Print this Article


තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකිකයන්ට පහරදීම තරයේ හෙළා දකිනවා

මල්වතු - අස්ගිරි මහ නා හිමිවරු ඉන්දීය මහ කොමසාරිස්ට දැනුම් දෙයි

ශ්‍රී ලාංකිකයන්ට තමිල්නාඩුවේ දී හිතාමතා සිදු කෙරෙන ම්ලේච්ඡ පහරදීම් තරයේ හෙළා දකින බවත් මෙය පාලනය කිරීමට ඉන්දීය රජය අපොහොසත් වුවහොත් දීර්ඝ කාලීනව දෙරට අතර පවතින මිතුදම පලුදු විය හැකි බවත් මල්වතු - අස්ගිරි මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම 19 වැනිදා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ යුද ශක්තිය විනාශ කොට ශ්‍රී ලංකා ජනතාවගේ හා රටේ ආරක්ෂාව සැලසීමට ශ්‍රී ලංකා රජයට නීත්‍යානුකූල අයිතියක් ඇති බවත් ඒ අනුව රජය වරින්වර ක්‍රියාකර ඇත්තේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින්ගෙන් රට ආරක්ෂා කර ගැනීමට බවත් එහි සඳහන් කැර තිබේ.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අත්සනෙන් නිකුත්කළ ලිපියේ මෙසේ ද සඳහන් වෙයි.

ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේට තමිල්නාඩුවේදී පහර දී හිරිහැර කිරීම පිළිබඳ මහා සංඝයා වහන්සේලාගේ හා ශ්‍රී ලාංකිකයින්ගේ බලවත් අවධානය යොමුව තිබේ. මෙවැනි ම්ලේච්ඡ පහරදීම් තමිල්නාඩුව තුළදී පසුගිය කාලය තුළ සිදුවෙමින් පැවතීම ශ්‍රී ලාංකිකයන්ට හිතාමතා කරන හිරිහැරයකි. නිතිපතා සිදුවන මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාරයන්ගෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂාකර ගැනීමට ඉන්දියානු ආණ්ඩුව අසමත් වී ඇත. මල්වතු හා අස්ගිරි උභය මහා විහාරයේ මහා නායක නා හිමිපාණන් වහ්සේලා වන අප මෙම ම්ලේච්ඡ ප්‍රහාරයන් තරයේ හෙළා දකින අතර ශ්‍රී ලාංකිකයන්ට සිදුවන මෙවැනි පහරදීම් වලින් ආරක්ෂා කැර ගැනීම පිණිස කටයුතු නො කිරීම සම්බන්ධයෙන් ඉන්දියානු රජයට අපගේ බලවත් අප්‍රසාදය ප්‍රකාශ කැර සිටිමු.

ඉන්දියාවෙන් බිහි වූ අති උතුම් ශ්‍රේෂ්ඨතමයාණන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේගේ ශ්‍රාවකයින් වන බෞද්ධ භික්ෂූන් වහන්සේ වනාහි අප සමාජයේ මහත් ගෞරවාදරයට පාත්‍ර වූ බෞද්ධ නායකයෝ වෙති. බොහෝ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් හා බෞද්ධාගමිකයින් ඉන්දියාවේ සංචාරය කරනු ලබන්නේ අතිපූජනීය බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කිරීම සඳහා ය. එවැනි බැති සිතින් ඉන්දියාවට යන බැතිමතුන්ට තමිල්නාඩුවේ දී සිදුවන ප්‍රහාරයන් කිසිදු ශිෂ්ඨ සම්පන්න සමාජයකට අනුමත කළ නො හැක. මෙවැනි පහරදීම් පිටුපස සිටින එල්.ටී.ටී.ඊ හිතවාදීන්ට තමිල්නාඩු රජයේ ද සහාය ලැබෙන බව අපට දැනගන්න ඇත.

එල්.ටී.ටී.ඊ සංවිධානය ලොව බිහි වූ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය බව මුළු ලොවම පිළිගෙන ඇත. ඔවුන්ගේ ම්ලේච්ඡ ක්‍රියා හේතුවෙන් බෞද්ධ භික්ෂූන්, කාන්තාවන්, දරුවන් ඇතුළු සිවිල් සමාජයේ විශාල පිරිසක් ඝාතනයට ලක්ව ඇත. ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි මහතා ඝාතනය කළේ ද එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් ය. රණසිංහ ප්‍රේමදාස ජනපති ඝාතනය සිදුකළේ ද ඔවුන් ය. ඒ නිසා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ යුද ශක්තිය විනාශ කොට ශ්‍රී ලංකා ජනතාවගේ හා රටේ ආරක්ෂාව සැලසීමට ශ්‍රී ලංකා රජයට නීත්‍යානුකූල අයිතියක් ඇත. ඒ අනුව රජය වරින්වර කටයුතු කැර ඇත්තේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගෙ රට ආරක්ෂා කැර ගැනීමයි.

ඉන්දියාවේ අශෝක මහා අධිරාජ්‍යයාගේ කාලයේ පටන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඉතා මිත්‍රශීලි සබඳතාවක් පැවතුණි. අශෝක අධිරාජ්‍යයාගේ පුතණුවන් වන අරහත් මහින්ද මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට බුදුදහම වැඩම වූහ. අශෝක අධිරාජ්‍යාගේ දියණිය වූ සංඝමිත්තා මහ තෙරණිය අතිපූජනීය ශ්‍රී මහා බෝධි අංකුරය ශ්‍රී ලංකාවට වැඩම වූවා ය.

මෙම සිද්ධීන් දෙකම බෞද්ධ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයන් වෙයි. මෙලෙස ඓතිහාසික ලෙස ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගොඩනැගී ඇති ඉතා මිත්‍රශීලි සුහදතාවය තමිල්නාඩුවේ ක්‍රියාත්මක වන දෙමළ ජාතිවාදී දේශපාලනයෙන් පලුදු වීමට ඉඩදිය යුතු නොවේ.

ශ්‍රී ලංකා භික්ෂූන්ට, බෞද්ධ වන්දනාකරුවන්ට හා අනෙකුත් ශ්‍රී ලාංකිකයින්ට නිරන්තරයෙන් සිදු කරනු ලැබූ ම්ලේච්ඡ ප්‍රහාරයන් නවතා ගැනීමට ඉන්දියානු රජයට නොහැකිවීම පිළිබඳව අපගේ බලවත් කනස්සල්ල මෙයින් පළකර සිටිමු. මෙවැනි අයහපත් සිද්ධීන් තවදුරටත් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ඉන්දියානු රජය මැදිහත් වී කඩිනමින් කටයුතු කරනු ඇතැයි අප අපේක්ෂා කරමු.