Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මිලින්ද මොරගොඩ මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මකවන “උරුමයක උල්පත” සංකල්පය සම්බන්ධීකරණයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඓතිහාසික “ගිරිහඩුසෑය” පුදබිමට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව පිණිස දෙමහල් විශ්‍රාම ශාලාවක් ඉදිකෙරෙනු ඇත. ජෝන්කීල්ස් හෝල්ඩිං සමාගම හා ලංකා දුම්කොළ සමාගම එක්ව මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 6.5 ක මූල්‍ය පරිත්‍යාගයක් කර ඇති අතර, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත සිවිල් ආරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් මෙහි ඉදිකිරීම් කටයුතු කරනු ලබයි. අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නා හිමියන් හා “ගිරිහඩුසෑය” විහාරාධිපති දෙවිනුවර චන්දිම හිමියන්ගේ ආශිර්වාද මැද විශ්‍රාමශාලාව ඉදිකිරීමේ කටයුතු මාර්තු මස 16 වැනි දා සිදු කෙරිණි. “උරුමයක උල්පත” - ලේකම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කාර්යාලයේ අධ්‍යක්‍ෂක ආර්.ඒ.ඩී. සිරිසේන හා ත්‍රිකුණාමලය මහදිසාපති මේජර් ජෙනරාල් රංජිත් ද සිල්වා යන මහත්වරු මංගල පස්පිඩැල්ල කපන අයුරු ඡායාරූපයෙන් දිස්වේ.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචිත ‘’නමෝ බුද්ධාය’’ ග්‍රන්ථ මාලාවේ තුන්වැන්න ‘නමෝ බුද්ධාය – 3’ ග්‍රන්ථයේ මුල් පිටපත දයාවංශ ජයකොඩි සහ සමාගමේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී දයාවංශ ජයකොඩි මහතා උන්වහන්සේට පිළිගැන් වූ අයුරු. දමයන්ති ජයකොඩි මහත්මිය ද ඡායාරූපයේ වේ.

වියට්නාමයේ ථේරවාදී බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා කැපවීමෙන් ක්‍රියා කරන ථේරවාදී බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් සඳහා උන්වහන්සේගේ උදාර ආගමික මෙහෙවර ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ තිළිණයක් ප්‍රදානය කර ඇත. එම තිළිණිය රැගෙන ශ්‍රී ලංකාවේ විශේෂ නියෝජිතයින් ලෙස වියට්නාමයට වැඩම කළ ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් සහ වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහරගම මහින්ද යන හිමිවරුන් අතින් දකුණු වියට්නාමයේ පාත්භාවෝ විහාරාධිපති ආචාර්ය බ්‍රෝහින් හිමියන් වෙත එම තිළිණය ප්‍රදානය කළ අයුරු.

රටටත්, ලක්වැසි සැමටත්, ජනාධිපතිතුමන්ටත් ආශිර්වාද පිණිස කිරිඅම්මාවරුන් දහසක් වෙනුවෙන් කිරිදානමය පින්කමක් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි මහතා හා සියපත සහෘද සංසදය මෙහෙයවීමෙන් පසුගිය (09 දා) උදෑසන කැලණිය රජමහා විහාරය ඉදිරිපිටදී පැවැත්විණි. මෙම අවස්ථාවට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී නිර්මාල් රාජපක්‍ෂ යන මහත්වරු මෙහි වෙති.
ඡායාරූපය: කැලණිය සමූහ-එඩ්වඩ් වීරසිංහ