Print this Article


දකුණු ආසියාවේ විශාලතම හිටි පිළිම වහන්සේ ඉදි කිරීම ලබන වෙසක් පොහොයෙන් ඇරඹේ

දකුණු ආසියාවේ විශාලතම හිටි පිළිම වහන්සේ ඉදි කිරීම ලබන වෙසක් පොහොයෙන් ඇරඹේ

දකුණු ආසියාවේ විශාලතම හිටි පිළිම වහන්සේගේ ඉදි කිරීමේ කටයුතු එළඹෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

අඩි 180 ක උසින් යුත් මෙම අභිනව හිටි පිළිම වහන්සේ ඉදි කරනු ලබන්නේ කොට්ටාව - මාකුඹුර පුරාණ විහාරස්ථානය අසල පිහිටි සුන්දර වෙල් යායකට මැදිවය. දක්ෂිණ අධිවේගී මාර්ගයට මුහුණලා මාකුඹුර පිවිසුමේ ඉදිවන මෙම හිටි පිළිම වහන්සේගේ ඉදිකිරීම් සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ( 26 ) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ඉදි කරනු ලබන මෙම දර්ශනීය හිටි පිළිම වහන්සේ, හෙළ සංස්කෘතියට ගැලපෙන පරිද්දෙන් ලාංකේය අනන්‍යතාවය සුරක්‍ෂිත වන ආකාරයෙන් ඉදි කිරීමට අපේක්‍ෂිතය.

හිටි පිළිම වහන්සේගේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 300 ක් පමණ වැයවෙතැයි ගණන් බලා ඇති අතර, එම මුදල මහාභාරකාරතුමන් යටතේ පිහිටුවන අරමුදලක් මගින් ලබාගෙන ඉදිකිරීම් කටයුතු සිදු කරගෙන යන ලෙස ජනාධිපතිතුමන් විසින් මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

හිටි පිළිම වහන්සේගේ ඉදිකිරීම රටටත්, ශ්‍රී ලාංකීය බොදු බැතිමතුනටත් මහත් අභිමානයක් මෙන්ම පින් කටයුත්තක් ද වන බැවින්, ජනාධිපතිතුමන් විසින් රුපියල් ලක්‍ෂ 10 ක මුදලක් ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කෙරිණි.

මෙම හිටි පිළිම වහන්සේ ඉදිකිරීමට සමගාමීව ඉදිවන පහත බිම් පරිශ්‍රයේදී සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේලා 2600 නමක් ද තැන්පත් කිරීමට කටයුතු යොදා තිබේ. එමෙන්ම කෞතුකාගාරයක් ද එහි ස්ථාපිත කෙරේ.

මෙම සාකච්ඡාව සඳහා කෝට්ටේ කළ්‍යාණ සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමියන්, එල්ලාවල මේධානන්ද හිමියන්, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනා හිමියන් ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නය සමඟින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, බුද්ධශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.