Print this Article


ලොවට අනුත්තර වූ මුණිවරු

ලොවට අනුත්තර වූ මුණිවරු

ලොවට අනුත්තර පින්කෙත වූ අග්‍ර වූ ශ්‍රාවක චරිත ගැනත් පහදින්නට ඕන. ගුණ නුවණින් අග්‍ර වූ උතුමන් කෙරෙහි දන් පැන් පිදුවොත් අග්‍ර වූ පින් වැඩෙනවා. එහි විපාක වශයෙන් අග්‍ර වූ ආයු, වර්ණ, යස, කීර්ති , කාය බලය, ඤාණය ලැබෙනවා. අග්‍ර වූ උතුªමන්ට දන් පුදන, අග්‍ර වූ ධර්මය කෙරෙහි සිත සමාහිත කරගෙන සිටින නුවණැති සත්පුරුෂයා දෙවියන් අතරට ගියත්, මිනිස් ලොවට ආවත් අග්‍රස්ථානයේ වැජඹි සතුටු වෙනවා

අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේගේ පහළවීමත් සමඟ ලොවට උතුම් පින්කෙත වූ ශ්‍රාවක සඟරුවන ලෝකයේ පහළ වුණා. අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භ වූ සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගෙන් ශෝභා මත් වූ අෂ්ඨාර්ය පුද්ගල ඒ ශ්‍රාවක සංඝරත්නය අප ‘සංඝං සරණං ගච්ඡාමි’ කියා ගෞරවයෙන් සරණ යන්නේ. තමන් වහන්සේගේ ශ්‍රාවක පුතුන් වූ ඒ සඟරුවන ගැන භාග්‍යවතුන් වහන්සේ අග්ගප්පසාද සූත්‍රයේදී මෙසේ වදාළා. ‘පින්වත් මහණෙනි, ලෝකයේ යම්තාක් පිරිස් වේවා, ජන සමූහයක් වේවා, මේ තථාගත ශ්‍රාවක සඟරුවනමයි ඒ සියලු පිරිස්වලට වඩා අග්‍ර වන්නේ.

උන්වහන්සේලා උතුම් පුද්ගල යුගල වශයෙන් හතරක් වෙනවා. වෙන් වෙන් වශයෙන් උතුම් පුරුෂ පුද්ගලයෝ අට දෙනයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සඟරුවන දුර සිට දන් පැන් ගෙනවුත් පිදීමට තරම් ගුණවත් නිසා ආහුණෙය්‍ය යි. ආගන්තුක සත්කාර කිරීමට තරම් ගුණවත් නිසා පාහුණ්‍යෙය යි. පින් සලකාගෙන දන් පැන් පිදීමට තරම් ගුණවත් නිසා දක්ඛිණෙය්‍ය යි. වැඳුම් පිදුම් කිරීමට තරම් ගුණවත් නිසා අංජලිකරණීය යි. යම් කෙනෙක් ශ්‍රාවක උතුමන් කෙරෙහි පැහැදුණේනම් ඔවුන් පැහැදි අග්‍ර වූ පිරිසකට යි. අග්‍ර වූ පිරිසකට පැහැදුණු විට අග්‍ර වූ සැප විපාක ලැබෙනවා.

ලොවට අනුත්තර පින්කෙත වූ අග්‍ර වූ ශ්‍රාවක චරිත ගැනත් පහදින්නට ඕන. ගුණ නුවණින් අග්‍ර වූ උතුමන් කෙරෙහි දන් පැන් පිදුවොත් අග්‍ර වූ පින් වැඩෙනවා. එහි විපාක වශයෙන් අග්‍ර වූ ආයු, වර්ණ, යස, කීර්ති , කාය බලය, ඤාණය ලැබෙනවා. අග්‍ර වූ උතුමන්ට දන් පුදන, අග්‍ර වූ ධර්මය කෙරෙහි සිත සමාහිත කරගෙන සිටින නුවණැති සත්පුරුෂයා දෙවියන් අතරට ගියත්, මිනිස් ලොවට ආවත් අග්‍රස්ථානයේ වැජඹි සතුටු වෙනවා.

ලොවට උතුම් පින්කෙත වූ ඒ සිල්වත් ගුණවත් ශ්‍රාවක සඟරුවන ඇසුරේ ශ්‍රද්ධාවන්ත ගිහි ශ්‍රාවකයන්ට බොහෝ පින් රැස් කර ගත හැකි බව භාග්‍යවතුන් වහන්සේ අංගුත්තර නිකායේ කුල සූත්‍රයේ දී පෙන්වා වදාළා. එහිදී උන්වහන්සේ වදාළා ‘පින්වත් මහණෙනි, යම් ප්‍රදේශයක සිල්වත් වූ පැවිද්දන් වාසය කරනවා ද, ඒ ප්‍රදේශයේ ජීවත්වන අප පස් ආකාරයකින් බොහෝ පින් රැස් කර ගන්නවා.

පින්වත් මහණෙනි, ඒ සිල්වත් වූ පැවිදි ශ්‍රාවකයන් දැක යම් කෙනෙක් සිත පහදවාගනිත්ද ඒ මොහොතේ සුගතිගාමි ප්‍රතිපදාවක් පුරුදු කරන්නේ.

පින්වත් මහණෙනි, ඒ සිල්වත් වූ පැවිදි ශ්‍රාවකයන් දැක මිනිසුන් ආසනවලින් නැගිටියි නම් වන්දනාමාන කරයිනම්, අසුන් පනවයි නම් ඒ මොහොතේ ඔවුන් උසස් කුලයක උපදින ප්‍රතිපදාවකුයි පුරුදු කරන්නේ.

පින්වත් මහණෙනි ඒ සිල්වත් වූ පැවිදි ශ්‍රාවකයන් උදෙසා දන්පැන් පූජා කරන්නට පරිත්‍යාගශීලී චේතනාවක් ඇතිකර ගනියිද, ඒ මොහොතේ ඔවුන් මහේශාක්‍ය බව පිණිස පවතින ප්‍රතිපදාවකුයි පුරුදු කරන්නේ.

පින්වත් මහණෙනි, ඒ සිල්වත් වූ පැවිදි ශ්‍රාවකයින් උදෙසා මිනිසුන් තමන්ට හැකි ආකාරයෙන් දන්පැන් පූජා කරයි ද, ඒ මොහොතේ මහත් වූ භෝග සම්පත් උපදින ප්‍රතිපදාවකුයි පුරුදු කරන්නේ.

පින්වත් මහණෙනි, ඒ සිල්වත් වූ පැවිදි ශ්‍රාවකයින් සමඟ මිනිසුන් ධර්මය සාකච්ඡා කරයි ද ධර්මය ශ්‍රවණය කරයි ද, ඒ මොහොතේ මහ ප්‍රඥාව ලැබීම පිණිස පවතින ප්‍රතිපදාවකුයි පුරුදු කරන්නේ.

පින්වත්නි, මේ ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟ රුවන නිසා අපේ ජීවිත වලට බොහෝ කල් යහපත පිණිස, සැපත පිණිස ධර්මාවබෝධය පිණිස උපකාරි වන පින් රැස්කර ගන්න පුළුවන්.

තවත් වරක භාග්‍යවතුන් වහන්සේගේ තථාගත හදමඬලේ උපන් ඒ අරහත් මුණිවරු ගැන මෙසේ වදාළා. පින්වත් මහණෙනි යම්තාක් සත්ව සන්නිවාස ඇත්ද, භවාග්‍ර ඇත්ද, ඒ තාක් ලෝකයෙහි අග්‍ර වන්නේ ශ්‍රේෂ්ඨ වන්නේ රහතන් වහන්සේලා ය. වීතරාගි, වීතදෝෂි, වීතමෝහි නිකෙලෙස් චිත්ත සන්තානයන් දරා වැඩ සිටි ඒ උත්තම අරහත් මුනිවරුන් ගැන භාග්‍යවතුන් වහන්සේ මේ සුන්දර ගාථාවන් වදාළා.

සුඛිනෝ වත අරහන්තෝ - තණ්හා තේසං න විජ්ජති
අස්මිමානෝ සමුවිජන්නෝ - මෝහජාලං පදාලිතං

ඒකාන්තයෙන්ම රහතන් වහන්සේලා තමයි සුව සේ ඉන්නෙ. උන්වන්සේලා තුළ තණ්හාවක් නැහැ. “මම වෙමි’’ යි යන අස්මිමානය මුලින්ම සිඳලයි ඉන්නේ. මෝහය නමැති දැල පලා දමලයි ඉන්නේ.

අනේජං තේ අනුප්පත්තා - චිත්තං තේසං අනාවිලං
ලෝකේ අනුපලිත්තා තේ - බ්‍රහ්මභූතා අනාසවා

උන්වහන්සේලා තෘෂ්ණා රහිත වූ අරහත්වයට පත්වෙලයි ඉන්නේ. උන්වහන්සේලාගේ සිත කැළඹෙන්නේ නැහැ. උන්වහන්සේලා ලෝකය සමඟ තැවරෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨ තත්ත්වයට පත්වෙලයි ඉන්නේ. ආශ්‍රය රහිතවයි ඉන්නේ.

පඤ්චක්ඛන්ධේ පරිඤ්ඤාය - සත්තසද්ධම්මගෝචරා
පාසංසියා සප්පුරිසා - පුත්තා බුද්ධස්ස ඕරසා

පංච උපාදානස්කන්ධයන් පිරිසිඳ අවබෝධ කරලයි ඉන්නේ. හිරි ඔත්තප්ප ආදී සද්ධර්මයන් හතක් මුල් කරගෙනයි ඉන්නේ. උන්වහන්සේලා ප්‍රශංසාවට සුදුසුයි. සත්පුරුෂයි. බුදුරජාණන් වහන්සේගේ ළයෙහි උපන් පුතණුවන් වහන්සේලා යි.

සත්තරතනසම්පන්නා - තිසු සික්ඛාසු සික්ඛිතා
අනුවිවරන්ති මහාවීරා - පහීනහයභේරවා

බොජ්ඣංග ධර්ම නම් වූ මාණික්‍ය රත්න හතෙනුත් යුක්තයි. සීල, සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙන් හික්මිලයි ඉන්නේ. භය භේරවයන් ප්‍රහීණ වෙලා ඉන්න ඒ මහාවීරයන් වහන්සේලා නිදහස් සිතින් සැරිසරා වඩිනවා.

දසහංගේහි සම්පන්නා - මහානාගා සමාහිතා
ඒතේ ඛෝ සෙට්ඨා ලෝකස්මිං- තණ්හා තේසං න විජ්ජති

ආර්ය අෂ්ඨාංගික මාර්ගයත් සම්මා ඤාණය හා සම්මා ඤාණය හා සම්මා විමුක්තිය යන අංග දෙකත් කියන උතුම් අංග දහයෙන් සමන්විත යි. උන්වහන්සේලා මහා හස්ති රාජයන් වගෙයි. සමාහිත සිත් ඇතිව ඉන්නවා. මේ ලෝකය තුළ උන්වහන්සේලා මහා හස්ති රාජයන් වගෙයි. සමාහිත සිත් ඇතිව ඉන්නවා. මේ ලෝකය තුළ උන්වහන්සේලා තමයි ශ්‍රේෂ්ඨ. උන්වහන්සේලා තුළ තණ්හාවක් නැහැ.

අසෙඛඤාණං උප්පන්නං - අන්තිමෝයං සමුස්සයෝ
යෝ සාරෝ බ්‍රහ්මචරියස්ස - තස්මිං අපරපවිචයා

අසේඛ හෙවත් අරහත් ඤාණය උපදවාගෙනයි ඉන්නේ. අන්තිම සිරුර තමයි මේ දරාගෙන ඉන්නේ. මේ බඹසර වාසයෙහි යම් අරමුණක් ඇද්ද ඒ අරහත්වය ලබාගෙන අන්‍ය උපකාර රහිතව වාසය කරනවා.

විධාසු න විකම්පන්ති - විප්පමුත්තා පුනබිභවා
දන්තභූමිං අනුප්පත්තා - තේ ලෝකේ විජිතාවිනෝ

සෙය්‍යමාන ආදි මානයන්ට කම්පනය වෙන්නේ නැහැ. පුනර්භවයෙන් මනා කොට නිදහස් වෙලයි ඉන්නේ. අරහත්වය නම් වූ දන්තභූ®මියට පත්වෙලයි ඉන්නේ. උන්වහන්සේලා තමයි ලෝකයෙහි මර සෙනඟ පරදවලා ජය අරගෙන ඉන්නේ.

උද්ධං තිරියං අපාචීනං - නන්දි තේසං න විජ්ජති
නදන්ති තේ සිහනාදං - බුද්ධා ලෝකේ අනුත්තරාති

උඩු අතට බැලුවත්, හරස් අතට බැලුවත් යටට බැලුවත් ඒ කිසි තැනෙක තණ්හාවක් උන්වහන්සේලා තුළ නැහැ. උන්වහන්සේලා සිහනාද පතුරන්නේ ‘’ලෝකයෙහි බුදුවරයන් වහන්සේලා උත්තරිතරයි’’ කියලා. (පඨම අරහන්ත සූත්‍රයෙන් - සං.නි.03)

ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩා සීල සමාධි ප්‍රඥා පරිපූර්ණ කරගෙන නිකෙළෙස් බවට පත් වූ ඒ රහතන් වහන්සේලාගේ ජීවිත කෙතරම් සුන්දර ද? සියලු කෙලෙසුන් නසා සනාතන පාරිශුද්ධත්වය ලබා ගත් ඒ මුනිවරුන්ගේ උත්තම ගුණ සමුදාය මොනතරම් අසිරිමත් ද? මිනිස් ලොව ඉපිද පියුමක් සේ සිල් ගුණ සුවඳින් තුන්ලොව සුවඳවත් කළ රහතන් වහන්සේලා ගැන ඇසීමට ලැබීම පවා දුර්ලභ වාසනාවක්. අසිරිමත් ප්‍රඥාාවෙන් හෙබි ගෞතම බුදුරජුන්ගේ සම්බුදු ප්‍රඥාවේ මහිමයෙන් තම ප්‍රඥාාව පුබුදුවා ගත් ඒ උත්තම මුනිවරුන් සරණ යන්නට ලැබීම පිළිබඳව සිත සිතා ඔබත් සතුටු වන්න. එය ඔබට බොහෝ කාලයක් යහපත පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස පවතීවි.

සටහන: නයනා නිල්මිණි