකර ගන්නට වාසනාව උදා නොවේ.

එම නිසා, අපගේ ඉන්ද්‍රියයන්ට ගොදුරුවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ සිතුවිලි ධර්ම යන මෙම අරමුණු ගැන ඇලීමක් හෝ ගැටීමක් ඇති කර නොගෙන, පසිඳුරන් හා ඒවාට ගොදුරුවන අරමුණු අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යනුවෙන් යථාර්ථය අවබෝධ කරගන්නට උත්සාහ ගනිමු. මේ සඳහා ඔබගේ ප්‍රයෝජනය පිණිස උදාහරණ දෙකක් ඉදිරිපත් කරමි.

ගෞතම බුදු පියාණන්ගෙන් කමටහන් ලබාගෙන විදර්ශනා භාවනා වඩා චක්ඛුපාල තෙරණුවෝ රහත් වූහ. එහෙත් එතුමා පෙර භවයක දී අක්ෂි වෛද්‍යවරයකුව සිටියදී තමන්ට බොරු කියූ කාන්තාවකගෙන් පළිගැනීමට ඇයගේ ඇස් දෙක අන්ධ කළ පාපයේ විපාකයක් වශයෙන්, මෙම භවයේ දී රහත්වුවත් ඇස් දෙක අන්ධ විය. එම නිසා අපිද අන් අයගෙන් වරදක් සිදු වුවද පළිගැනීමේ පාපී චේතනාව දුරු කර ඔවුන්ට සමාව දෙන්නට පුරුදු වෙමු.

අනෙක් උදාහරණය මෙසේ ය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි සුමංගල නම් සිටුතුමා දිනක් අලුයම බුදුන් දකින්නට පිටත් වී මහ මඟ යන විට පාර අද්දර තිබූ අම්බලමක නිදා සිටි මිනිසකු දිටීය. ඔහුගේ දෙපාවල මඩ ද තැවරී තිබෙනු දුටු සිටුතුමා මොහු හිරු නැගෙද්දීත් නිදා සිටීම වරදකැයි පවසමින් එතැනින් ඉවත්ව ගියේ ය. ඇස් හැර බලා සිටුතුමා හඳුනාගත් එම පුද්ගලයා සුමංගල සිටුතුමා කෙරෙහි වෛරයක් ඇති කරගෙන ඔහුගෙන් පළිගන්නට තීරණය කර ගත්තේ ය. ඒ අනුව, සුමංගල සිටුවරයාගේ ගවගාලට හොරෙන් පැන හත්වාරයක් ගවයන්ගේ පාද කැපීය. එයිනුදු සිටුවරයා රිදවීමට, කෝප ගැන්වීමට නොහැකි වූ තැන සුමංගල සිටුවරයාගේ මාළිගාවට ගිනි තැබීය. මේ පාපකාරී පුද්ගලයා බලාපොරොත්තු වූ සේ සිටුවරයා රිදවීම එමගින්ද නොහැකි විය. අනතුරුව හේ සුමංගල සිටුවරයා විසින් මහත් ධනය යොදවා සකස්කර කාශ්‍යප බුදුරදුන්ට පූජා කරන ලද සුගන්ධ කුටියට ගිනි තැබීය.

එම සොරා විසින් කරන ලද එකද ක්‍රියාවක් නිසාවත් සුමංගල සිටුතුමා තම සිතේ තරහක්, ද්වේශයක්, වෛරයක් ඇති කරගත්තේ නැත. එයට හේතුව, කාශ්‍යප බුදුහිමියන්ගෙන් ඉගෙන ගත් ධර්මය අනුව ජීවිතය හැඩ ගසා ගත් නිසා ය. ඇස, කන ආදී ඉඳුරන් දමනය කරගත් නිසා ය. සිත සංවර කර ගත් නිසා ය. එමනිසා සිටුතුමා සොරාගෙන් පළිගත්තේ නැත. සිත විපිළිසර කර ගත්තේ නැත. එහෙත්, පළිගැනීමේ චේතනාවෙන් සොරා විසින් කරන ලද මහා පාප කර්මයන්ගේ විපාක වශයෙන් බොහෝ කලක් නිරයේ දුක්විඳ අනතුරුව සර්පයකුගේ හැඩය ඇති ප්‍රේතයකු වී ඉපදුනි. එම සත්වයාගේ සිරුර නිරන්තරයෙන් ගිනිගෙන දැවෙයි. තවමත් එසේ දුක් විඳියි. එම නිසා ඇස, කන ආදී ඉඳුරන්ට ගොදුරුවන අරමුණු වලින් සිත තුළ ඇලීම්, ගැටීම් ඇති කරනොගෙන සසර ගමන කෙටි කරගන්නට අදිටන් කර ගනිමු.