Print this Article


සම්බුදු දහමෙන් සැනසීම ලබමු

සම්බුදු දහමෙන් සැනසීම ලබමු

ඇතැම් විට ඇතැම් දරුවන් ස්වකීය මවුපිය දෙදෙනාට මහත් ගෞරවයෙන් උපහාර දැක්වුවද ඒ මවුපිය දෙදෙනා පිළිබඳ සැබෑ ගෞරවය, පූජනීයත්වය පිළිබඳ යම් අර්ථාන්විත වැටහීමක් උදාවනුයේ ඒ උත්තරීතර මවුපිය පදවියට තමනුත් පත් වූ විට විය හැකිය. එසේ නොවේනම් ඒ මව්පිය දෙදෙනාගේ ජීවිත අනිත්‍යතාවයට පත්වීමට ආසන්න වූ මොහොතක හෝ විය හැකිය.

බුදුදහම අගයන මනුෂ්‍යයා හැම විට කල්පනා කළ යුත්තේ ලොව පවතින සොබා දහමට නිසි අයුරෙන් මුහුණදෙන අතර, ජීවත් වන කෙටි කාලය තුළ මවුපියවරුන් ලෙස දරුවන්ටත්, දරුවන් ලෙස මව්පියවරුන්ටත් සමාජයේ සාමාජිකයන් ලෙස සමාජයටත් තමන් ගෞරවණීයත්වයෙන් අනුගමනය කරනු ලබන සමයටත් තමා වෙතින් ඉටු විය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමට කටයුතු කිරීම මූලික වගකීමක් ලෙස කල්පනා කළ යුතුය.

එසේ සිය වගකීම් මනා ලෙස ඉටු නොකිරීමෙන් මනුෂ්‍යයා ආධ්‍යාත්මික වශයෙන් යම් පරිහානියකට පත්වීම ද කිසිවිටෙක වැළැක්විය නොහැකිය.

සතුට මනුෂ්‍යයාට මහත් ධනයකි. එහෙත් එය ලඟා කරගැනීමට, නිරතුරුව උත්සාහ කළ යුතු අතර මිල මුදල් තිබූ පමණින් හෝ සතුට උදාකර ගත හැකි නොවේ.

මහත් සතුටක් ලද මොහොතක පවා ඉතා සුළු නිමේශයකින් දුකක්, වේදනාවක් ජීවිතයකට උරුමවීමද නොවැළැක්විය හැකිය. එය ලොව පවතින ස්වභාවය ලෙස බුද්ධිමත් මනුෂ්‍යයා කල්පනා කරන්නේ නම් ඊට අසහනයට පත් නොවී යථාර්ථයට මුහුණදීමට තරම් ඤාණවන්තව ක්‍රියා කරනු ඇත.

කවර තරාතිරමක අයෙකුට වුවද අසිරිමත් බුදුසිරිත මෙනෙහි කිරීමෙන් ම පමණක් වුවද ජීවිතයක උදාවන දුක්‍ඛ දෝමනස්සයන් පහසුවෙන් මග හරවා ගැනීමට මහෝපකාරි වනු ඇත.බෞද්ධයකු වූ පමණින් නොව බොදු ප්‍රතිපදාවට තම ජීවිතය යොමු කරගැනීමෙන් සසර පුරා ඇවිදින මේ ජීවිතයේදීම ජීවිතයක ඇති අස්ථීර බව පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත හැකි වේ.

ජීවිතයක අභිවෘද්ධියක්, සැනසීමක් ලබන්නට යම් බලවත් අධිෂ්ඨානයක්ද අත්‍යවශ්‍යයි. එසේ අධිෂ්ඨානයේ බලවත් ලෙස පිහිටා ක්‍රියා කිරීමෙන් තම තමන් ගේ අභිප්‍රායන් කෙරෙහි ලඟාවීමට එය පහසු ක්‍රියා මාර්ගයක් වනු ඇත. අධිෂ්ඨානය මෙන්ම උත්සාහයද යෙදවීමෙන් එය වඩාත් සාර්ථකත්වයට පත් වනු ඇත.

අසනීපයෙන් තොරව යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වා ගෙන යාමෙන් සතුටු විය හැක්කේද තමාටමය. ලෙඩ දුක් බහුල වන ආහාරපානාදියෙන් වැළකී යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වා ගෙන යාමත් පරම ලාභයකි.

භෞතික සැප සම්පත් නිසි අයුරෙන් මෙහෙයවා මනුෂ්‍ය ජීවිතයේදී සතුට උදාකර ගැනීමට බුද්ධිය මෙහෙය විය යුතුවේ.එමෙන්ම කවර ස්ථානයක කටයුතු කළද, ඉතා විශ්වාසයෙන් ක්‍රියාකිරීමෙන් ගොඩ නැගෙන සබඳතාවය පරම ඤාතියෙකු වැනිය. එබැවින් විශ්වාසය ගොඩ නගා ගනිමින් කටයුතු කිරීමද ජීවිත අභිවෘද්ධියට නිරන්තරයෙන් බලපාන ප්‍රධාන සාධකයක් වේ.

මේ අයුරෙන් සම්බුදු දහමට අනුව ප්‍රායෝගිකව මනුෂ්‍යයා ස්වකීය ජීවිතය ගත කිරීමට පෙළඹෙන්නේ නම් ඔහුගේ බලාපොරොත්තු සාර්ථක වන බව නිසැකය.

ජීවිතය පිළිබඳ යම් ගැඹුරු අවබෝධයක් ලැබීමට ධර්මානුකූල ජීවිතයක්ම ගත කළ යුතුව ඇත. එසේ නොවන්නේ නම දුර්ලභව ලබා ගත් මිනිසත් භාවයෙන් උපරිම ඵල නෙලා ගත හැකි නොවේ.