Print this Article


සුවපත් සිත

මේ ලිපියේ මුල් කොටස ‘අවිදු අඳුර දුරලන ප්‍රඥාලෝකය’ මැයෙන් පසුගිය මැදින් පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළවිය. බුදුදහමේ දැක්වෙන ඤාණ මාර්ගයෙහි, එනම් අරි අටඟි මඟෙහි පළමුවැන්න හෙවත් සම්මා දිට්ඨිය පිළිබඳ එහි දී සාකච්ඡා විය. අද පළවන්නේ ඉතිරි මාර්ගාංග සත පිළිබඳ සහ එම ඤාණ මාර්ගය පුරුදු පුහුණු කරගැනීම සඳහා සම්පූර්ණ විය යුතු අංග සතර ගැනයි.

2. සම්මා සංකප්ප

කාම, ව්‍යාපාද, විහිංසා සංකල්පනාවන්ගෙන් මනැස කෙලෙසීම, නිවරැදිව ලෝකය දැකීමට බාධාවකි. එබඳු සංකල්පනාවන්ගෙන් වෙන්ව නෙක්ඛම්ම, අව්‍යාපාද අවිහිංසා සංකල්පනා ඇති කිරීම ‘සම්මා සංකප්ප’ නම් වේ.

3. සම්මා වාචා, 4. සම්මා කම්මන්ත 5. සම්මා ආජීව

වචනයෙන් සිදුවන මුසාවාදාදීයත්, කයෙන් සිදුවන ප්‍රාණඝාතාදියත් මනැස මුල්කොටගෙනම සිදුවන බැවින් මනැස කෙලෙසීමට හේතුවේ. එහෙයින් එබඳු දෙයින් වැළැකීම ‘සම්මා වාචා’ සහ ‘සම්මා කම්මන්ත’ නම් වේ. දිවි පැවැත්වීම සඳහා කයෙන් හෝ වචනයෙන් හෝ සිදු කෙරෙන අයථා දෙයින් වැළැකීම ‘සම්මා ආජීව‘ නම් වේ. මෙම අංග තුන සමාජයේ ජීවත්වන අන් අය කෙරෙහි ද බලපෑම් ඇතිකරන කරුණු හා සම්බන්ධව තිබීම විශේෂත්වයකි. ඤාණ මාර්ගය පුහුණු කිරීමේ දී ජීවත්වන සමාජ වටපිටාව මෙන්ම කර්ම විපාකය පිළිබඳ විමසිලිමත් වීම මෙහිදී අවධාරණය කෙරේ. සමාජයට හානි සිදුවන අයුරින් කය, වචනය හැසිරවීම සහ දිවි පැවැත්වීම සමාජමය ගැටුම්වලට මඟපාදා ඤාණ මාර්ගය වසන අතර එයින් ජනිත අකුශල කර්ම විපාකය උපත දුර්වල කිරීමෙන් හා උපන්නහුට පීඩා පැමිණවීමෙන්ද ඤාණ මාර්ගය වසා දමයි.

එහෙයින් බුදුදහමේ උගන්වන මෙම ඤාණ මාර්ගය තුළින් මේ භවයේදීම ඤාණය ලැබීමට හෝ මතු භවයක ඤාණය ලැබීමට හෝ ‘ස්ථාවර’ පදනමක් ගොඩනඟා ඇති බව පෙනේ.

6. සම්මා වායාම

යහපත් උත්සාහයයි. මෙහි කියැවෙන්නේ මානසික උත්සාහය හෙවත් ‘විරිය’ චෛතසිකයයි. එම චෛතසිකය කුසල් සිත්වල මෙන්ම අකුසල් සිත්වලද යෙදෙන බැවින් බොහෝ අවස්ථාවන්හිදී එය සම්මා වායාමයද, මිච්ඡා වායාමයදැයි හඳුනා ගැනීම දුෂ්කරය. යම් මානසික ආවේගයන් හා හැඟීම් මත නිරායාසයෙන්ම වීර්යය ඇති වුවත් එය සම්මා වායාමය නොවන බව තේරුම් ගත යුතු ය. හැඟීම් සහ අවශ්‍යතාවන්ගේ වෙනස හඳුනාගෙන, හැඟීම් පාලනය කරමින් අවශ්‍යතාව මත උත්සාහවත් වීමම නිවැරැදි උත්සාහයයි. එයින් කුශලය වැඩීමත් අකුශලය ප්‍රහාණය කිරීමත් සිදුවේ.

7. සම්මා සති

පෙර ඇතිකරගත් සංඥා සහ ආකල්පවලින් නිදහස්ව අනාගත කල්පිතයන්ට ගැති නොවී, එවේලේ පවතින අභ්‍යන්තර බාහිර හේතුසාධක මැනැවින් හඳුනා ගැනීමේ හැකියාව ‘සම්මා සතියයි’ සියල්ල පිළිබඳ මනැස අවදියෙන් පවත්වා ගැනීමයි. ඤාණය ලැබීමට ප්‍රඥාව දල්වනු පිණිස මෙය ප්‍රධාන හේතුවක් වේ.

8. සම්මා සමාධි

යහපත් ඒකාග්‍රතාවයි. ඒකග්ගතා චෛතසිකය සර්ව චිත්ත සාධාරණ බැවින් කුසල් අකුසල් සියලු සිත්වල ඇතිවේ. ඒ අතර කුසල් සිතේ පවතින එකඟ බව මින් අදහස් කෙරේ. (‘කුසල චිත්ත එකග්ගතා සමාධි’) යමක් අවබෝධ වීමට නම් සන්සුන් මනැසින් දැකගත යුතු ය. වේගයෙන් රථයක යද්දී අවට ඇති දේ දැකගැනීම අපහසු වුවත් නැවතී බලද්දී නිවැරැදිව හඳුනාගත හැකිය. එමෙන්ම ප්‍රඥාව උපදවා ලෝකයේ යථා ස්වභාව දැක ගැනීම සඳහා පුහුණු කරන ලද එකඟ බව උපකාර වේ.

යමකු මෙම මාර්ගාංග අට නැවත නැවත වඩයිද, පුහුණු කරයිද, ඒ සමඟම සතිපට්ඨාන සතරය, සම්‍යක්ප්‍රධාන සතරය, සෘද්ධිපාද සතරය, ඉන්ද්‍රිය ධර්ම පසය, බල ධර්ම පසය, බොජ්ඣංග ධර්ම සතය යන බෝධිපාක්‍ෂික ධර්ම තිස් හතම වැඩෙන බව තථාගතයන් වහන්සේ දෙසූ සේක. (මග්ග සංයුත්ත – ආකාස සූත්‍රය)

මෙම ආර්ය මාර්ගාංග නැවත නැවත පුහුණු කිරීමෙන් පූර්ණ වේ. මෙසේ ඤාණ මාර්ගයේ පූර්ණත්වය තුළින් ආර්ය සත්‍යය සතර පිළිබඳ ඤාණය සම්පූර්ණ වේ. එම ඤාණ දර්ශනයත් සමඟම තවදුරටත් භවයෙහි පැවැත්ම පිළිබඳ අපේක්‍ෂාව අහෝසි වී යයි.

ඤාණය යනු අවබෝධයයි. යථාර්ථය පිළිබඳ වැටහීමයි. ‘ඤාතට්ඨෙන ඤාණං’ දැන ගන්නා ලද අර්ථයෙන් ඤාණ නම් වේ යැයි පටිසම්භිදා මග්ගයේ දැක්වේ. මෙතෙක් විග්‍රහ කරන ලද්දේ එම ඤාණය ලබනු පිණිස බුදුදහම විසින් නිර්දේශ කරනු ලැබ ඇති මාර්ගයයි. එම ඤාණ මාර්ගය පුහුණු කිරීමට සම්පූර්ණ විය යුතු අංග සතරක් පිළිබඳ සංයුක්ත නිකායේ ‘සෝතාපත්තියංග‘ සූත්‍රයෙහි දක්වා තිබේ.

1. සද්පුරුෂ සේවනය
2. සද්ධර්ම ශ්‍රවණය
3. යොනිසෝමනසිකාරය
4. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය

1. සද්පුරුෂ සේවනය
සද්පුරුෂයා කෙබඳු කෙනකු විය යුතු ද යන්න පැහැදිලි කළ සූත්‍ර බොහොමයක් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වෙයි.ඒ සියල්ල කැටිකොට ගත් කල තමා අසද්ධර්මයෙන් වැළැකී සද්ධර්මයෙහි යෙදීමත්, අන්‍යයන් අසද්ධර්මයෙන් වළක්වා සද්ධර්මයෙහි යෙදවීමත් උසස් සද්පුරුෂයාගේ මූලික ලක්‍ෂණ දෙකකි. ප්‍රඥාවේ සහ ඤාණයේ ප්‍රමාණය මත සද්පුරුෂයාගේ තරාතිරම විවිධ විය හැකි ය. එහෙත් මූලික ලක්‍ෂණයන්ගෙන් සියලු දෙනා සමානය.

තමන්ගේ මනැසේ පහළවන සාවද්‍ය ධර්මයන් නිරවද්‍ය ලෙස දකිමින් මුළාවීමත්, බාහිර ලෝකය පිළිබඳ ඇති කරගත් විපරීත සංඥාවනුත් පුද්ගලයා ඤාණ මාර්ගයෙන් ඉවතට ඇද දැමීමට සමත් වේ. එබඳු අවස්ථාවන්හිදී කල්‍යාණ මිත්‍රයකුගේ උපකාරය අත්‍යවශ්‍යය. මේ සාසනය සම්පූර්ණයෙන්ම කල්‍යාණ මිත්‍රයන් නිසා පවතින බව තථාගතයන් වහන්සේ දෙසුවේ එහෙයිනි. සද්පුරුෂයා සැමවිටම කල්‍යාණ මිත්‍රයකු ලෙස ඇසුරු කිරීමට සුදුසු ය.

ලෝකය පිළිබඳ තමන් ඇතිකරගන්නා දැක්ම වඩාම නිවැරැදියයි තමන්ට හැඟෙයි. ලෝභ, දෝස ආදී අකුශල මූලයන් වෙනත් මුහුණුවරකින් ක්‍රියාත්මක වන විට එය උසස් හැඟීමක් ලෙස වැටහෙයි. මෙසේ තමන්ගේ මනැස තමන්ටම වඤ්චනික වීම සත්වයාට සත්‍යාවබෝධය සඳහා ප්‍රබල බාධකයකි. අනෙකකු එය පෙන්වා දුන්නත් නොපිළිගන්නා තරමට මනැසේ මුළාව තහවුරු වෙයි. එබඳු අවස්ථාවලදී ඔහු මුළා වී ඇති බව උපක්‍රමශීලීව ඔහුට අවබෝධ වන්නට සැලැස්විය යුතු ය. ඒ සඳහා දැඩි ආත්ම සංයමයකින් කටයුතු කිරීමටත්, අනෙකාගේ යහපත වෙනුවෙන් අපහසුතා විඳ දරා ගැනීමටත් තරම් සද්පුරුෂ බවක් හා ස්ථානෝචිත ප්‍රඥාවක් යමකු තුළ ඇතොත් අනෙකා මුළාවෙන් මුදා ගැනීමට සහාය විය හැකිය. එබඳු සද්පුරුෂයන්ගේ ඇසුර ඤාණ මාර්ගය වැඩීමට සහායක් බව තථාගතයන් වහන්සේ දේශනා කළේ එහෙයිනි.

2. සද්ධර්ම ශ්‍රවණය
සරලව ගතහොත් ඤාණය ඇති කරන මාර්ගය සද්ධර්මයයි කිවහැකිය. දුක ඇති කරන, නුවණ වසන මඟ අසද්ධර්මය ලෙසත්, දුක නැති කරන නුවණ තියුණු කරන මඟ සද්ධර්මය ලෙසත් හැඳින්විය හැකිය. එම සද්ධර්මය සිහි නුවණින් ශ්‍රවණය කිරීම සද්ධර්ම ශ්‍රවණයයි. චතුරාර්ය සත්‍යාදී ගැඹුරු ධර්ම පිළිබඳ අනෙකකුගෙන් නො අසා (පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු) අවබෝධ කළ හැක්කේ සම්මා සම්බුදුවරුන්ට හා පසේ බුදුවරුන්ට පමණි. අන්‍ය සියලු දෙනාටම එබඳු ගැඹුරු කරුණු පිළිබඳ ඤාණය ඇතිවීමට නම් පළමුව එම ධර්මයන් පිළිබඳ අසා දැනගෙන තිබීම අවශ්‍යය. ඕනෑම කෙනකුට අන්‍යයන්ගෙන් නො අසා වටහාගත හැකි යම් යම් දේ තිබිය හැකිය. එහෙත් චතුරාර්ය සත්‍ය ධර්මය වැනි ගම්භීර ධර්ම වටහාගත හැක්කේ බුදුවරයකුගෙන් හෝ බුද්ධ ශ්‍රාවකයකුගෙන් අසා දැන ගැනීමෙන්ම පමණි.

සද්ධර්මය පිළිබඳ ඇසීමෙන් ඇති කරගන්නා දැනීම, වැටහීම ‘සුතමය ඤාණ’ නම් වේ. (‘සොතාවධානෙ පඤ්ඤා සුතමයේ ඤාණං’ - පටිසම්භිදා මග්ග) (‘වචසා පරිචිතෙසු සුතමයි පඤ්ඤ’ - පෙටකොපදෙස) සද්ධර්මය පිළිබඳ අසා දැනගැනීම, ඤාණය පිළිබඳ පළමු වන පියවර වේ.

3. යෝනිසෝමනසිකාරය
නුවණින් මෙනෙහි කිරීමයි. ඒ ඒ ධර්මයන්ගේ අනිත්‍යාදී ස්වභාව ලක්‍ෂණ මෙනෙහි කිරීම හා අපේක්‍ෂිත ඵලය ලැබීමට සුදුසු මඟ, නොමඟ, හේතු අහේතු පිළිබඳ උපාය දන්නා නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝමනසිකාරයයි. (‘යොනිසො මනසිකාරාති උපාය මනසිකාරා, පථමනසිකාරා’ - දීඝ නිකාය අටුවා - මහා පදාන සූත්‍ර වර්ණනා) (‘යොනිසො මනසිකාරාති තෙසං තෙසං ධම්මානං සභාව පරිග්ගණ්හනාදිනා යථාවුත්තෙන උපායෙන පවත්ත මනසිකාරා’ - නෙත්ති ප්‍රකරණ අටුවා)

සද්ධර්මය පිළිබඳ ඇසීමෙන් ලැබූ දැනුම නැවත නැවත නුවණින් මෙනෙහි කරද්දී හේතු උදාහරණ සහිතව තමන්ට අනන්‍ය ආකාරයෙන් යම් ගැඹුරු වැටහීමක් ඇති වේ. එය ‘චින්තාමය ඤාණය’ ලෙසද හැඳින්වේ. (‘මනසා අනුපෙක්ඛිතෙසු චින්තාමයි පඤ්ඤා’ - පේටකොපදෙස)

මෙනෙහි කිරීම හෙවත් සිතීම, නුවණින් මෙන්ම මුළාවෙන්ද කළ හැකි ය. හේතුඵල දක්නා නුවණින් මෙනෙහි කිරීම හෙවත් ‘යෝනිසෝමනසිකාරය’ ඤාණ මාර්ගය වැඩීමට කොතෙක් සහාය වේද යත්, සූර්ය උදාවට අරුණ නැඟීම පූර්ව නිමිත්ත වන්නාසේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමට යෝනිසෝමනසිකාරය පූර්ව නිමිත්ත වන බව තථාගතයන් වහන්සේ දෙසූ සේක. (සංයුක්ත නිකාය- යොනිසො සූත්‍රය)

4. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය
සද්ධර්මය හෙවත් ඤාණ මාර්ගය පිළිබඳ කොතෙක් අසා තිබුණත් සිතා තිබුණත් ඒ පිළිබඳ ප්‍රත්‍යක්‍ෂ ඤාණය පහළ නොවේ. ඒ සඳහා මානසික පුහුණුවත් අවශ්‍යය. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යනු එම ඤාණ මාර්ගය පිළිබඳ පුහුණුවයි. ඤාණය ලැබීම සඳහා කෙරෙන පුහුණුව හුදු ශික්‍ෂණයක්, දණ්ඩනයක් හෝ ඇබ්බැහියක් ලෙස කෙරෙන්නක් නොව, යෝනිසොමනසිකාරය ඇතිව නුවණින්ම පුහුණු කළ යුත්තකි. එසේ නිවැරැදිව පුහුණු කිරීමෙන් ඇතිවන අවබෝධය ‘භාවනාමය ඤාණ’ නම් වේ.

ඤාණ මාර්ගය එකක් වුවද එය අනුගමනය කරන පුද්ගලයාගේ කායික මානසික ශක්තිය, ප්‍රඥාව, ආකල්ප හා සිතුම් පැතුම්, හොඳ හෝ නරක සසර පුරුදු, සමාජ වටපිටාව හා පාරිසරික හේතුසාධක යන කරුණු මත එය ඉතා සංකීර්ණ වේ. එවේලේ පවතින හේතු සාධක මත ස්ථානෝචිතව ක්‍රියා කිරීමේ ප්‍රඥාව මෙහිදී ඉතාම අවශ්‍ය වේ.

ඤාණය ලබන්නේත්, ඊට අවශ්‍ය ගුණාංග දියුණු කරන්නේත් මනැසින් වුවද, මනැස කය සමඟත්, කය පරිසරය සමඟත් බැඳී පවතින නිසා කය සහ පරිසරය පිළිබඳවද අවධානය යොමු කිරීමට සිදු වේ.

මොළය, හෘදය, ස්නායු පද්ධතිය වැනි ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියන්ට හානි නොවන්ටත් වා, පිත්, සෙම් යන ධාතු සමතාවයෙන් පවත්වා ගනිමින් නිරෝගිකම රැක ගැනීමටත් උත්සාහවත් විය යුතු අතර පිරිසුදු වාතාශ්‍රය කායික, මානසික ස්වස්ථ භාවය රැකගැනීමට ප්‍රධාන හේතුවක් වන බැවින් ස්වභාවික පරිසරය මෙම පුහුණුව සඳහා මහෝපකාරී වන බවද කිවයුතු ය.