Print this Article


නාවලපිටිය ශ්‍රී කවීශ්වර වේළුවනාරාම විහාරය

නාවලපිටිය ශ්‍රී කවීශ්වර වේළුවනාරාම විහාරය


විහාරාධිපති හකිරිල්ලේ ධම්මාලංකාර
නා හිමි

එක් පැත්තකින් ශ්‍රී පාද අඩවියෙන්ද අනෙක් පැත්තෙන් රක්ෂාව කඳුවැටියෙන්ද සැදුම්ලත්, තවත් පැත්තකින් මහවැලි නදිය ගලා බසින මධ්‍යම පළාතේ නාවලපිටිය නගරයේ කඳු මුදුනක පිහිටි පැරැණි ශ්‍රී කවීශ්වර වේළුවනාරාම විහාරය සිත් සනසන පුද බිමකි. විහාරස්ථානයේ ඉතිහාසය 1920 වර්ෂය දක්වා දිවයයි.

සද්ධර්ම වාගීශ්වර ආභිධම්මිකාචාර්ය ඇම්.යූ. ශ්‍රී කවීශ්වර නායක හිමියන් විසින් නාවලපිටිය ජනතාවගේ ආගමික කටයුතු නිසි ලෙස ඉටුකර දීමේ අභිලාෂයෙන් වේළුවනාරාම විහාරය ආරම්භ කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස අද අනුරුද්ධ ජාතික පාසලත් ශ්‍රී සුගත ධර්මෝදය දහම් පාසලත් කවිශ්වර පුස්තකාලයත් බෞද්ධ දරු දැරියන්ගේ නැණැස පාදන තක්සලාවන් බවට පත්ව ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ ආරම්භ කළ ප්‍රථම දහම් පාසල ලෙස ශ්‍රී සුගත ධර්මෝදය දහම් පාසල ඉතිහාසගත වේ.

කවීශ්වර නායක හිමියන් කන්ද උඩරට ජනතාවගේ දහම් පිපාසය සංසිඳවාලීම සඳහා ආරම්භ කළ මෙම විහාරස්ථානය දිනෙන් දින දියුණුවීම සැමගේ සිත් පහන්වීමට හේතුවක්ව ඇත. උන්වහන්සේ විහාරස්ථානයේ වැඩ වසමින් මහත් වූ ආගමික, සාමාජික මෙහෙවරකට උරදෙමින් සිට 1968 මැයි 22 වැනිදා අපවත් වූ සේක.

ඉන්පසු මීපිටිය අශෝකාරාමාධිපතිව වැඩ විසූ බෙලිගල්ලේ පඤ්ඤානන්ද නා හිමියෝ විහාරාධිපති ධුරයට පත්වූහ. ඉන්පසු ගම්පල සුමනවංශ නාහිමියන් සහ සුගතවංශ නා හිමියන් විසින් ද විහාරාධිපති ධුරය හොබවන ලදී. 1994 වර්ෂයේ සිට ශ්‍රී ලංකා ශ්වේජින් මහානිකායේ කාරක සංඝ සභික ත්‍රිපිටකවේදී, ශාස්ත්‍රපති, සමස්ත ලංකා සාමවිනිසුරු ශ්‍රී කවීශ්වර පණ්ඩිත හකිරිල්ලේ ධම්මාලංකාර නායක හිමියෝ විහාරාධිපති ධුරයේ කටයුතු කරති.

අද වන විට නාවලපිටිය ආසනයේ ප්‍රධානතම විහාරස්ථානයක් බවට මේ විහාරය පත් ව ඇත. දැනට මහා සංඝරත්නය දොළොස් නමක් පමණ වැඩ වාසය කරති. පළාතේ ආගමික, සංස්කෘතික හා සාමාජික සියලු සද් කටයුතු වලදී උන්වහන්සේ වෙතින් ලැබෙන්නේ මහා පිටිවහලකි. විහාරස්ථානය ඇසුරෙහි සමිති සමාගම් රාශියක් පවත්වාගෙන යනු ලබන අතර එමඟින් සංවිධානය කෙරෙන ශ්‍රමදාන වැඩසටහන් ඇතුළු විවිධ යහකටයුතු ඔස්සේ විශාල සේවයක් ගම්වාසීන්ට සැලැසේ. තරුණ බෞද්ධ සමිතිය, ශාන්ත බුදුමඟ සංවිධානය, වේළුවනාරාම විහාරස්ථ කාර්ය සාධක සමිතිය, සංඝමිත්තා කුලඟන සමිතිය, ශ්‍රී කවීශ්වර තරුණ සංවිධානය, නාවලපිටිය රණවිරු සංසදය, ශ්‍රී කවීශ්වර අවමංගල්‍යධාර සුබ සාධක සමිතිය සහ වේළුවනාරාම සංවර්ධන අරමුදල ආදිය විහාරස්ථ සංවිධාන සහ සමිති අතර ප්‍රමුඛ වේ.

විහාරස්ථානයක තිබිය යුතු විහාරාංග මැනැවින් ගොඩනංවා සම්පූර්ණ කර තිබේ. ඉඩපහසුකම් සහිත ධර්ම ශාලාව, බෝධිමළුව හා ප්‍රාකාරය, විහාර මන්දිරය, ධාතු මන්දිරය, දාන ශාලාව සහ සංඝාවාසය ආදි විහාරාංග ඉදිකරනු ලැබ ඇත. චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදි කිරීම සඳහා ඉඩමක් මිලට ගෙන ගොඩනැඟීමේ කටයුතු කර ගෙන යනු ලැබේ.

විහාරාධිපති හිමියන්ගේ අනුශාසකත්වයෙන් යුතුව, ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවගේ ජීවිත සදහම් ඇසුරෙන් වඩාත් අර්ථවත් කරනු උදෙසා ආගමික වැඩසටහන් රැසක් මෙම විහාරස්ථානයේ පැවැත් වේ. මාසික ශිලභාවනා වැඩසටහන්, සෑම සෙනසුරාදාවකම පැවැත්වෙන බෝධි පූජා, සෑම ඉරිදා දිනකම පවත්වනු ලබන භාවනා වැඩසටහන් ඇතුළු ආගමික වැඩසටහන් රැසකි. එසේම සෑම වර්ෂයකම වස් පින්කම් සහ වෙසක් වැඩසටහන් මහත් ජන සහභාගිත්වයෙන් සිදු කෙරෙන අතර ඇම්.යු. ශ්‍රී කවීශ්වර නා හිමි ගුණානුස්මරණ පින්කම ද සුවිශේෂයි. නා හිමි ගුණානුස්මරණ එම පින්කම සඳහා ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ධර්ම දේශකයන් වහන්සේ වැඩමවා දම් දෙසුම් ද පවත්වනු ලැබේ.

සෑම වර්ෂයකම දඹදිව වන්දනා චාරිකා සහ මෙරට ඓතිහාසික සිද්ධස්ථාන වෙත වන්දනා චාරිකා සංවිධානය කිරීමද සිදුවේ. ශ්‍රී මහා බෝ සමිඳුන්ට නෙළුම් මල් පූජා කිරීමේ පින්කමද මේ අතර ප්‍රධානය. එළැඹි මැයි මාසයේ 04 සහ 05 වැනි දිනයන්හි ධාතු ප්‍රදර්ශන පින්කමක්ද සිදු කිරීමට කටයුතු සංවිධානය කර තිබේ. මෙබඳු වූ ලෝ සසුන් මෙහෙවරක නියැළෙන ශ්‍රී කවීශ්වර වේළුවනාරාම විහාරය අද වන විට ලක්දිව පරසිදු විහාරස්ථානයක් බවට පත්ව තිබීම සියල්ලන්ගේ පී‍්‍රතියට හේතුවන්නකි.