Print this Article


අමරපුර මහා සංඝ සභාවේ මහ නා හිමිගේ ප්‍රකාශය

අමරපුර මහා සංඝ සභාවේ මහ නා හිමිගේ ප්‍රකාශය

ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා දෙනමක් තමිල්නාඩුවේදී අන්තවාදී පිරිසකගේ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධ ප්‍රවෘත්තිය අතිශය කනගාටුදායක ය. එමෙන්ම එය බලවත් අප්‍රසාදයකින් යුතුව හෙළා දකින අතර අපගේ සංවේගය ද පළකරනු කැමැත්තෙමි. එසේම දඹදිව බෞද්ධ සිද්ධස්ථාන සහ වෙනත් ස්ථාන නැරඹීමට යන ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගේ ද අධ්‍යාපන කටයුතුවල නියුතු ගිහි පැවිදි සියලු දෙනාගේ ද ආරක්ෂාව තහවුරුවන අයුරින් රාජ්‍යතාන්ත්‍රික ක්‍රියා මාර්ගයන් ගතයුතු බවත් අවධාරණය කරන බව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති දොඩම්පහල චන්දසිරි මහ නා හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිති. එම නිවේදනයේ මෙසේද දැක්වේ.

දශක තුනක පමණ කාලයක සිට පැවති යුධ උවදුර අවසන් කොට රට සාමකාමී පරිසරයකට පැමිණ ඇති මෙවන් අවස්ථාවක සමස්ත ලංකාවාසීන්ම දුර දක්නා නුවණින් යුතුව කටයුතු කළයුතු බව අවධාරණය කරනු කැමැත්තෙමි. අතිගරු ජනාධිපතිතුමන් ජිනීවාහි උද්ගතව ඇති ශ්‍රී ලාංකික ප්‍රශ්න නිරාකරණය සම්බන්ධයෙන් බලවත් වෙහෙසකින් කටයුතු කරන අවස්ථාවක අන්තවාදී පිරිස් විසින් ලාංකික ජනයා කුපිත කරවමින් නැවතත් රට ගැටලුකාරී තත්ත්වයකට යොමු කරවන්නට වෙහෙසෙන බවක් මෙ තුළින් පෙනෙන්නට ඇත.

එමනිසා අනුශාසකයන් වහන්සේලා වශයෙන් මෙවන් අවස්ථාවකදී බුද්ධිමත් ව දූරදුර්ශීව ක්‍රියාකළ යුතු අතර ඇතැම්විට අර්බුදකාරී උණුසුම් අදහස් ඉදිරිපත් කරන්නට යාමෙන් රටේ ජනතාව ආවේගශීලී පරිසරයකට පෙළඹෙනු ඇත. එය එසේ සිදු නො විය යුත්තකි. එබැවින් ශ්‍රී ලාංකික සියලු දෙනාම ‘වෛරයෙන් වෛරය නොසන් සිදේ යන සම්බුදු වදන මෙනෙහි කරමින් ඉවසිලිමත්ව සාමකාමීව ක්‍රියා කිරීමට අධිෂ්ඨාන කරගත යුතු බවත් දන්වා සිටිමි, යනුවෙන් සඳහන් වේ.