Print this Article


පුනරුප්පත්ති ලිපි මාලාව - 12 බ්‍රයිඩේ මර්ෆිගේ ස්වයං කථිත

පුනරුප්පත්ති ලිපි මාලාව - 12

බ්‍රයිඩේ මර්ෆිගේ ස්වයං කථිත අන්තරාභව තොරතුරු

පසුගියදා අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ අන්තරාභවය පිළිබඳ ථෙරවාදී යතිවරුන් දක්වා ඇති අදහස් සම්බන්ධව ය. එබැවින් මෙවර අපගේ අවධානය යොමුවන්නේ 20 වන සියවසේ මැද භාගයේ බොහෝ දෙනකුගේ අවධානය යොමු වූ බ්‍රයිඩේ මර්ෆිගේ අන්තරාභවය පිළිබඳ අනාවරණය පිළිබඳව ය.

ප්‍රශ්නය- බ්‍රයිඩේ මර්ෆිගේ ස්වයං කථිත අන්තරාභව තොරතුරු ථෙරවාදී අදහස් සමඟ ගැළපේද?

‘බ්‍රයිඩේ මර්ෆිගේ’ ස්වයං කථිත අන්තරාභවය පර්යේෂණ වාර්තාවකි. මෙම පර්යේෂණය සිදුකරනු ලැබුවේ ඇමරිකන් ජාතික මෝරි බෙර්න්ස්ටයින් නම් සුප්‍රකට පර්යේෂකයා විසිනි. මුලදී උග්‍ර භෞතික වාදියෙකු වූ මොහු මෝහනය හා පුනරුප්පත්ති පර්යේෂණ සඳහා යොමු වී ඇත්තේ අහම්බෙනි. කෙසේ හෝ පසුව මේ පිළිබඳ ඔහුගේ වැඩි කැමැත්තක් ඇති වී ඇති අතර විවිධ පුද්ගලයන් මෝහනයට පත් කරමින් පුනරුප්පත්තිය පිළිබඳ විශාල පර්යේෂණ සංඛ්‍යාවක් ඔහු විසින් සිදුකරනු ලැබ ඇත. මෙම පර්යේෂණ නිසා භෞතිකවාදය මත පදනම් වූ දේවවාදි ආගම් වලින් ඔහු සහ ඔහුගේ පර්යේෂණ දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කර ඇත.

ඔහුගේ මෙම පර්යේෂණ අතර වඩාත් ජනපි‍්‍රයත්වයට මෙන්ම මතවාද වලටද තුඩුදුන් පර්යේෂණය වූයේ ‘බ්‍රයිඩේ මර්ෆි’ පිළිබඳ පර්යේෂණය යි. මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ 1952 වර්ෂයේදී ය.මෙසේ මෝරි බෙර්නස්ටයින් විසින් මෝහනයට පත්කරන ලද විස්තර ලබාගෙන ඇත්තේ රූත් මිල්ස් සිමන්ස් නම් ලේඛිකාව මගිනි.ඇගේ පෙර ආත්මයේ නම බ්‍රයිඩේ මර්ෆි ය.ඇය අයර්ලන්තයේ උපත ලැබූ තැනැත්තියකි. මෙම පරියේෂණයේ දී ඇය හෙළිකරන තොරතුරු බ්‍රයිඩේ මර්ෆි ලෙස ඇය අයර්ලන්තයේ උපත ලබා ගත කළ ජීවිතයේ තොරතුරු ය.

බ්‍රයිඩේ මර්ෆි මිය යනවිට වයස අවරුදු 66 කි. ඇය මිය ගිය වර්ෂය 1864 යි. ඇය නැවත ඉපදී අත්තේ රූත් සීමන්ස් ලෙස 1923 වර්ෂයේ දී ය. මේ අතර කාලය අවුරුදු 59 කි. එනම් බ්‍රයිඩේ මර්ෆි මියගොස් රූත් සීමන්ස් ලෙස ඉපදීමට වර්ෂ 59ක් ගතව ඇති බව පැහැදිලිව පෙනේ.මේ අතරතුර කාලය තුළ ඇය කිසිදු ආත්මයක ඉපදී නැති අතර කාලය ගතකොට ඇත්තේ මනෝමය ශරීරයකිනි.අගේ මරණින් මතු ජීවිතය තිරෝකුඩ්ඪ සූත්‍රයේ එන මරණින් මතු පැවැත්මට බොහෝ සෙයින් සමානය.

බ්‍රයිඩේ මර්ෆි විසින් හෙළිකරන ලදුව මෝරි බෙර්න්ස්ටයින් විසින් සටහන් කරන ලද මෙම පර්යේෂණ වාර්තාව අතිශය දීර්ඝ වූවකි. එය 1956 දී මෝරි බෙර්නස්ටයින් විසින් ඊඩඥ ඉඥචපජඩ ධට ඕපඪඤඥර ර්භපටරයනුවෙන් කෘතියක් වශයෙන් පළකරන ලදී. එහි ප්‍රමාණවත් විස්තරයක් කන්නිමහර සුමංගල හිමියන් විසින් පරිවර්තනය කොට 1980 දී ‘බ්‍රයිඩේ මර්ෆි සහ අන්තරාභවය’ යනුවෙන් කෘතියක් වශයෙන් පළකොට ඇත. මේ පර්යේෂණය පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය අයට මෙම කෘති දෙකින් ලබා ගත හැකිය.

මෙහි දී අපගේ අවධානයට යොමුවන්නේ එම පර්යේෂණ වාර්තාවෙහි එන අවශ්‍යම කාරණා කිහිපයක් වෙත පමණි.මෝරි බෙර්න්ස්ටයින් සහ බ්‍රයිඩේ මර්ෆි අතර වන මෙම සාකච්ඡාව ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් සටහන් වූවකි. මෝරි බෙර්න්ස්ටයින් ප්‍රශ්න අහන අතර මෝහනයට පත්ව සිටින බ්‍රයිඩේ මර්ෆි ඒවාට පිළිතුරු සපයයි.

ප්‍රශ්නය :– ඔබ මිය ගිය අයුරු විස්තර කරන්න

පිළිතුරු:– මා තරප්පුවකින් වැටුණා. මගේ උකුළේ ඇට බිඳුණු බව පේනවා.

ප්‍රශ්නය :– එවිට ඔබ වයස්ගතව සිටියාද?

පිළිතුර:– ඔව් එවිට මට වයස 66 යි

ප්‍රශ්නය :- මිය යන විට ඔබට තද දුක් වේදනාවක් දැනුණා ද?

පිළිතුර :– නෑ. නිකම් වෙහෙසක් විතරයි

ප්‍රශ්නය :– ඔබ මරණින් පසුවත් ජීවත් වෙනවා යැයි විශ්වාස කළා ද?

පිළිතුරු:- ඔව්

ප්‍රශ්නය :- මරණින් පසු ඔබ හිටි තැන කෙබඳු ද ? ඒ ඔබ හිටි තැනට ඔබ කැමැති ද?

පිළිතුර: - ඔව්

ප්‍රශ්නය :- එය ඔබේ මිහිපිට ජීවිතයට වඩා හොඳ ද?

පිළිතුර :- නෑ

ප්‍රශ්නය :- එය හොඳ නැද්ද?

පිළිතුර:- නෑ. එය අඩුපාඩු සහිත එකක්. එය පිරිපුන් එකක් නොවෙයි. එහි බොහෝ දේවල් කරන්ට බැහැ. මොකක්වත් ඉටු කරගන්න බෑ. වැඩි වේලාවක් කෙනෙකුට කථා කරන්ටත් බෑ. ඒ අය නිකම් ඔහේ යනවා. වැඩි වේලාවක් නතර වන්නේ නැහැ.

ප්‍රශ්නය :- ඔබට කවදා හෝ දුක් වේදනාවක් දැනුණාද?

පිළිතුරු - නෑ.

ප්‍රශ්නය :- දුක් වේදනාවක් නෑ. හොඳයි ඔබට කවදා හෝ යමක් කන්නට සිද්ධ වුණා ද?

පිළිතුර– නෑ. කවදාවත් කෑවේ නෑ.කවදාවත් නිදාගත්තෙත් නෑ. එහි විඩාවට පත්වීමකුත් නෑ.

ප්‍රශ්නය :- ඔබ අන්තිමට ඒ ලෝකේ අත්හළ හැටි මට කියන්න.

පිළිතුර :– ආ! මම එහෙ අතහැරලා මෙහෙ උපත ලබා පසුව නැවැත මම ඇමරිකාවේ දී උපත ලැබුවෙමි. (ඇගේ එම උපත සිදු වී ඇත්තේ 1923 ඇමරිකාව් විස්කෝන්සින් නගරයෙහිය)

ප්‍රශ්නය:– ඔබ උපන් සිරුර කවුරුන් විසින් හෝ තෝරා දෙන ලද්දක්ද?

පිළිතුරු:- ඒ ගැන මම දන්නෙ නෑ.

ප්‍රශ්නය :– කවර සිරුරකට යනවා ද? කවර රටකට යනවාද? යන මේ දේවල් ඔබ දැනගත්තේ කෙසේද? මේ වගකීම් ඉසුලුවේ කවරෙක් ද?

පිළිතුරු:– මම දන්නේ නෑ. ඒවා නිකම් ඔහේ සිදුවෙනවා. මගේ මතකය හිස්වී යනවා. නැවත එකපාරටම මා බිලින්දියක් වෙනවා මට මතකයි.

ප්‍රශ්නය :– ඔබට ඒ කාලය තුළ මිහිපිට කවුරුන් සමඟ හෝ කථා කරන්නට බැරි වුණාද?

පිළිතුර:-: උත්සාහ කළා. නමුත් බැරි වුණා.

ප්‍රශ්නය :- හොඳයි ඔබ ඒ සිටිය ලෝකයේ (ඉනඪපඪබ එධපතඤ) සිටින කාට හරි මිහිපිට ඉන්න කා සමඟ හරි කථා කළ හැකි ද?

පිළිතුර:- මම දන්නේ නෑ.

ප්‍රශ්නය :– එය සිදුවෙනවා ඔබ කවදා හෝ දුටුවෙ නැද්ද?

පිළිතුර:– නෑ. උත්සාහ කළා . නමුත් බැරි වුණා. බොහෝ දෙනෙකුට මිනිසුන් සමඟ කථා කිරීමට ඕනෑ වුණා. නමුත් මිනිස්සු ඇහුම් කන් දෙන්නේ නෑ.

මෙම සාකච්ඡාව තවත් බොහෝ දුරට කෙරීගෙන යන අතර වැදගත් ප්‍රශ්න මෙන්ම වැදගත් (අප නොදත්දේ)බොහෝ තොරතුරුද මේ සාකච්ඡාව තුළින් දැනගත හැකිය.

ඉහත දෙබස් කාණ්ඩ තුළින් මරණින් මතු ජීවිතය පිළිබඳ බොහෝ දේ හෙළි පෙහෙළි කරයි. යමෙක් මියගිය පසු ටික දිනක් යනතෙක් ඔහු තමා මිය ගිය බවක් පවා විශ්වාස නොකරයි. තම ඥාතින් සමග කථා කිරිමට උත්සාහ කරයි. එහෙත් ඔවුන්, ඔහු කෙරෙහි අවධානය යොමු නොකරන නිසා ඔවුන් සමඟ එම සම්බන්ධතා පෙර සේ පවත්වාගෙන යෑමට නොහැකි නිසා, ඒ බව අවබෝධ කරගෙන ඔවුන්ගෙන් ටිකින් ටික ඈත්වෙයි.මරණින් පසු ඔවුන් ඒ ගත කරන ජීවිතය. හිස් වූවකි. කෑමක් බීමක් හෝ විඩාවක් නැත. පාවෙන්නාක් මෙන් ජිවත් වෙති. එහෙත් ඔවුන් එකිනෙකා අදහස් හුවමාරු කරගන්නා බවක් කියවේ. බ්‍රයිඩේ මර්ෆි ඉදිරිපත් කරන බොහෝ තොරතුරු ‘තිරෝකුඩ්ඪ සූත්‍රයෙන් ඉදිරිපත් කරන මරණින් මතු පැවැත්මට සමානය.

මතු සම්බන්ධයි

සටහන – බණ්ඩාර පිළවල


පුනරුප්පත්ති ලිපි මාලාව - 11