Print this Article


ධර්ම ශ්‍රවණයට සිතේ සංවරය ඕනෑ

ධර්ම ශ්‍රවණයට සිතේ සංවරය ඕනෑ

ධර්ම දේශනාවක් පැවැත්වීමේ දී වගේම ධර්ම ශ්‍රවණය කිරීමද උතුම් පුණ්‍යකර්මයක්. ධර්ම ශ්‍රවණයේ දී අනුගමනය කළ යුතු පිළිවෙත් ඉතා වැදගත් වනවා.

බුදුරජාණන් වහන්සේ විසින් ධර්ම දේශනා පවත්වන ලද අවස්ථාවක ආනන්ද හිමියන් විසින් විමසන ලද ප්‍රශ්නයකට ලබාදුන් පිළිතුරු ගැන අප මඳක් අවධානය යොමු කර බැලිය යුතු වනවා.

‘ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ධර්මය දේශනා කරනු ලබන විට ශාලාවෙන් එළියේ සිටි කිහිප දෙනෙක් විවිධ ඉරියව් වලින් ධර්මය ශ්‍රවණය කළා.’ ‘එසේ ධර්මය ශ්‍රවණය කළ එක් පුද්ගලයෙක් ගසක අත්තක් සොලවමින් සිටියා. තවත් අයෙක් අහස දෙස බලාගෙන සිටියා. තවත් අයෙක් පොළොව හාරමින් සිටියා. තවත් අයෙක් නින්දේ පසු වුණා. අනෙක් පුද්ගලයා මැනවින් ධර්මය ශ්‍රවණය කළා.

බුදුරජාණන් වහන්සේ ඒ සඳහා බල පැවැත්වුණු හේතූන් ගෙනහැර දැක්වූවා. ඒ පුද්ගලයන් පූර්ව ගති ලක්‍ෂණ අනුවයි ධර්මය ශ්‍රවණය කෙළේ. මෙයින් අපට පෙනී යන්නේ පෙර කරන ලද ක්‍රමවේදයන් අනුව අද දවසෙ බොහෝ යහපත් කාර්යයන්ට අප යොමු කරවන බවයි. මේ නිසා අප යහපත් ගතිගුණ පුරුදු පුහුණු කර ගතහොත් ඉදිරියේ දී නැතිනම් මතු අත් භවයන්හිදී නැතිනම් හෙට දවසේ යහපත් ප්‍රතිඵල ලැබීමට හෙවත් හොඳින් කටයුතු කරන්න හැකි වෙනවා.

බුදුරජාණන් වහන්සේ විවිධ ඉරියව්වලින් ධර්ම ශ්‍රවණය කළ පුද්ගලයන් පිළිබඳව මෙසේ අදහස් දක්වා සිටියා. ‘පොළොව කණිමින් සිටියේ පෙර අත් භවයක ගැඩවිලෙක් බවත් අත්තක් සොලවමින් සිටියේ පෙර භවයක වඳුරකු බවත් අහස දෙස බලා සිටියේ පෙර අත් භවයක ඡ්‍යොතිර් විද්‍යාඥයකු බවත් හොඳින් නිදාගෙන සිටියේ පෙර අත් භවයක සර්පයකු බවත් හොඳින් ධර්ම ශ්‍රවණය කෙළේ සසර පුරාවට හොඳින් ධර්මය ඉගෙන ගෙන සසර පුරාවට හොඳ අධ්‍යාපනයක් ලද අයෙකු බව ය. ඒ සසර පුරුද්ද අදත් ඒ අයුරින්ම පවත්වාගෙන යන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

ඔබේ මෙවන් පූර්ව ගති ධර්ම ශ්‍රවණයකදී මතු වන්නට ඉඩ දෙන්න එපා. ඒ වගේම ධර්ම ශ්‍රවණ කරන පින්වතුන් ධර්ම දේශකයාණන් වහන්සේට ඉහළින් නොසිටිය යුතු වනවා. ඇතැම් අවස්ථාවක දෙමහල් නිවසක ධර්ම දේශනා පැවැත්වෙන විට ඉහළ මාලයට ගමන් කරන පඩි පෙළ මත අසුන් ගෙන ධර්මය ශ්‍රවණය කරනවා. එය බිම බව සැබෑ නමුත් ස්වාමීන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේට ඉහළින් සිටීම කිසිසේත් සුදුසු වන්නේ නැහැ. ඒ නිසා හැම විටම ධර්ම දේශකයාණන් වහන්සේට පහළින් ධර්මය ශ්‍රවණය කරන්නන් සිටිය යුතු වනවා. ඒ වගේම ආයතනවල, පාසල්වල තිබෙන ශ්‍රවණාගාර ආදියෙහි ධර්ම දේශනා කරන විට මේ ගැටලුව මතුවනවා. පහළින් ඇති වේදිකාවේ නැතිනම් මණ්ඩපයේ දර්ශන සැමටම නැරැඹිය හැකි ලෙසින් පසු පසට යන විට ආසන ඉහළ මට්ටමට (බැල්කනි) රැගෙන යනවා.

අත්‍යවශ්‍යම වූ විට වෙන කළ නොහැක්කක් නොමැතිව නම් එවන් ක්‍රියාදාමයක් සඳහා එළඹුණ ද එවැනි දේශනාවන් පටිගත කිරීමෙන් වැළැකීමට සිහි තබා ගත යුතු වනවා. ඉහළ අසුන්වල සිට ධර්මය ශ්‍රවණය කිරීමේ කලාවක් අපේ රටේ නැහැ. එවැනි සන්දර්ශන විදේශීය රටවල අය නරඹන විට අපගේ බුදු දහමට ලැබෙන්නේ එතරම් හොඳ ප්‍රතිචාර නොවෙයි.

එමෙන්ම ධර්ම ශ්‍රවණය කරන විට දේශකයාණන් වහන්සේගෙන් එකත්පස්ව සිටීම ඉතාම වැදගත්.

එකත්පස්ව සිටින්නේ කෙසේද? දේශකයාණන් වහන්සේට පිටුපසින් නොවෙයි. වඩාත්ම ඉදිරියෙනුත් නෙවෙයි. දකුණු පසිනුත් නෙවෙයි. වම් පසෙනුත් නෙවෙයි. උඩින් හෝ යටින් නෙවෙයි. ඉතාම සමීපව හෝ ඉතා දුරින් හෝ නෙවෙයි.

මේ අට ක්‍රමයෙන් වැළකීමට පුළුවන් නම් එය ඉතාම වැදගත් වනවා. සම්මුඛ පරීක්‍ෂණයකට ගිය විට පවා අප මේ අට ක්‍රමයෙන් ඈත්ව සිටීම ඉතාම වැදගත් වනවා.

ස්වාමීන් වහන්සේට හොඳින් දර්ශනය වන ස්ථානයක සිට ධර්මය ශ්‍රවණය කිරීමයි ඉතාම වැදගත් වන්නේ. ඇතැම් ධර්ම ශාලාවල දේශකයාණන් වහන්සේට ධර්මාසන සකස් කරන්නේ ධර්ම ශාලාව මැදට වන්නටයි. එවිට භික්‍ෂූන් වහන්සේට පසු පසින් සිටින ශ්‍රාවක පිරිසට ධර්මය දේශනා කරන්නේ කොහොමද?

අතීතයේ එවැනි ශාලා නිර්මාණය කළා. ඊට හේතුව එකල ශබ්ද විකාශන යන්ත්‍ර නොතිබීම නිසා කාටත් සමසේ ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබාදීමට යි. එහෙත් අද නවීනතම පහසුකම්වලින් සමන්විත ලෝකයක් තිබෙන්නේ ශබ්ද විකාශන යන්ත්‍ර තිබෙනවා. පහසුකම් වැඩියි. මේ නිසා එම පහසුකම් යොදාගෙන ධර්මය දේශනා කළ හැකියි. එහෙත් එම පහසුකම් අප අනිසි ලෙසින් යොදා ගැනීම අනුමත කරන්න බැහැ.

විහාරස්ථානයක ධර්ම දේශනාවක් පැවැත්වෙන විට පිරිස විහාරස්ථානයේ ගේට්ටුව ළඟ අසුන් ගෙන ධර්මය ශ්‍රවණය කරනවා. ධර්ම ශ්‍රවණයේ දී සමීප බවත් ඉතාම වැදගත් වනවා. දේශකයාණන් වහන්සේ නොපෙනෙන හඬ පමණක් ඇසෙන සීමාවේ සිට ධර්ම ශ්‍රවණය අනුමත කරන්නට බෑ. මේ සඳහා ජනතාව හැකි තරම් සමීප කළ හැකි ‘බෆල්’ ශබ්ද විකාශන යන්ත්‍ර පමණක් භාවිතා කිරීම වැදගත් වනවා.

මහා මාර්ග දිගේ ශබ්ද විකාශන යන්ත්‍ර සවි කර ධර්මය ශ්‍රවණය කිරීමට සැලැස්වීමත් අනුමත කරන්න බැහැ. විහාරස්ථානයට ගොස් ආගමික වතාවත් ඉටු කර ධර්මය ශ්‍රවණය කිරීමයි ඉතා වැදගත් වන්නේ.

නිවසේ සිටම ධර්මය ශ්‍රවණය කිරීමට ශබ්ද විකාශන යන්ත්‍ර යොදනවා නම් භික්‍ෂූන් වහන්සේ විහාරස්ථානයට වැඩම කරවිය යුතු නැහැ. ඒ සඳහා පටිගත කළ හඬ පටයක් එවීම පමණක් ප්‍රමාණවත් වනවා.

ක්‍රිකට් තරගයක් නැරැඹීමට යන ක්‍රීඩා ලෝලියකුට ඇතැමුන් පවසන්නේ ‘ඔයිට වඩා හොඳට ටීවී එකෙන් මැච් එක බලන්න පුළුවන්’ කියලා. ඒ තත්ත්වයම නම් ධර්ම දේශනාව තුළින් පවතින්නේ අප දකින බෞද්ධකම කුමක්ද? නිවසෙහි මස් මාංශකමින් අපිරිසුදු ඇඳුම් ඇඳගෙන එසේත් නැතිනම් ආහාර ගනිමින් ‘ෂෝ බණ ටික කියලා’ කීමෙන් පලක් වනවාද?

සිත සංවර කරගෙනයි ධර්මය ශ්‍රවණය කළ යුත්තේ. එමෙන්ම ධර්ම දේශකයාණන් වහන්සේත් මෙහිදී අනුගමනය කළයුතු වත් පිළිවෙත් කිහිපයක් තිබෙනවා. එයින් පළමුවැන්න කිසි විටක ‘ඇත්ත වශයෙන්ම’ යන වචන ධර්ම දේශනාවකදී භාවිතා නොකළ යුතු වනවා. පැය බාගයක් පමණ ධර්මය දේශනා කිරීමෙන් පසු ‘ඇත්ත වශයෙන්ම පින්වතුනි’ කියා කියවුණොත් එයින් ගම්‍ය වන්නේ ඊට පෙර දේශනා කළ සියල්ල අසත්‍ය (ඇත්ත නොවන) බවයි. ඒ වගේම දේශකයාණන් වහන්සේ කරුණු දහයක් කෙරෙහි අවධානය යොමු කළ යුතු වනවා.

ඉන් පළමුවැන්න උස් අසුන් වල සිටින අයට ධර්මය දේශනා නොකළ යුතු වීමය. උස් අසුන්වල මෙන්ම, පොල්ලක් දඬු මුගුරක් අතැතිව ඉන්නවද? සිටගෙන ඉන්නවද? යන්න ගැන අවධානය යොමු කළ යුතු වනවා. එමෙන්ම ධර්මාසනයෙන් දේශකයාණන් වහන්සේ ඉවත් විය යුත්තේ දේශනාව අවසන් වූ විට පමණයි. මේ කරුණ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අඩංගු වනවා.

මේ නිසා දස පුණ්‍ය ක්‍රියා තුළ අඩංගු ධර්ම ශ්‍රවණ කිරීමේ දී යමක් උකුලේ ඇතැයි සිතා ධර්මය ශ්‍රවණය කළ යුතු වනවා. උකුලේ ඇති දේ අමතක වුණොතින් සිදුවන්නේ කුමක්ද? ධර්මය ශ්‍රවණය කිරීමේදී අප එය අවධානයෙන් සිටිය යුත්තේ ඒ නිසයි.