Print this Article


නුපුරුදු අය සුපුරුදු අය ලෙස පෙනෙන්නේ ඇයි?

නුපුරුදු අය සුපුරුදු අය ලෙස පෙනෙන්නේ ඇයි?

එක ජීවිතයකදී තමා සමග ආදරයෙන් බැඳී සිටි කෙනෙකු නැවත ජන්මයකදී හමු වූ විට පෙර පැවැති සුහදබව හා ළබැඳි බව යළිත් පිබිදෙනවා. බොහෝ විට, එවැනි සමානකම් ඇති වෙනත් කෙනෙකු දැකීමෙන් වුවත් සුපුරුදු ලෙස පෙනෙන්නට පුළුවන්. මෙය වළකා ගැනීමට අනෙක් තැනැත්තා හෝ තැනැත්තිය දක්වන ප්‍රතිචාරය උපකාරී වෙනවා.

සක්වළ තුළ ඇති බොහෝ දේ අතර ආකර්ෂණයක් ඇත. මී මැස්සා මලින් රොන් උරා බොනවාට වඩා වසු පැටියා මවගෙන් කිරි උරා බොන විට ළබැඳිබවක් පවතී. ඇලුම් සහගත බවට රූපයද, ප්‍රාණය ද ඉවහල් වේ. නොතිර ලොව තුළ මතකය ඉතිරිවේ නම් එහි පතුලටම කිඳා බැසද ඇති ආදරය සැබවින්ම කෙබඳුද? “ සක්වළ සක්මන 34 වෙනි දැක්ම ඊට පිළිතුරු සපයයි.

හනායක හාමුදුරුවනේ, එදිනෙදා ඉඳහිට හමුවන සමහර නුපුරුදු අය දැක සුපුරුදු අය ලෙස පෙනෙන්නේ ඇයි?

දැන් යම්කිසි සිතක හට ගන්නා මනෝභාවයන් මේ ජීවිත කාලයේදි යළි යළිත් හට ගන්නවා වගේ .මතු ආත්මභාවලදීත් ඇති වෙනවා.පෙර ආත්මවලදී ඊට සම්බන්ධ වූ අරමුණු හෝ ඒවාට සමාන අරමුණු හමුවීමෙන් එම මනෝභාවයන් ඉක්මනින් හා වේගවත්ව උද්දීපනය වෙනවා.

මේ අනුව, එක ජීවිතයකදී තමා සමග ආදරයෙන් බැඳී සිටි කෙනෙකු නැවත ජන්මයකදී හමු වූ විට පෙර පැවැති සුහදබව හා ළබැඳිබව යළිත් පිබිදෙනවා. බොහෝ විට, එවැනි සමානකම් ඇති වෙනත් කෙනෙකු දැකීමෙන් වුවත් සුපුරුදු ලෙස පෙනෙන්නට පුළුවන්. මෙය වළකා ගැනීමට අනෙක් තැනැත්තා හෝ තැනැත්තිය දක්වන ප්‍රතිචාරය උපකාරී වෙනවා.

එනම්, තමා දුටු තැනැත්තා හෝ තැනැත්තිය ඊට දක්වන ප්‍රතිචාරය වෙනස්නම්, තමාට වැරැදීමක් සිදු වී ඇති බව වටහා ගැනීමට මඟ පෑදෙනවා. දුටු සැණින් හෝ ටික කලකින් හෝ දෙදෙනාටම එලෙස සුපුරුදු බවක් දැනෙනවා නම්, නිසැකවම එතන සාංසාරික (ආත්මීය) සබැඳියාවක් පවතිනවා.

නුපුරුදු අය සුපුරුදු ඇයි?

හොඳයි, එවැනි අය සමග කුමන අන්දමේ සම්බන්ධයක්ද? සැබවින්ම පැවතිය හැකි වෙන්නේ. ඇතැම්විට එවැනි අය ඔබේ පෙර භවයේ, පෙම්වතිය හෝ පෙම්වතා විය හැකියි. එහෙමත් නැතිනම්, ඒ ඔබේ එක කුස උපන් සහෝදරයා හෝ සහෝදරිය විය හැකියි. තවත් සමහරවිට, ඒ ඔබේ පෙර භවයේ දුව පුතා හෝ මව , පියා හෝ ළඟම ඥාති හිතවතෙකු වෙන්නට පුළුවන්.

මේ විදියට නුපුරුදු අය සුපුරුදු ලෙස දැනී හඳුනගන්න අය මෝහනයට පත්කර ඒ බව සනාථ කර ගෙන තිබෙනවා. මෙබඳු හඳුනා ගැනීම් සංසාරේ බොහෝ දුරාතීතයේ සිට ක්‍රමිකව ගලාගෙන එන දෙයක්. බුදුරදුන් ජීවමාන දවසත්, ඊට පෙරත් මෙලෙස නුපුරුදු අය සුපුරුදු ලෙස පෙනී ඕනතරම් හඳුනා ගෙන තිබෙනවා. සාකේත නුවරදී බුදුරදුන් දැක වහා දුව ඇවිත් බුදුරදුන්ට මගේ පුතා කියා ගෙදරට වඩමවා ගිය මහලු බැමිණියගේ සිදුවීමද එබඳු එක් අවස්ථාවක්. අප සසරින් එතෙර වෙනතාක් කල් මෙවැනි බැඳීම් යළි යළිත් අලුත් වෙමින් ඉදිරියට ගලා යාම බොහෝ විට සිදුවෙනවා.

රූපයේ පෙර සලකුණු

මේ විධියට හඳුන ගන්න ,පෙරභවයේ රූපයට සමාන ස්වරූපයක් මේ ආත්මයේදීත් ඔහු හෝ ඇය තුළ පිහිටිය යුතුයි නේද?

ඔව්. පෙර භවයේ මිය ගිය තැනැත්තා යළි ඉපදුණ විට එතනදී එක ජීවිතයක් නැවත අලුත් ජීවිතයකට ගමන් කරනවා. එනම්, පංච උපාධානස්කන්ධය යළි අලුත් ජීවිතයකට ගමන් කිරීමයි .මෙහිදී සිදු වෙන්නේ. මෙහිදී මනස හා සිත පිරිසුදු වූ තරමට ඊළඟ ආත්මභාවයට එයින් සියුම් ප්‍රමාණයක් ගලා යමින් තවත් ප්‍රභාෂ්වර වෙනවා.බෝධිසත්ව ආත්මභාව වල සිට බුදු වූ ආත්මභාවය දක්වා විමසා බැලීමෙන් වුවත් ඒ බව පැහැදිලි කරගත හැකියි.

නමුත් මනස අපිරිසුදු අයගේ ශරීර ලක්‍ෂණ ඊළඟ ආත්මයට එකතු වෙන්නේ ඊට වඩා ගොරෝසු හා දළ ප්‍රමාණයකුයි. ඒක හරියට, ඉතාම සියුම් පෙරණයකින් වතුර (පැන්) පෙරුවාම එයින් පෙරී යන්නේ ඉතාම පිරිසුදු වතුරයි. එතරම්ම සියුම් නැති පෙරණයකින් පෙරී යන්නේ, ඊටත් වඩා ටිකක් පිරිසුදුකමින් අඩු වතුරයි. එමගින් පෙරණයවන වතුරවල පැහැය වගේ තමයි, විවිධ සත්ව ආත්මරූප සොබාවත් ඊළඟ භවයට ගමන් කරන්නේ.

ඒ වගේම,පෙර භවයේ ජීවත්වුන පවුල්වලට ජානවලට,දේශගුණයට තරමක් හෝ ආසන්නව නැවත අලුත් ජීවිතයක් හිමිවීමට අවකාශයක් පවතිනවා. එවිට ක්‍රමිකව තරුණවියට එළඹීමත් සමග භවයේ රූපයට තරමක් හෝ සමීපව දිස්වීම ස්වභාවිකයි. මීට අමතරව, මහලු මිනිසෙකුගේ මුහුණුවර කුඩා ළමුන් තුළ පිහිටනවා. ඒ සඳහාත් ආත්මයෙන් ආත්මයට ගලා යන ශරීර සාන්ද්‍රණය බලපානවා.

ගැහැණු පිරිමි හැඩහුරුකම

එතකොට,මනුෂ්‍ය අමනුෂ්‍ය සියලු සත්වයන්ටම මේ කාරණා බලපැවැත් වෙනවාද?

ඔව් දැන් ඔය භූතාත්ම අරගත්තා යැයි කල්පනා කරන නූතන පින්තූරවල ඒ බව යම් පමණකට සටහන් වී තිබෙනවා. නමුත් තවමත් නූතන කැමරා කාචවල තීව්‍රබව අඩුකම නිසා සමහර භූ®ත රූපවල සටහන් වී තිබෙන්නේ දුමෙන් වැසී ගිය ඉතා සූක්‍ෂම ශරීර රූපයි. තව සමහර ඒවායේ දිස්වෙන්නේ ආලේප ලප කිහිපයක් පමණයි.

පවින් බරවන සත්වයන් පහළ නිරයන්ට කිඳා බැසීමත් පිනෙන් පිරුණ සත්ව ආත්ම ඉහළ දිව්‍ය බ්‍රහ්ම ලෝකවලටත් ඇදී යනවා. පින්වත් සත්වයන් බ්‍රහ්ම ලෝකයට යනකොට ස්ත්‍රී පුරුෂ කියලා පවා කිසිදු වෙනසක්,භේදයක් නැහැ කියලා බෞද්ධ ඉගැන්වීම් වල දැක්වෙනවා. එනම් ගැහැණු පිරිමි හැඩහුරුකම පවා එහිදී ක්‍ෂය වී යනවා. ඒ තරමටම ඉතා සියුම් රූප ප්‍රමාණයකුයි අවසානයේදී ශේෂ (ඉතිරි) වෙන්නේ.ඒ වගේම ප්‍රථම ධාන්‍ය ලබා මිය යන සත්වයන්ටත් ඉනික්බිතිව ස්ත්‍රී පුරුෂ භේදයක් නැති බව බුදුදහමේ විස්තර කෙරෙනවා.

එක වගේ හත් දෙනෙක්

එහෙමනම්, එකවගේ හත් දෙනෙක් ලෝකයේ ඉන්නවාය කියන කථාවේ පදනම කුමක්ද?

ඒක ඉතින් සාමාන්‍යදෙයක්. එක වගේ හත් දෙනෙක් නොවෙයි. ඊට වැඩිය වුණත් මේ මහා සක්වළේ ඉන්නට පුළුවන්. එකම ශරීරයකින් යුත් විවිධ හැඩහුරුකම ඇති කෝටි සංඛ්‍යාත ප්‍රජාවන් අතර එක වගේ අය ඕන තරම් ඉන්නවා. එහෙම නොසිටියොත් තමයි පුදුමය වෙන්නේ.

එහෙම වුණාට ඒ අයගේ අදහස් උදහස් උගත්කම්, ගති පැවතුම් එහෙම් පිටින්ම වෙනස් රූපය අතින් නිවුන් බවක් සමාන බවක් දිස්වුණාට ඔවුන්ට වෙන වෙනම අනන්‍යයවූ විඥනයකුයි පවතින්නේ. මේනිසා බාහිර රූපය එක වගේ වුණාට අනෙක් සියලුම දේවල් අසමානයි. හරියට පෘථීවියේ බාහිර ස්වරූපයට සමාන නිවුන් ග්‍රහලෝක දැනටමත් සොයා ගෙන තිබුණත්. ඒවා අභ්‍යන්තරික වශයෙන් සපුරාම වෙනස් වගේ දෙයක්. එබැවින් එක වගේ ඒ හත්දෙනා සක්වළ එක තැනකදී එකට මුණ ගැසුණ දවසක වුණත් ඔවුන් වෙන්කර හඳුනා ගන්න එක බොහොමත් පහසුයි.

සැ.යු. සක්වළ සක්මනට ඔබේ ගැටලු අදහස් හා යෝජනා – බුදුසරණ කර්තෘ, ලේක්හවුස්, කොළඹ ලිපිනයට යොමු කරන්න.


සක්වළ සක්මන 33- සක්වළ එතෙරට ඇසෙන සෙනෙහසේ වෙනස