Print this Article


රුවන්වැලි මහා සෑ රදුන්ගේ සුදු පිරියම් කිරීමේ මහා පුණ්‍යකර්මය

රුවන්වැලි මහා සෑ රදුන්ගේ සුදු පිරියම් කිරීමේ මහා පුණ්‍යකර්මය

සත් රියනක් කැණ සුනු ගල්,රත්හිරිගල්, තඹ අතුරා සමින් මසන ලද පාවහන් දමා අලි ඇතුන් හා යෝධයින් ලවා ඝනව පවතිනසේ පාගවා චිරාත් කාලයක් පවතින සේ පාදම සාදවා රමණීය මහමෙව්නාවේ අතීත රජ දවස ඉදි කළ රුවන්මැලි මහා සෑය අදටත් ජනී ජනයාගේ ගෞරව බහුමානයට පාත්‍රව විරාජමානව වැඩසිටින්නේ සම්බුද්ධ ශාසනයේ තිර පැවැත්ම කියා පාමිනි.

ශ්‍රී මහා බෝධිය, මිරිසවැටිය, අභයගිරිය, ජේතවනය, ථූපාරාමය, ප්‍රධාන අනුරාධපුර පූජා භූමිය එදා දස දහස් ගණනින් මහ රහතන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් පිවිතුරු වූ භූ®මියකි. බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා නිධන් කර ඉදිකෙරුණ රුවන්වැලි සෑය මහා සංඝයා වහන්සේගේ රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ හා සුවහසක් බෞද්ධ ජනතාවගේ ගෞරවාදර බහුමානයෙන් යුක්තව මතු පරපුර උදෙසාද පණමෙන් රැක ගත යුතු පූජනීය වූ ස්ථානයකි.

ගෞතම බුද්ධ ශාසනයේ ශාසන අන්තර් ඥානයේදි ලොව පුරා ඇති ධාතුන් වහන්සේලා රුවන්වැලි මහාසෑය අභිමුඛයට එකතු වී නිර්මිත බුදුරුවක් මැවී අන්තර්දානය සිදුවන බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

මෙලෙස ගෞරවාදරයට පාත්‍රව රුවන්වැලි මහා සෑය එදා සිට අද දක්වා වසරක් පාසා සුදු පිරියම් කිරීමේ මහඟු පුණ්‍යකර්මය සිදු කෙරෙයි.

1940 වර්ෂයෙන් පසුව වර්ෂ දෙක තුනකට වරක් රුවන්මැලි මහා සෑය සුදු පිරියම් කිරීමේ කටයුතු සිදු කෙරුණි. 2000 වර්ෂයෙන් පසුව මේ දක්වා වසරක් පාසා නොකඩවා මෙම මහඟු කාර්ය සිදු කෙරෙන බව රුවන්වැලි චෛත්‍ය රාමාධිපති පල්ලේගම හේමරතන හිමිපාණන් පැවසූහ.

තවදුරටත් අදහස් දක්වන පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ සුදු පිරියම් කිරීම පිළිබඳ ව මෙසේ අදහස් දැක්වූහ. වර්තමානය වන විට මේ කටයුත්තට විශාල මුදලක් හා ශ්‍රමයක් වැයවෙනවා. ඇතැම් විට සැදැහැවත් බෞද්ධ දායකයින්ද මේ කටයුත්තට දායක වෙනවා. මහා භාරකාර දෙපාර්තමේන්තුව රුවන්මැලි මහාසෑයේ සුදුපිරිවම් කිරීම වෙනුවෙන් වෙනම අරමුදලක්ද පිහිටුවා තිබෙනවා. මෙම කටයුතු සඳහා දානපතියකු ඉදිරියටත් නොවුණහොත් මහා භාරකාර තුමා ඒ සියල්ල නොපිරිහෙලා ඉටුකරනවා.

ජනාධිපතිතුමන්ගේ සිට ගමේ දායකයා දක්වා වූ පිරිස මෙම මාහැගි කටයුත්තට නන් අයුරින් උපකාර කරන බව සිහිපත් කළ යුතුයි.

පෙර රජදවස මෙන් නොව අද මෙම කටයුත්ත සඳහා රුපියල් මිලියන 06 ක පමණ මුදලක් වැය කිරීමට සිදුව තිබේ. නිල් කුඩු හොන්ඩර 4 1/2 ත් –5 ත් අතර ප්‍රමාණයක් හුනුටොන් 10 ක් , ලුනුමිටි 25 ක් සීනි මිටි 03 ක් සව්හාල් මිටි 01 ක් ,කැකුලුහාල් මිටි 01 ක් උණ ගස් 700 ක් කොහුලණූ හොන්ඩර් 06 ක් අගල් පහේ නැව් කඹ මීටර් 115 ක්, අඟල් 1 1/2ක නැව් කඹ මීටර් 300 ක්, ඉනිමං වයර් දුසිම් 25 ක් , වැනි අමුද්‍රව්‍ය රැසක් මෙම කටයුත්ත සඳහා අවශ්‍ය බව හේමරතන නාහිමියෝ ප්‍රකාශ කළහ.

කොහු බේල් වලින් මේ සඳහාම විශේෂයෙන් සකසා ගන්නා පින්සල් සූදු ආලේප කිරීම සඳහා යොදා ගැනේ. තෝරාගත් පළපුරුද්ද ඇති ශ්‍රමිකයින් කණ්ඩායමක් මෙම කටයුතු සඳහා යොදා ගැනීම සිදු කරනු ලබයි. සෑම වසරකම දෙසැම්බර් අවසානයේ ජනවාරි මාසයේ මුල දී මහා සෑය සුදු පිරිවම් කිරීමට අවශ්‍ය සියලු ද්‍රව්‍ය එක් රැස් කිරීම සිදු කෙරේ. ජනවාරි මස ඇදහැලෙන වර්ෂාවෙන් පසුව මහාසෑය ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කෙරෙන අතර ඊළඟ ලැබෙන වර්ෂාවෙන් චෛත්‍ය සේදී ගිය පසු පළමුවර සුදු පිරියම් කිරීමේ කටයුත්ත ආරම්භ කරනු ලබයි.


රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නා හිමි

ස්වභාව ධර්මය සමග සම්බන්ධ කටයුත්තක් වන මෙම මා හැගි කටයුත්තේදී විශේෂයෙන් වර්ෂාව පතිතවන කාල රාමුව මත මෙම කටයුත්ත අවසන් වන දින වකවානු වලට එළඹෙන බව ද පල්ලේගම හේමරතන හිමිපාණන්ගේ අදහස වේ. පළමුවර සුදු පිරියම් කිරීමෙන් පසු ඇද හැලෙන වර්ෂාවෙන් මහාසෑය සේදී ගිය පසු යළි දෙවන වර ආලේප කිරීමේ කටයුතු ආරම්භ කෙරේ. දෙවන වර පිරියම් කිරීමෙන් පසු ගෞතම බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ වසන බුබ්බුලාකාර හැඩැති රුවන්මැලි මහා සෑය විරාජමානව අප නෙත් ඉදිරියේ වැඩ වසන්නේ නෙත ගැටෙන සැනින් සාදු සාදු සාදු යැයි සිත් පත්ලෙන්ම නැගෙන සර්ධාවට පාත්‍රවෙමිනි.

සාමාන්‍යයෙන් මාස 03 කට වැඩි කාල සීමාවක් සුදු පිරියම් කිරීමේ කටයුත්ත සඳහා වැයවන අතර ඇවැසි අයුරින් ඉනිමන් බැඳ එම කටයුත්තට මුල පිරීම ප්‍රධානතම භාරදුර කටයුත්ත ලෙස සැලකේ. මහාසෑයේ තිර පැවැත්මට අවැසි පරිදි විද්‍යාත්මක පදනමක් මත මෙම සියලු කටයුතු සිදු කිරීමද විශේෂත්වයකි.

කෙසේ හෝ සෑම වසරකම වෙසක් පොහොය දිනට පෙර රුවන්වැලි මහා සෑය ධවල වර්ණයෙන් බැබලවීම සිදු කෙරෙන්නේ එහි පැමිණෙන ලෝකවාසි බෞද්ධ ජනයාගේ බුද්ධාලම්බන පි‍්‍රතිය තව තවත් වඩවාලන අපේක්‍ෂාවෙනි.

මෙවර රුවන්වැලි මහා සෑයේ සුදු පිරියම් කිරීමේ මහඟු පින්කමෙහි දායකත්වල ලබා දී ඇත්තේ කොළඹ නගරයේ ව්‍යාපාරිකයෙකු වන මහීල් ශ්‍රීමන්ත මහදුරගේ මහතා විසිනි.

මෙවන් සුවිශේෂ වු මහත්ඵල මහානිසංස සහිත උතුම් පින්කමකට දායකවීමට ලැබීම මහත් භාග්‍යයක් වන්නා සේම එවන් විරල දානපතියන්ගෙන් මේ බිම තවමත් පොහොසත්ව තිබීම දේශය ලද භාග්‍යයකි.