Print this Article


සධාතුක ධා කරඬුවක් බඳුවූ බුද්ධංගල

සධාතුක ධා කරඬුවක් බඳුවූ බුද්ධංගල

ටේටම ආරාම තිබූ තැන වට්ටාරම වශයෙන් නම් වූ බව ජනප්‍රවාදයේ පැවත එන වට්ටාරම රජ මහා විහාරය සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල පොල්ගහවෙල මාර්ගයේ කෑගල්ලට කි.මී. 7.2 ක් දුරින් පිහිටා තිබෙයි.

වට්ටාරම මහා විහාරස්ථානය ලාංකේය බෞද්ධ වංශකතාවේ සුවිශේෂ වූ කඩඉමක් සනිටුහන් කරනා පූජනීය වූ ස්ථානයකි.

එය එසේ වන්නේ ලංකා බිමේ වැඩසිටි මලිහදේව නම් වූ අවසාන මහරහතන් වහන්සේ වැඩ වාසය කළේ මෙම විහාරස්ථානයේ යැයි ජනප්‍රවාදයේ පැවත එන කතා ප්‍රවෘත්තිය නිසාය.

ඒ නිසාම ලංකාවේ සතර දිග් භාගයෙන් බොහෝ බෞද්ධ බැතිමත්හු වන්දනාමාන කිරීම සඳහා නිබඳව මෙම පුදබිම වෙත පැමිණෙති.

ලාංකේය මහා සංඝ සමාජ ඉතිහාසයේ මලිහදේව මහරහතන් වහන්සේලා කීප නමක් පිළිබඳව සුළු විස්තර ලියැවෙන්නේ ජනප්‍රවාදය ප්‍රධාන කර ගනිමිනි.මේ අනුව වට්ටාරමෙහි මලිහදේව නම් භික්‍ෂූන් වහන්සේ කීප නමක් වැඩ සිටි බවක් සඳහන් වෙන අතර පළමු මලිහදේව හිමියන් පිළිබඳව ජනප්‍රවාදයේ එන කතාවක් තිබේ.

දඹදිව අන්ධ ස්ත්‍රියකට ලැබුණු දරුවකු මහණ වී බවුන් දම් වඩන අතර ඊට පැහැදුණූ ගුරු භික්‍ෂූන් වහන්සේගෙන් රන් පිළිමයක් හා බණ පොත් රාශියක් ත්‍යාග වශයෙන් ලැබුණි. ගුරු හිමියන් අපවත් වූ පසු මලිහදේව හිමි රහත් භාවයට පත් වී අප මාතෘ භූමියට සපැමිණි අතර ගෝඨාභය රජතුමාගේ උපකාර ඇතිව තලවතුපිටියේ ගල්කණු 160 ක් යොදා තැනූ ආරාම 16 කින් සුසැදි වට්ටාරම විහාරස්ථානය වාසස්ථානය කර ගත්තේය.

තවත් ජනප්‍රවාදයක කියැවෙන්නේ මලිහදේව හිමි පොල්ගහවෙල දෙනගමුවේ උපන් අයකු බවය.

ඒ පසුබිම එසේ වුවද මලිහදේව මහ රහතන් වහන්සේ යන නාමය හා ඓතිහාසික වට්ටාරම මහා විහාරය අතර පවතින සබැදියාව කාලාන්තරයක් තිස්සේ පැවත විත් බොදු ජන මනස තුළ කිඳා බැස ඇති සන්සිද්ධියකි.

වට්ටාරම විහාරස්ථානය ගොඩනැගීමට රාජ්‍ය අනුග්‍රහය දක්වා ඇත්තේ ගෝඨාභය (ක්‍රි.ව. 249 –262 ) රජතුමා බව කියැවෙයි. පුරාවිද්‍යාඥ බෙල් මහතා සඳහන් කරන්නේ ගෝඨාභය රජතුමා වට්ටාරම අංග සම්පූර්ණ කළ බවකි. එසේ නම් එහි ඉතිහාසය ඊටත් වඩා ඈතට අපව රැගෙන යයි.

මෙම රජ මහ වෙහෙරෙහි දෙතිස්ඵල රුහ බෝධින් වහන්සේ නමක් රෝපණය කළ බව බෝධිවංශාදී ග්‍රන්ථයන්හි සඳහන් වන නිසා වට්ටාරමට දෙවනපෑතිස් රජතුමාගේ රාජ අනුග්‍රහය පෙරදී ලැබී ඇතැයි විශ්වාස කළ හැකිවෙයි. එසේ නම් මෙහි ඉතිහාසය ක්‍රි.පූර්ව දෙවන ශත වර්ෂයේ අනුරාධපුර යුගය දක්වා ඉදිරියට ඇදෙයි. පුරා විද්‍යා සමීක්‍ෂණයන්ට අනුව ශේෂව පවතින නටබුන් මතින් ද පැහැදිලි වන්නේ ඒවායේ කාලය අනුරාධපුර යුගය නියෝජනය කරන බවකි.

පැරැණි සිරිපතුල් ගල්, ගල්කුළුණු, ආදිය එයට සාක්‍ෂි දරන සුළුය. මෙහි පැරැණි පංචාවාසයක ලක්‍ෂණ පවතින බව ඔවුන්ගේ මතය වෙයි.

එසේම මෙහි අටවන සියවසට අයත් සෙල් ලිපියක් හමු වී ඇතත් එය මැකී ගොස් තිබේ. ‘මණ්ඩලාරාමය’ යනුවෙන් සමහර පාලි අටුවා ග්‍රන්ථයන්හි සඳහන් වන්නේ වට්ටාරම පිළිබඳව බවද මතයක් පල වෙයි.

වට්ටාරම රජ මහා විහාරයට අයත් භූ®මියක මෑතදී කුඩා චෛත්‍යයක නටබුන් මතු කරගෙන තිබෙයි.මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එහි කැණීම් කටයුතු සිදු කෙරෙන අතර එම චෛත්‍යයේ ඊටම ආවේණික ඇතැම් ලක්‍ෂණයන් දැක ගැනීමට ලැබෙයි.

ජනප්‍රවාදයට අනුව පැවසෙන්නේ ගෝඨාභය රජතුමා ලෝකඩ තම්මැට්ටමක් ගසා එහි හඬ ඇසෙන තෙක් මානයේ භූමිය විහාරය වෙනුවෙන් පිදූ බවයි.මෙයින් හැඟී යන්නේ වට්ටාරම පුද බිම අක්කර දහස් ගනනක සුවිසල් වපසරියක් පුරාවට පැවැති බව ය.

මලිහදේව මහ රහතන් වහන්සේ මෙහි වාසය කිරීමට ප්‍රථමයෙන් බැමිණිටියා සාය පැවැති යුගයේ මෙහි හත්සියයක් පමණ මහරහතන් වහන්සේ වාසය කළ බවක්ද කියැවෙන අතර මාතලේ අළුවිහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සඳහා මෙහි වැඩ සිටි ඉතිදත්ත මහාසෝන යන රහතන් වහන්සේලා සම්බන්ධ වූ කතා පුවතක් ද ගොඩ නැගී තිබෙයි.

මේ සියල්ල පැවැසෙන්නේ ජනශ්‍රැති ආශ්‍රයෙනි. ඒ නිසා සත්‍ය ගවේෂකයකුට වඩාත් පුළුල්ව විමර්ශනයට අවශ්‍ය පසුබිමක් වට්ටාරම පුරා වෘත්තය විසින් විවර කරදී තිබෙයි.

අද අප දකින වට්ටාරම අනුරාධපුර පොළොන්නරු ඓතිහාසික බෞද්ධ උරුමයේ නටබුන් මෙන් සංරක්‍ෂණය වී ඇති ආකාරයක් දකින්නට නොලැබෙයි. එමෙන්ම වට්ටාරම ආශි‍්‍රත පරිසරයේ අපට දැක ගැනීමට ලැබෙන්නේ සුළු කොටසක් වුවද මෙය සමීපයේ අක්කර දහස් ගණනක තවමත් මිහිමත සැඟවුණු පෞරාණික ස්මාරක පැවතිය හැකි බව විශ්වාස කළ හැක.

මෙහි නව ඉදිකිරීම් නිසා එවන් ඓතිහාසික සලකුණු මතු කර ගැනීමද ඉතා සංකීර්ණ කාර්යයකි. දැනට පවතින බුදු මැදුර මෑත කළ ඉදිකිරීමකි. දෙතිස්ඵලරුහ බෝධින් වහන්සේද එවන් කාල විපත් මෙන්ම වෙනත් බාහිර උපද්‍රවයන්ට නතුවී ඇතැයි සිතිය හැක. චෛත්‍යයද ප්‍රතිසංස්කරණය වූවකි.

නුවර යුගයේ ඉදිවූ කුඩා විහාරමන්දිරය සහිත දේවාලයක් මෙහි පවතියි.

අබා සෙලමෙවන් (ක්‍රි.ව. 10 වන සියවස) කාලයට අයත් සෙල් ලිපියක් ඒ ආසන්නයේ පවතී. එය මධ්‍ය කාලීන සිංහල අක්‍ෂරයන්ගෙන් ලියැවී තිබේ.

විහාරයේදී දඹරන් පිළිමයක් හමු වී තිබෙයි. එය දඹදිව සිට වැඩි ගුප්ත මලිහදේව මහරහතන් වහන්සේ රැගෙන ආ පිළිමය යැයි විශ්වාසයක්ද පවතියි. එම පිළිමය දෙවරක් සොරුන් විසින් සොරාගත්තද නැවත හමුවී ඇත.මෙය අයත් වන්නේ 3 ,4 සියවස්වලට බවද කියැවෙයි. මෙම ඉතිහාස ගත කරුණු මත මෙන්ම පුරාවිද්‍යාත්මක වශයෙන් වට්ටාරම රජ මහා විහාරස්ථානය සුවිසල් විහාර සංකීර්ණයක ලක්‍ෂණ පෙන්නුම් කරන අතර ඉතිහාස වංශ කතාව වර්ණවත් කළ එසේම රාජ අනුග්‍රහය දිනාගත් මහා පුදබිමක්ව පැවැති බව නම් ස්ථිර වශයෙන්ම සනාථ කර ගත හැකිය.

තම්මැට්ටමේ හඬින් සංඝයා වෙත පිදු විසල් භූමිය අද හැකිලී තිබෙයි. මීට අයත් භූමිය විහාරයෙන් ගිලිහී පෞද්ගලික උරුමයන්ට සින්න වී ඇත. ඒවා කාලය පරිසරය සමාජය විසින් ඇති කළ පරිවර්තනයන්ය. ආර්ථික ලෝකයේ වටිනාකම පුරාවිද්‍යා ශේෂයන්ට ප්‍රදානය කරනවාට වඩා මහා පොල් රුප්පාවකට ආර්ථික බව බෝගයන්ට කර්මාන්තයකට සීරුමාරුව පරිවර්තනය වීම යථාර්ථයය.

ඒ නිසාම ඓතිහාසික උරුමය සොයමින් ගොඩනැ¼ගිලි පොල්රුප්පාවන්ද උදුරා දැමීමටද නොහැකි ය.

කෙසේ වෙතත් අපගේ ඉතිහාසයෙ කතාවේ සොදුරු ඉසව් අබිමානවත් පසුබිම පහන් භූ®මි සොයා යන්නකුට ඇත්තෙන්ම වට්ටාරම මහා තෝතැන්නකි.

ඉසිදත්ත ‘මහාසෝන’ මලිහදේව වැනි මහ රහතුන් වැඩි ජනශ්‍රැතිය මඟ ඔස්සේ පැමිණෙන්නකුට තවත් සුපහන් වු බොහෝ සැඟැවුණු දේ දකින්නට සමත් පරිසරයක් මෙවන් ස්ථානයන්හි පවතින බව සිතේ