Print this Article


දායක පිරිසක් පන්සලෙන් ඈත් වේවි ද?

දායක පිරිසක් පන්සලෙන් ඈත් වේවි ද?

යහපත් කල්පනාව හැම විටම යහපත්ය. බුදුහාමුදුරුවෝ ද යමක් කළේ කල්පනා කොට බැලීමෙන් පසුව ය. උන්වහන්සේ ධර්මය ප්‍රචාරය කිරීම පැවරුවේ ගිහියන්ට නොව භික්ඛු සංඝස්සටය. ගිහියන් අතර යමක් කළ හැකි බලවත් රජ යුවරජවරු මැති ඇමති සිටු සෙනෙවිවරු සිටියහ. එහෙත් උන්වහන්සේ ධර්ම ප්‍රචාර පැවරුවේ මහා සංඝරත්නයටය

බුද්ධ චීවරය පෙරැවීම ඇත්ත වශයෙන්ම උත්තරීතර කාර්යයක් බව කලින්ද සඳහන් කළෙමු. “ මහණ කරවන්නේ හතර කේන්දරේ පාළුවූ අයය” යනුවෙන් මතයක් පරංගි කාලයේ පැතිර ගියත්, දැන් එවන් පුහු මත වහරන්නෝ නැත. හැබැයි එකක් කිව යුතුව ඇත. බුද්ධ චීවරය දරන්න නම්, පූරුවේ කළ පිනක් තිබිය යුතුය. සිවුර පොරවා සිට එය හැර යන්නේ ඇයි? එය දරන්න පිනක් නැති නිසාය. හිත දියුණු කරගත හැකි ධර්මය හැදෑරීමෙන් පමණය චීවරය පොරවා ධර්මය සමග ජීවත්විය යුත්තේ. එසේ ජීවත්වීමට අපොහොසත් වන්නේ සිත තුළ නොයෙක් කුණු කන්දල් ඇති නිසාය. එවැන්නන් සිවුරු හැර යාම අරුමයක් නොවේ.

පල්ලේබැද්දේ සෝම හිමි නිවසින් පිටත්ව ගියාට පසු,අප්පුහාමි එළියට බැස්සේය.

“කෝ ගියාද මස්සිනා හාමුදුරුවෝ ?

“ගියා”

“මොනවද කිව්වේ මා ගැන?”

“මොනා කියන්නද?”

“මගේ ගෙදර මං ඉන්නේ මට ඕනෑ විදිහට අඩියක් පුඩියක් ගහල මගේ ගෙදර මට ඕනැ කරන විදිහට ඉන්න නැත්නම්...”

“ලලිතා නංගිත් ඇහුවා අපේ තාත්තා වැනෙන්නේ මොකද කියලා ”

සම්මත පුතාට මං කියලා තියෙනව නේද වැඩිහිටියෝ කතා කරන තැන කට දිහා බලා ගෙන ඉන්න එපාය කියා?”

“මං හිතනනේ නෑ මලයා හාමුදුරුවී ආයෙමත් පය ගහයි කියාල බේබදු ගෙවල් වලට”

“එයා මහණ වෙන්න ගියෙත් බේබදු ගෙදර ඉඳලානේද? ”

අපේ රටේ භික්ඛුසංඝස්ස, සිය දීර්ඝ ඉතිහාසය තුළ වැඩියක් කළේ මිනිසා හැදීමය.සිය විමුක්තිය සොයා යාම පසෙකින් තබා මිනිසාට නුවණැස ලබා දීම, උන්වහන්සේලා අතින් සිදුවීම අනභිභවනීයය. දේවානම්පියතිස්ස රජ්‍ය සමයේ ඇරඹි සංඝ ශාසනය බැබලවූ මහා සංඝරත්නය පිළිබඳ එතරම් විස්තරයක් ඉතිහාස ගතව නැතත් මිහිඳු මහරහතන් වහන්සේ විසින් ස්ථාපිත කරන ලද බුද්ධාගම රුහුණු ,පිහිටි, හා මායා යන තුන් රට පුරා එතරම් ශීඝ්‍රයෙන් පැතිරී ගියේ භික්ෂූ සහයෝගය නොඅඩුව ලද නිසාය.

ජාතික වීරයෙක් වන දුටුගැමුණු රජු උපතට මුල්වූයේද භික්ෂුවකි. දුටුගැමුණු එලාර සමග සටන් වදින්නට ගියේද ගරුතර මහා සංඝයා සමගය. දුටුගැමුණු රාජ්‍ය සමය වන විට ලංකාවේ භික්ෂූන් ලක්‍ෂ සංඛ්‍යාතව වැඩ විසූ බව මහවංශය සඳහන් කරයි.

“හැබෑටම ලොකු හාමුදුරුවනේ ඇයි අපගේ පන්සලේ දායක සභාව දැන් රැස්වෙන්නේ නැත්තේ ? මම මහණ වී මේ පන්සලට ආවාට පසුව ඔය දායක සභාව රැස්වුණේ එකම එක වතාවයි”

“පොඩි නම අහන්නේ වැදගත් ප්‍රශ්නයක් !”

“පන්සලක් වුණාම ශක්තිමත් දායක සභාවක් තියෙන්නෙ එපායැ බලන්න අපේ මේ පන්සලේ මොන තරම් අඩුපාඩු තියෙනවද කියලා? “මට පේනවා අඩුපාඩු තියෙන බව මම ඉන්නේ කරගන්න දෙයක් නැතුව ”

“මට නං කරන්න පුළුවන් ලොකු හාමුදුරුවනේ හැබැයි ගම දෙකට බෙදිලා දායකයින් පිරිසක් පන්සලට නැතුව යනවා”

“ ඒක සුදුසු නෑ නේද? ගමේම දායක පිරිසක් පන්සලෙන් ඈත්වීම හරි නෑ නේද? “ශක්තිමත් දායක පිරිසක් පන්සලට ළං වෙනවා දුර්වල දායක පිරිසක් ඈත්වෙනවා”

“ළං වෙන්නේත් ඈත්වෙන්නෙත් අපේම දායකයෝ නේ පොඩි හාමුදුරුවනේ”

එසේ කියූ ලොකු හාමුදුරුවෝ,අතකින් පපුව පිරි මදිමින් කල්පනා කරන්ට වූහ.පොඩි හාමුදුරුවෝ ඉන් ඉවත් වූයේ ලොකු හාමුදුරුවන්ගේ කල්පනාවට බාධාවක් නොවන පරිදිය.

යහපත් කල්පනාව හැම විටම යහපත්ය. බුදුහාමුදුරුවෝ ද යමක් කළේ කල්පනා කොට බැලීමෙන් පසුව ය.

උන්වහන්සේ ධර්මය ප්‍රචාරය කිරීම පැවරුවේ ගිහියන්ට නොව භික්ඛු සංඝස්සටය. ගිහියන් අතර යමක් කළ හැකි බලවත් රජ යුවරජවරු මැති ඇමති සිටු සෙනෙවිවරු සිටියහ. එහෙත් උන්වහන්සේ ධර්ම ප්‍රචාර පැවරුවේ මහා සංඝරත්නයටය.

“මහණෙනි! බොහෝ දෙනාගේ් දියුණුව පිණිස, බොහෝ දෙනාගේ යහපත පිණිස ගම් නියම්ගම්හි හැසිරෙව්! දෙදෙනෙක් එක මග නොයව්! ”

එය එහෙම නම් පූජ්‍ය පල්ලේබැද්දේ සෝම හිමිට, සිය පන්සලේ දායක සභාවට හැම දෙනාටම වැදගත් ධර්මයක් දේශනා කිරීමට ඇද්ද යම් අවහිරයක් ඞ

“කවුද ලොකු හාමුදුරුවනේ දායක සභාවේ සභාපති “

“සභාපති ටයි සමරසිංහ මහත්තයා ගමේ ප්‍රභූවරයෙකු වුනාට වැඩක් කරන්නෙත් නෑ. කරන අයට කරන්න ඉඩ දෙන්නෙත් නෑ ”

ටයි සමරසිංහ මහත්තයා ගමේ වැදගතෙකි. උදේ සිට හැන්දෑ වෙන තුරු, කලිසම් කෝට් සූට් ඇඳ ටයි පටිය කරේ එල්ලාගෙන අන්නාසි ගහ හන්දියේ කඩේට වී සිටින නිසා කව්රුත් ඔහුට කියන්නේ ටයි මහත්තයා කියා ය.

“දායක සභාවේ උප සභාපති අපේ මායාදුන්න අප්පුහාමි. අයියලු නේද? ”

“ඔය දෙන්නම වැඩකට ඇති මිනිස්සු නොවෙයි පොඩි නම ”

“ඇයි ලොකු හාමුදුරුවනේ දායක සභාව දැන් ක්‍රියාවිරහිත ! ”

“දවසක් රැස්වීමේදී මම යෝජනා කළා චෛත්‍යය ඇතුලු බුදු ගෙයි හුණු ටිකක් ගාමු කියලා ”

“එහෙමයි”

“ටයි සමරසිංහ කියපි, ඊට කලින් පන්සල් වත්ත ශුද්ධ කරමු කියාල ශ්‍රමදානයක් මගින් ”

“ඉතින් ?”

“මම ඒකට විරුද්ධ වුනා, පන්සල් වත්ත ඔසු පැල හිටවපු සාර බිමක්, වැරලි, කොරහ එරමිනියා, නාපිරිත්ත, කුඩුමිරිස, කටුවල, රසකිඳ, නෙල්ලි, නිරමුල්ලිය,

“අපොයි එහෙමනම් පන්සල් වත්තට අත තියන්නවත් හොඳයැ”

තවත් කොටසක් ලබන සතියට


භික්ඛු සංඝස්ස 06 “අනේ හාමුදුරුවනේ සම්මත මහණ කරගන්න එපා”