Print this Article


භික්ඛු සංඝස්ස - 09 මහණ කළේ පන්සලේ දේපළ ආරක්‍ෂා කර ගන්න ද ?

මහණ කළේ පන්සලේ දේපළ ආරක්‍ෂා කර ගන්න ද ?

පල්ලේබැද්දේ සෝම හිමි, සිය ගුරු හාමුදුරුවන්ට දක්වන්නේ අසීමිත ගෞරවයකි! කීකරු බවකි! යටත් පහත් කමකි! උන්වහන්සේ මෙතෙක් සිය ගුරු හාමුදුරුවන්ට මුහුණ දී අසුනක වාඩිගෙන නැත. අකීකරු ලෙස කතා කර නැත. පන්සලේ ඉන්න කිසිම ගිහියෙකුගේ වරදක් කියා නැත. හැමවිටම ක්‍රියා කළේ කිසිම කෙනෙකුගේ හිතක් නොරිදෙන පරිදිය. කරුණා සහගතවය

භික්ඛු සංඝස්ස වූ කලී මේ රටටම ආවේණික මහා බලවේගයකි. එය විටක ජාතික බලවේගයකි. විටෙක ආගමික බලවේගයකි. තවත් විටෙක සංස්කෘතික බලවේගයකි. මේ රට රක්නා හතර වරම් දෙවියන් මෙන්ම සොබා දහම ද භික්ඛු සංඝස්ස බලවේගයට අවනත ය.

රටේ නායකත්වය දැරුවේ රජතුමා වුව ද, එතුමා හැම දෙයක්ම කළේ ගරුතර මහ සංඝරත්නයේ අවසරය ලබා ය. සිංහල රාජාවලියට අයත් සෑම රජවරයකුම එසේ නො කළත්, දුටුගැමුණු වැනි ප්‍රතාපවත් රජවරු එම ප්‍රතිපත්තියේ පිහිටා ක්‍රියා කළ බව අපට මහවංශය කියා පායි. මහා සංඝරත්නය අපේ මුදුන් මල්කඩ වූ බව මේ අතීත කතා වලින් මනාව සනාථ වේ.

“මළයා හාමුදුරුවන්ට කියන්න හාමිනේ මින්පසු අපේ ගෙදර එනකොට කලින් දන්නලා එන්න කියලා”

“ ඇයි මොකට ද කලින් දන්වන්නේ ? “ මම අඩියක් පුඩියක් ගහලා ඉන්නකොට වැඩියාම, මට බැහැනේ හාමිනේ මලයා හාමුදුරුවන්ට වඳින්නවත්”

“අප්පුහාමි නොවැන්දට පාඩු වෙන එකක් නැහැ “

“සුවපත් වේවා! කියලා මමත් අහගන්න එපායැ හොඳ කටකින් “

“අප්පුහාමි ඉතින් කවදත් කරන්නේ පොඩි හාමුදුරුවන්ට සමච්චල් කරන එකනේ”

පල්ලේබැද්දේ මායාදුන්නාරාම විහාරය කලුගඟට ආසන්න රමණීය භූ®මියක පිහිටියේ ය. එය තරමක් විශාල, සීතාවක යුගයේ, මායාදුන්න රජතුමා විසින් කරවන ලද ඓතිහාසික සිද්ධස්ථානයකි. එය බොහෝ නිධන් වස්තූන්ගෙන් පොහොසත් පින් බිමකි. පෘතුගීසි ප්‍රහාරයන්ට ද ගොදුරුවී තිබේ. අක්කර තුන හතරක පොල් සහ රබර් වතු මෙම විහාරස්ථානයට අයත් වුව ද, විහාර කාර්යයන් සඳහා එහි වැඩ වාසය කරන්නේ ලොකු හාමුදුරුවන් සහ අලුත මහණවූ පොඩි හාමුදුරුවන් පමණි.

“එක අතකින් බැලුවාම ඔය මහා විශාල පන්සලේ වැඩකටයුතු පොඩි හාමුදුරුවෝ කොහොම කරගන්නද මන්දා!”

“පොඩි හාමුදුරුවෝ කොහොම හරි කර ගන්නවා නැතැයි”

“දායක සභාවේ උප සභාපති මම නිසා මටත් අයිතියක් තියෙනවා මායාදුන්නාරාමයේ වැඩකටයුතු ගැන සොයා බලන්න.”

“පිස්සු! දායක සභාවක් දැන් නෑ කියන්නේ පන්සලට ? “

කව්ද කියන්නේ ! “

“දායක සභාව අවුරුදු දෙකකින් විතර රැස්වෙලා නැතිලු”

“ඉතින් “

“ එහෙව් කොට අප්පුහාමි, කොහෙද දායක සභාවක් තියෙන්නේ ?”

“දායක සභාවේ රැස්වීමක් පැවැත්වුනේ නැතිවුනාට මම ඉන්නවා දායක සභාවේ උප සභාපති පුටුවේ! “

“( සාවඥ හිනාවෙන් ) දන්නවාද අපේ පොඩි හාමුදුරුවෝ, ලොකු හාමුදුරුවන්ගෙ අවසරය ලබා ගෙන ඇති බව, අලුත් දායක සභාවක් පිහිටුවන්නට! “

“ එහෙනම් හාමිනේ ඒ දායක සභාවේ සභාපති වශයෙන් මාව පත් කරන්නැයි කියන්නකෝ!”

ගමේ තුණුරුවන් වැඩ සිටින තැන ගමේ විහාරස්ථානය ය. හැම විහාරස්ථානයකම දායක සභාවක් ඇතත්, බොහෝ දායක සභා හරිහැටි ක්‍රියාත්මක නොවීමේ හේතුවෙන්, ඇතැම්විට ඒ ඒ විහාරස්ථානයන්හි සංවර්ධන කටයුතු අඩාලව පවතී. ගමක විහාරස්ථාන දායක සභාවේ, ඉහළ නිලතල ආදියට, හතර පේරුවේ වැඩිහිටි අයම පත්විය යුතු බවට, මතයක් පවතී. මේ නිසා වැඩි හරියක් දායක සභාවල උසස් නිලතල ආදියට පත්වී සිටින්නේ වයසක, යමක් කර කියාගත නොහැකි ගම්වල ප්‍රභූවරුය. මොවුන් දරන්නේ යල් පැන ගිය බමුණු අදහස් යැයි, දායක සභාව තුළ ගැටුම් ඇතිවීම වළක්වාලීම අසීරු ය. පල්ලේබැද්දේ විහාරස්ථානයේ පවතින්නේද එම තත්ත්වය ය.

පල්ලේබැද්දේ සෝම හිමි, සිය ගුරු හාමුදුරුවන්ට දක්වන්නේ අසීමිත ගෞරවයකි! කීකරු බවකි ! යටත් පහත් කමකි ! උන්වහන්සේ මෙතෙක් සිය ගුරු හාමුදුරුවන්ට මුහුණ දී අසුනක වාඩිගෙන නැත. අකීකරු ලෙස කතා කර නැත. පන්සලේ ඉන්න කිසිම ගිහියෙකුගේ වරදක් කියා නැත. හැමවිටම ක්‍රියා කළේ කිසිම කෙනෙකුගේ හිතක් නොරිදෙන පරිදිය. කරුණා සහගතවය. ලොකු හාමුදුරුවෝ සිතා සිටින අන්දමට පන්සලේ දේපොළ රකින්න තමා සූදානම් නැති බවක් හෝ සෝම හිමි තාම ගුරු හාමුදුරුවන් සමඟ පවසා නැත.

ගුරු හාමුදුරුවන් වන පූජ්‍ය පල්ලේබැද්දේ සුමනවංශ ලොකු හාමුදුරුවන්ට, දැන් සුවච කීකරු ගෝල නමක් සිටී. මේ ගෝල නම මහණ කරවා ගන්නා ලද්දේ පන්සලට අයත් වතු පිටි දේපොළ ආරක්‍ෂා කර ගැනීම සඳහා වුවත්, ගුරු හාමුදුරුවන් දැන් සිටින්නේ එවැනි රාජකාරියක් ගෝල නමට පැවරීමට අකමැත්තෙනි.

“කොහොමද ලොකු හාමුදුරුවනේ අපේ හාමුදුරුවෝ එහෙම ? හොඳද ?” ලොකු හාමුදුරුවන් වෙතින් හාමිනේ විමසුවාය !

“පොඩි හාමුදුරුවෝ නම් හාමිනේ හොඳටම හොඳයි! කියන්න කිසිම වරදක් නැහැ! මටත් කීකරුව ඉන්නවා හොඳින්”

“පන්සලේ දේපොළ ආරක්ෂා කිරීම කෙරෙහි උනන්දුවක් දක්වනව ද ? “

“මට බයයි හාමිනේ ඔය දේපොළ බූදල් ගැන පොඩි හාමුදුරුවන්ගේ හිතට දමන්න! “

“ඇයි අපේ හාමුදුරුවෙන් ? “

“තව ටික දවසකින් ඔහොම ගියාදෙන්කෝ!

මතු සම්බන්ධයි


භික්ඛු සංඝස්ස - 08 මං කැමැතියි සිල් සුවඳ පැතිරෙනවා දකින්න