Print this Article


කිතුල්ගල ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය

කිතුල්ගල ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය

යටියන්තොට කිතුල්ගල ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය ප්‍රදේශයේ ඉපැරණි විහාරස්ථානයකි. වාර්ෂිකව ශ්‍රී පාද වන්දනාවේ යන සැදැහැවතුන් කෑම බීම පිළියෙල කොට විවේක ගෙන නැවතත් පා ගමනින් සිරිපා කරුණාකරන ලද්දේ මෙම පුණ්‍ය භූමියේ සිටය.

1898 දී සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයට අයත් මුරුද්දෙනියේ කන්ද පිට විහාරාධිපතිව වැඩ විසූ හිදෝගම සුමන මාහිමියන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක් වූ මුරුද්දෙනියේ ගුණරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ කිතුල්ගලට වැඩමවා එවකට ජීවත්වූ දායක කාරකාදීන්ගේ උපකාර ඇතිව මෙම විහාරස්ථානය ආරම්භ කරන ලදී. එතැන් පටන් 1944 වසර දක්වා වැඩ සිටි මුරුද්දෙනියේ ගුණරතන මාහිමි වැඩි සිටි කාලය තුළ විහාර මන්දිරය සංඝාවාසය ආදි විහාරාංග ඇති කරමින් ප්‍රදේශයේ ජනතාවගේ කුදු මහත් ජාතික – ආගමික කටයුතු නොපිරිහෙලා අපමණ වෙහෙසක් ගෙන ඉටුකරන ලදී. උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු කිතුල්ගල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ අධිපතිත්වයට පත්වූයේ කිතුල්ගල ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය. තම ගුරු හිමියන් ගෙන ගිය ශාසනික වැඩ පිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙනයමින් චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදි කිරීමට හා බෝධි ප්‍රාකාරය ඉදි කිරීමටත් විශේෂයෙන් භික්‍ෂූන් වහන්සේගේ විනය කර්‍ම කටයුතු සඳහා සීමා මාලකයක් ඉදි කිරීමට ප්‍රදේශවාසීන්ගේ උපකාර ඇතිව කටයුතු කරන ලද අතර මහා සංඝයා වහන්සේ අතර අතිමහත් ගෞරවාදරයට පත්ව ශාසනික කටයුතු නොපිරිහෙලා ඉටුකරමින් සිට 1969 දී අපවත් වී වදාළ කිතුල්ගල ශ්‍රී සුමංගල නා හිමියන්ගෙන් පසු විහාරස්ථානයේ ආදිපත්‍ය දිගටම දරා වැඩ සිටීමට තරම් ප්‍රබල ස්වාමීන් වහන්සේ නමක් නොසිටිය අතර මේ පිළිබඳව ප්‍රදේශයේ මහා සංඝයා වහන්සේගේ හා දායක කාරකාදීන්ගේ කැමැත්ත අනුව විහාරස්ථානය දියුණු කිරීමට හා ආරක්‍ෂා කිරීමටත් හේතුවන පරිදි 1980 මාර්තු 08 දින සූරිය ජලගම ශ්‍රී ශෛලාරාමාධිපතිව වැඩ විසූ කෝවිලකන්දේ ජිනරතනාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට අධිපතිත්වය පැවරිනි.

ඉන්පසු උන්වහන්සේ එවකට වැඩ අවසන් කර නොතිබුණු විහාර මන්දිරයේ ඉතිරි වැඩ නිම කිරීමට දායක කාරකාදීන් උනන්දු කරවා උන්වහන්සේගේ ශිෂ්‍ය කෙහෙල්වරාවේ පියතිස්ස නාහිමියන්ගේ හා කෙහෙල්ගමුවේ සිරිසුමන ස්වාමීන්වහන්සේගේ සහායෙන් විහාර මන්දිරයේ වැඩ නිමවා 1988 මාර්තු 03 දින සති පිරිත් දේශනයක් පවත්වා විහාරස්ථානය වන්දනීය පූජනීය තත්ත්වයට පත්කරන ලදී 1986 දී කෝවිලකන්දේ ජිනරතන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ අසනීප තත්වයට පත්වීම නිසා මෙම සියලු කාර්යයන් ජේෂ්ඨ ශිෂ්‍ය කෙහෙල්වරාවේ පියතිස්ස නාහිමියන් වෙත පැවරුන අතර උන්වහන්සේ තම පැවිදි සහෝදර කෙහෙල්ගමුුවේ සිරිසුමන ස්වාමීන් වහන්සේ සමඟ එකතු වී විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීමට පුරෝගාමීව ක්‍රියා කළහ.

වාර්ෂිකව ශ්‍රීපාද වන්දනාවේ යන එන බැතිමතුන්ට නවාතැන් පලක් වූ මෙම විහාරස්ථානයේ අබලන්ව පැවති සංඝාවාසය අලුතින් ගොඩනැගීමට කෙහෙල්ගමුවේ සිරිසුමන හිමියෝ අපමණ වෙහෙසක් ගෙන කටයුතු කළහ. ප්‍රදේශයේ දානපතියන් ගේ දායක කාරකාදීන්ගේ ආධාර උපකාර ඇතිව විශාල මුදලක් වැය කොට ගොඩනැඟූ නව සංඝාවාසය මාර්තු 25 දින සඟ සතු කොට පූජා කිරීමෙන් අනතුරුව අධ¢ශතාධික ගරුතර මහා සංඝරත්නයට 27 වනදා සඟ සතු දානයත් පිරිනැමෙන අතර සදේවක ලෝක සත්වයාට පින් පැමිණවීමට කෙහෙල්ගලුවේ සිරිසුමන හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරයේ දායක සභාව ශාසනාරක්‍ෂක සමිතිය, තරුණ බෞද්ධ සමිතිය සියලු කටයුතු යොදා ඇත.