Print this Article


වසර 2320ක් සපිරුණු මහා විහාර වංශික උපසම්පදාවේ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ 260 සංවත්සරය හා ප්‍රවර උපාලි මා හිමි

 වසර 2320ක් සපිරුණු මහා විහාර වංශික උපසම්පදාවේ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ 260 සංවත්සරය හා ප්‍රවර උපාලි මා හිමි

 

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑමෙන් බුද්ධ වර්ෂ 237 දී දඹදිව ධර්මාශෝක මහාධිරාජයා ස්වකීය මිහිඳු පුතණුවන් හා සංඝමිත්තා දියණිය පැවිදි උපසම්පදා කරවා 12 වස් සපිරුණු මිහිඳු හිමියන් හා ඉන් පසුව ශ්‍රී මහා බෝධි ශාඛාවත් සමගම සංඝමිත්තා ථෙරණියන් ශ්‍රී ලංකාද්වීපයට එවා දේවානම් පියතිස්ස මහ රජතුමන්ගේ සහෝදර අරිට්ඨ කුමාරයා හා එම පිරිසත්, අනුලා දේවිය ඇතුළු එම සියලු රාජකීයයන් පැවිදි උපසපන් කරවා ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය පිහිටුවීය.

අනතුරුව මහානාග කුමාරයා ඇතුළු පිරිස රෝහණයට යාමෙන් පසුව ශූරතිස්ස රජ දවස සේනගුත්තික, එළාර ආදී විදේශීය ආක්‍රමණ නිසා ලංකා රාජ්‍යයත්, සම්බුද්ධ ශාසනයත් පරිහානියට පත්වූ නමුත් ශ්‍රද්ධාමාමක සිංහල රාජාරාජ මහාමාත්‍යාදීන් නිසා ක්‍රමයෙන් වසර 1000ක් පමණ කාලයක් මුළුල්ලෙහි සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් අනුරාධපුර යුගය අවසානය දක්වාත් පවත්වාගෙන ඒමට හැකි විය.

විදේශීය හා සොලී ආක්‍රමණ නිසා ලක්දිව සියලුම ජාතික, ආගමික හා ශාස්ත්‍රීය කටයුතු විනාශයට පත්වූ අතර, පොළොන්නරු රාජ්‍ය පිහිටුවාගත් මහලු විජයබා රජතුමා, රක්‍ඛංග දේශයෙන් ද උපසම්පදා භික්‍ෂූන් ගෙන්වාගෙන ලක්දිව පරිහාණියට පැමිණි උපසම්පදාව නැවතත් පිහිටුවා සම්බුද්ධ ශාසනය වැඩිදියුණු තත්ත්වයට පත්කළ අතර, මහා පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල, ලීලාවතී ආදී රාජ්‍ය කාලවලින් පසුව කාලිංගමාඝ, චන්ද්‍රභාණු නිසා පොළොන්නරු පුරයම අතහැර දඹදෙණියට සිංහල රාජ්‍ය ගෙනයාමට සිදුවිය. එනමුත් උපසම්පදාව නිසාම සම්බුද්ධ ශාසනය පවත්නා හෙයින් දඹදෙණි යුගයෙහි දෙවන පරාක්‍රමබාහු යාපහුනුවර පළමුවන බුවනකබාහු, ඇතුගල්පුර දෙවන බුවනකබාහු, ගම්පොල 3 වන විජයබාහු හා වීරබාහු ද කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු, සෙන්කඩගල වීරවික්‍රම රාජ්‍යය කාලවලදී රාජ්‍ය සහායෙන්ම උපසම්පදා විනය කර්‍ම පැවැත්වූ අතර, 1 විමලධර්මසූරිය, 2 වන විමලධර්මසූරිය රාජ්‍ය කාලවලදී රක්‍ඛංග දේශයෙන් උපසම්පදාව ගෙන්වා මහනුවර ගැටඹේතොට උපසම්පදා කරවා මහනුවර පෝයමළු විහාරයේ එකී භික්‍ෂූන් ද වැඩ විසූ අතර, පීතෘඝාතක 1 වන රාජසිංහ රජු කාලයේ භික්‍ෂූන් වහන්සේ හා ධර්ම ශාස්ත්‍රීය පොත්පත් ආදි සියල්ලම විනාශයට පත් කිරීම නිසා සම්බුද්ධ ශාසනය අන්ත පරිහාණියට පත්වූ බව මහාවංශාදී ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් වේ.

එවන් යුගයක, වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ සූරියගොඩ මහතෙරුන් සමීපයෙහි පැවිදි වුවද උපසම්පදාවට ප්‍රමාණවත් භික්‍ෂූන් සොයා ගැනීමට නොහැකි වූ හෙයින්, පළමුව පිරිහී ගිය අධ්‍යාපනය භාෂා හා ධර්මශාස්ත්‍ර වැඩිදියුණු තත්ත්වයට පත් කරලමින් සම්බුද්ධ ශාසනය දියුණු කිරීමට නම් උපසම්පදා භික්‍ෂූන් වහන්සේ වැඩසිටිය යුතු යැයි සිතා විදේශයකින් හෝ උපසම්පදාව ගෙන්වා ගැනීමට කටයුතු කරණුයේ විජය රාජසිංහ රාජ්‍ය කාලයේදී දෙවතාවක් දූතයන් යැවූ නමුත්, පළමු ගමනේදී දූතයන් ගිය නැව මුහුදේදී විනාශ විය. විල්බාගෙදර මුහන්දිරම්රාල පමණක් ඉතිරිවිය. දෙවන ගමනේදී එම රජතුමා කළුරිය කළෙන් පිරිස ආපසු පැමිණියේ ය.

එහෙත් අධෛර්යට පත් නොවූ වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ ස්වකීය ශිෂ්‍යා වූ ද, කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමාට කරුණු කියා නැවතත් විල්බාගෙදර මුහම්දිරම් ඇතුළු පිරිස ඕලන්ද නැවකින් සියමට යැවීය. එම පිරිස සියමේ අයෝධ්‍යා පුරයට ගොස් පරමධාර්මික රජතුමාට කරුණු සැලකළ විට රජතුමා ඒ වන විට ලංකාවෙන්ම සියම් දේශයට රැගෙන ගිය උපසම්දාවම නැවතත් ලංකාවට ගෙන යාමට පැමිණීම පිළිබඳව ඉමහත් ප්‍රමෝදයට පත්වූයෙන් සංඝරාජ මාහිමියන් ප්‍රධාන මහ සඟරුවනට දැන්වීය.

ක්‍රිස්තු වර්ෂ 1339 දී “ ශූර්යය වංශ රාම මහා ධර්ම රාජ” නමැති ලිදෙය්‍ය රජ ලක්දිවින් සංඝරාජ නමක් වැඩමවාගත් සැටි සුඛෝදය නුවර තිබී දැනට බැංකොක් නුවරට ගෙනවිත් තිබෙන ශිලා ලිපියේ සඳහන් කරුණු ආචාර්ය පරණවිතාරණ මහතා සඳහන් කරන අයුරින්” සියමේ සුඛෝදය නුවර රාජ්‍ය කළ ලිදෙය්‍ය රජ ශක වර්ෂ 1283 දී තමාගේ රටේ ශාසනශෝධන සඳහා පණ්ඩිත ඇමතියෙකු ලක්දිවට යවා මහාඝාමී සංඝරාජයන්ට සියම් රටට වැඩම වීමට ආරාධනා කරවීය. එතුමා ශික්‍ෂාකාමී ත්‍රිපිටක ධරයෙක් විය. රහත් නමක් සේ සලකනු ලැබීය. ඒ තෙරුන් ඒ ආරාධනාව අනුව සියමට පැමිණ, කන්නා නුවර පසුකොට සුඛෝද නුවරට යන මගට පැමිණි විට රජතෙම සුඛෝදය නුවරින් බටහිර දෙස පිහිටි අම්බවනාරාමයෙහි කුටි ආදිය සකස් කිරීම සඳහා ශිල්පීන් යැවීය. ඔවුන් විසින් එය සමතලා කොට වැලි ඉස විශ්වකර්‍ම නිර්මිතයක් මෙන් සකස් කරන ලදී. භික්‍ෂු පිරිස සමඟ මහ තෙරුන් නුවරට ආසන්න වූ කල්හි රජතුමා පුවක් ගස් කල්ප රුක්‍ෂ ආදියෙන් මාර්ගය සරසවා පොරි විසුරුවා ඉටිපන්දම් දල්වන්ට සැලැස්වීය. ඇමතියන්ට ද මන්ත්‍රීවරුන්ට ද රජ පවුලේ ඥාති පිරිසට ද තෙරුන්ට පෙර ගමන් කොට චවුට් නමැති තැන සිට ජ්‍යංඩෝං නම් තැන දක්වා ද පාන්චÁද්‍ර පෙදෙසේ සිට සුඛෝදය දක්වා ද වැඩමවාගෙන එන සේ නියම කළේය.

නුවර නැගෙනහිර දොරටුවේ සිට බටහිර දොරටුව දක්වා ද එතැන් සිට අම්බවනය දක්වා ද මාර්ගය ශුද්ධ කරවා අව්ව වැලැක්වීම සඳහා නානා වර්ණ වස්ත්‍රවලින් ඒ මාර්ගය ආවරණය කරවිය. මල්දම් හා විචිත්‍ර වස්ත්‍රයන් තැනින් තැන එල්වා එතුමාගේ පාදයන් පොළොවට ස්පර්ශ නොවන සේ පාවාඩ එලන්නට නියම කළේය. ඒ සැරසීම්වල විස්තර කිය නොහැකි වුවත් එය දෙව්ලොව මගක් වැනි යැයි කොටින් කිය හැක. රජතුමා මහ තෙරුන්ට අම්බවනාරාමයෙහි වස් එළඹෙනසේ ආරාධනා කළේය. වස් අවසානයේදී මහා පරිත්‍යාගයන් කොට මිශ්‍ර ලෝහයෙන් පිළිමයක් වාත්තු කරවීය. එය නුවර මැද මහා ධාතු චෛත්‍යය අසල තිබෙන පිළිමයට සමානය. ඉන්පසු රජ තෙම අව අටවක් ලත් බදාදා හවස පුනර්වසු නැකත ඇති කල්හි මහාසාමි මහතෙරුන් හා මහා සංඝයා ස්වකීය භවනයට කැඳවා තමා නිතිපුද පවත්වන රන්පිළිමය ඉදිරියේදී මහ තෙරුන්ගෙන් මහණකම ලබාගෙන සාමණේර නමක් විය. මේ පුණ්‍ය කර්මයෙන් මම ශක්‍ර සම්පත් ආදියත් බලාපොරොත්තු නොවෙමි. බුද්ධත්වය ලබන්නට බලාපොරොත්තු වෙමියි කියා මාලිගාවෙන් බැස ආරාමයට යෑම සඳහා පය තැබූ කෙනෙහි පොළොව කම්පා විය. මේ රජු මහණ වූ පසු අවට රජුන් මෙරට අල්ලා ගැනීමට උත්සාහගත් බැවින් රටවැසියෝ නැවත රාජ්‍යය කරන මෙන් ඒ රාජ පැවිද්දාගෙන් ඉල්ලා සිටියහ. සිංහල සංඝරාජ තුමා මිනිසුන්ගේ ඉල්ලීම අනුමත කළ බැවින් හෙතෙම ගිහිවී නැවත රාජ්‍ය ගෙන සතුරන් පලවා හැරියේය.

මේ අයුරින් ලක්දිව හා සියමේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පවත්නා කල්හි සියමේ නම්බිසි නුවර අසල රත්තවන මහා විහාරයෙහි විසූ රතනපඤ්ඤ හිමි ලක්දිවින් උපසම්පදාව ලබාගෙන “ සිංහල ගණයා යැයි” සියමේ ප්‍රකට වූ සංඝ පරම්පරාවට අයත්ව බුද්ධ වර්ෂ 260 හෙවත් ක්‍රිස්තු වර්ෂ 1517 දී රචනා කරන ලද “ ජිනකාලමාලි” නම් ග්‍රන්ථයෙහි දැක්වෙන අයුරින් සිරිධම්ම රජු මගින් රෝච රජ සිංහල බුද්ධ ප්‍රතිමාවක් සුඛෝදය නුවරට ගෙන ගොස් පුද පූජා පැවැත්වූ සැටිත් අවසානයේදී එම සිංහල ප්‍රතිමාව ජංරාය පුරයෙහි මහා බුද්ධරූප විහාරයේ තැන්පත් කොට පුදපූජා පවත්වමින් ඒ හා සමාන අනුරුවක් ද සාදවා මහෝත්සව පැවැත් වූ සැටි දැක්වේ.

බුද්ධ වර්ෂ 1967 දී ක්‍රිස්තු වර්ෂ 1424 දී සියම් රටෙන් මහාධම්ම ගම්භීර, මහා මේධංකර ආදී තෙරවරු 25 නමක් හා කාම්බෝජ රටෙන් මහා ඤානසිද්ධ ආදි ථෙරවරු අටනමක් ද, රාමඤ්ඤ රටෙන් සය නමක් ද ලක්දිවට අවුත් යාපා පටුනේ ඔරු එකට ගළපා සෑදවූ මණ්ඩපයේ වනරතන මහා ස්වාමීන් කර්‍මවාක්‍යාචාර්යයව හා ධම්මචාරී නමැති ධර්මාචාර්යයන් උපාධ්‍යාය කොට විංශද්වර්ගික මහා සංඝයා විසින් උපසම්පදාව ලබාගෙන සියම් රටට එන අතරමගදී නැවේදී බ්‍රහ්ම හා සෝම ස්ථවිර උපසම්පදා කොට අයෝධ්‍යාවට පැමිණ පරමරාජ රජුගේ බිසවගේ ආචාර්ය වූ ශීල විසුද්ධි, සද්ධර්‍ම කෝවිද දෙනම ද, සජ්ජනාලය නුවරදී බුද්ධ සාගර තෙරුන් ද උපසම්පදා කොට ;ව්ලාංග නුවරට ගොස් වංක නදියේ වච්ච්‍යංජ නමැති තොටේදී උපසම්පදා කර්‍මය කරමින් එතැන්පටන් හරිපුංජය ආදී තොටවලද උපරිමාරාමයෙහි කණ්ඩසීමාවෙහි ද ජයසේන පුරයට ගොස් පල්ලංකදීපයේ ද රත්තවන විහාරයට ගොස් පෝය ගෙයක් ද කරවා ජංරාය පුරයෙහි සුවණ්ණ පාසානක නම් තැනදී ද තිස්ස රජුගේ රටෙහි ද උපසම්පදාව සිදුකරන ලදී.

එම උපසම්පදා සිහල ගණයා නමින් හැඳින්විය. මෙම සිංහල වංශික භික්‍ෂූහු නොයෙක් ප්‍රදේශවලින් උපසම්පදා අපේක්‍ෂකයින් ගෙනවුත් නම්බිසි පුරයට අවුත් වාර්ෂිතව මෙහි බිලකබද්ද සීමාවෙහි උපසම්පදාව සිදු කළහ.

මේ අයුරින් ලක්දිවින් ගෙන ගිය උපසම්පදාව සියම් රටේ පිහිට වූ අතර, බෝධි රෝපණය සිදු කිරීමෙන් අනතුරුව අනුරුද්ධ රජ ශ්‍රී ලංකාවෙන් ත්‍රිපිටකය ද රැගෙන යාමත් යන සිද්ධීන් දෙස බලන විට ලක්දිවින් උපසම්පදාව පමණක් නොව බුද්ධ ප්‍රතිමා වහන්සේලා, බෝධීන් වහන්සේලා, ත්‍රිපිටකය හා ධාතූ®න් වහන්සේලා වැඩමවාගෙන ගොස් සම්බුද්ධ ශාසනය පිහිට වූ අයුරුත් මැනවින් පැහැදිලි වේ.

මේ අයුරින් සම්බුද්ධ ශාසනය සියම් රටේ වැඩිදියුණු වූ මොහොතක පරමධාර්මික රජතුමා සංඝරාජ හිමියන් සමග සාකච්ඡා කොට ලක්දිව නොමැති ධර්‍මවිනය පොත් සහිතව, ධර්‍ම විනයධර අතිරේක දසවර්ගික භික්‍ෂූන් වහන්සේ වැඩමවාගෙන ලක්දිවට යාම සඳහා පහසුකම් සලස්වා එකී ලක්දිවින් ගිය දූත පිරිස සමග විනය කර්‍ම ආදී ශාසනික කටයුතුවල අති දක්ෂ වූ ප්‍රවර උපාලි හිමි, අරිය මුණි, මහානාම හිමි, බ්‍රහ්මජෝති හිමි, මහා පුණ්ණ හිමි, චÁදසාර, සාරචන්‍ද, මණිජෝති, චÁදජෝති, ඉÁදසුවණ්ණ, බ්‍රහ්මස්සර, යසදින්න, මහාසුවණ්ණ, මණිසාර, ධම්මජෝති, මහාමුණි, පුණ්‍යජාත, ඉÁදජෝති යන මහා ථෙරවරුන් සමග සාමණේර භික්‍ෂූන් 07 නමක් හා ඇමතිවරු 3ක් ද ලංකාවට එවීම සඳහා නියම කොට ඇමතිවරු 3 සමඟ ස්වර්ණමය බුදු පිළිමයක්, රන්පත්ඉරුවල ලියන ලද කම්මාවාචා පොත හා ධර්‍මවිනය ග්‍රන්ථයන් ද කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට පිළිගැන්වීම සඳහා ත්‍යාගයන් ද උපසම්පදාව ගෙන ඒම පිළිබඳ සංදේශය ද ක්‍රි. ව. 1752 දී මහත් පෙරහරින් විල්බාගෙදර මුහන්දිරම් සමගම සියම් නැවකින් ද සෙසු පිරිස ඕලන්ද නැවකින් කොළඹට ද පැමිණීමට සැලැස්විය.

ත්‍රිකුණාමලයට පැමිණි මෙම සියම් පිරිස ඇහැලේපොල අදිකාරම් ඇතුළු අමාත්‍යවරු මහත් සත්කාර සම්මානයෙන් පිළිගෙන උපාලි තෙරුන් ඇතුලු පිරිස ගොඩපොල නුවරට වැඩමවාගෙන ආහ. පෝයමළු විහාරපදවිය ලැබී තිබූ කොබ්බෑකඩුවේ සිරිනිවාස සාමණේරයන් ද අස්ගිරි විහාර පදවිය ලැබී තිබූ නාවින්නේ සාමණේරයන් ද වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ සමග විහාර දෙකේ සාමණේරයන් වහන්සේලා එම ගොඩපොළ නුවරට ගොස් උපාලි හිමියන් ඇතුලු සියම් භික්‍ෂූන් පිළිගන්නා මොහොතේ ඉසරණංකරෝ කෝ” යන්නෙන් උපාලි මහ තෙරුන් සරණංකර හිමියන්ට කථා කොට පාලි භාෂාවෙන්ම පිළිසඳරෙහි යෙදෙමින් අදාළ සාකච්ඡා සිදුවිය. එම ස්ථානයේදීම උපාලි හිමියන් විසින් උපසම්පදාවේ පුහුණු කිරීම් කටයුතු සඳහා වැලිවිට සරණංකර හිමි, තිබ්බටුවාවේ බුද්ධරක්‍ඛිත හිමි හා කොබ්බෑකඩුවේ සිරිනිවාස හිමි, බ්‍රහ්මජෝති කම්මාවාචා හිමියනටත්, නාවින්නේ, මැදවෙල, දරමිටිපොල, ගිණිගත්පිටියේ යන සිව් නම මහාපුණ්ණ කම්මාවාචා හිමියන්ට භාර කරමින් සියම් දේශයෙන් ගෙනා සිවුරුවල දිග පළල පෙන්වා සිවුරුකඩ කපන ලෙසට ද නියම කොට පෝය මළු හා අස්ගිරි විහාර දෙකේ සෙසු හිමිවරු සියම් දේශයෙන් පැමිණි සෙසු කම්මාවාචා හිමිවරුනට ද භාරකොට උපසම්පදා කටයුතු සඳහා පුහුණුව ලබා දීමට නියම කොට ඇත.

සියලු කටයුතු නිමාකොට එකී පිරිස ගොඩපොලනුවර සිට අලුත්ගංතොටින් මෙගොඩට වැඩමවන කල්හි පෙරගමන්ගත් කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමා සක්විතිරුවනක් ලැබුණාක් මෙන් ඒ සඟරුවන් දැක නමස්කාර කොට පිළිගෙන පිළිසඳරෙහි යෙදී අපමණ රාජ්‍ය උත්සව ශ්‍රීයෙන් එම ප්‍රවර උපාලි හිමි ඇතුලු සෑමදෙනා වහන්සේම යානාවලින් පෝයමළු විහාරයට හා රජතුමාගේ මල්වත්තට වැඩමවා ලැඟුම් ගෙවල්ද සලසා දුනි. ක්‍රි. ව. 1753 ජූලි 15 දින කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ මල්වත්ත මැද ඉදිකොට තිබූ ශාලාව විසුංගාම සීමා කොට සියමෙන් පැමිණි ඇමති කෙනෙක් යානාවකින් පෙරහර සහිතව ගෙන්වා පළමුව පැවිදි උපසම්පදා කොට දෙවනුව පෝයමළු විහාරයේ වැඩවිසූ කොබ්බෑකඩුවේ, වැලිවිට, හුලංගමුවේ, බඹරදෙණියේ, තිබ්බටුවාවේ යන සාමණේරයන් වහන්සේලා ද අස්ගිරි විහාරයේ නාවින්නේ සාමණේරයන් වහන්සේ ද උපසම්පදාවට පත් කරමින් වර්තමාන සම්බුද්ධ ශාසනයේ ප්‍රථම උපසම්පදා මහා විනය කර්‍මය සිදු කිරීමෙන් කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමන් ඇතුළු ශ්‍රී ලංකා ධරණිතලයම අසීමිත ප්‍රමෝදයට පත් කෙරිණි.

එම සයනම පෙරවස් විසීමට සලස්වා එතැන් පටන් මල්වතු අස්ගිරි විහාර දෙකේම සාමණේරයන් වහන්සේලා උපසම්පදා කොට පසුවස් විසීමට සැලැස්වූහ. ඒ අයුරින්ම ලක්දිව නොයෙක් ප්‍රදේශවලින් පැමිණි සාමණේරයන් වහන්සේලා 700ක් උපසම්පදා කොට කුලදරුවන් 3000ක් පැවිදි කරවා සම්බුද්ධ ශාසනයත් ධර්‍මශාස්ත්‍රයත් දියුණු කිරීමට පටන් ගති. වසර 03ට පසු උපාලි මාහිමියන් ඇතුළු ප්‍රමාණවත් භික්‍ෂූන් වහන්සේ කීප නමක් නතරවී සෙසු සියම් භික්‍ෂු පිරිස සියම් රටට යෑමට පිටත්වන මොහොතේ කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමා දළදා වහන්සේගේ ලාංඡනය ද වෙරළු මිණියෙන් කළ බුද්ධ රූපයක් ද දක්‍ෂිණාවෘත සංඛයක් ද ආදී ත්‍යාග සහිතව අයෝධ්‍යාවට යැවීය.

දෙවන වරද පැමිණි සියම් භික්‍ෂූන් වසර 04ක් ඇතුළත 300ක් උපසම්පදා කොට සිය ගණන් පැවිදි කරවා අභිනව කතිකාවතක් ද කළහ. එකල ඔවුන් ද සියම් දේශයට යාමට කැමති වූ කල්හි කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමා සියම් දේශාධිපති පරම ධාර්මික මහ රජතුමාගේ නියෝගය ද හා ප්‍රවර උපාලි හිමියන්ගේ උපදෙස් ද අනුව, මෙවැනි උතුම් ශාසන ක්‍රියාවකට මුල් වු වැලිවිට සරණංකර හිමියන්ට මල්වතු අස්ගිරි උභය මහා විහාරය ඇතුළු ශ්‍රී ලංකාද්වීපයට ම සංඝරාජ පදවිය ද 1760 දී පිරිනැමීය. එකල ප්‍රවර උපාලි මා හිමියෝ ද පෝයමළු විහාරයේ කොබ්බෑකඩුවේ ශ්‍රී නිවාස නාහිමියන්ගේ පන්සලේදී අපවත් වූහ. කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමා සංඝරාජ මාහිමියන්ගේ හා සියම් භික්‍ෂූන්ගේ උපදෙස් ලබාගෙන ගෙඩිගේ ආදාහන මළුවේදී ආදාහන කළේය. උපසම්පදාදී විනය කර්මවලට ප්‍රමාණවත් භික්‍ෂූන් නතර කොට සියම් රටට යැවීය.

3 වන වතාවටත් සියම් දේශයෙන් භික්‍ෂූන් වැඩමවා වාර්ෂික උපසම්පදා විනයකර්‍ම ආදිය මැනවින් සිදු කරනුයේ උපසම්පදාවෙන් වසර 12ක් සම්පූර්ණ වූ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ට 1765 වර්ෂයේදී උපාධ්‍යාය ධුරය ද සංඝරාජ මාහිමියන්ගේ අග්‍ර ශිෂ්‍ය වූ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්‍ඛිත නාහිමියන්ට 1762 දී මල්වතු මහා විහාරයේ මහානායක පදවි ය ද පිරිනමා, ඒ කාලයේදීම අස්ගිරි මහා විහාරයේ ද උපසම්පදා කර්‍මය පටන්ගත් බවත් එතැන් පටන් මල්වතු අස්ගිරි උභය මහා විහාර දෙකේම මහානායක පදවි, අනුනායක පදවි, කාරක පදවි සිංහල රජවරුන් විසින්ම පත්කළ බව 1930 දී සියම් රටේ සංඝරාජ මාහිමියන් වෙත යවන ලද සංදේශයේ ද මැනවින් සඳහන් වේ.

එම කාලය තුළ උපාලි මාහිමියන් හා සඟරජ මාහිමියන් සෙසු සියම් හා ලාංකික භික්‍ෂූන් වහන්සේ සමඟ අනුරාධපුරයට ගොස් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා ප්‍රාකාර බැමි බැදීමට සලස්වා ඉන් අනතුරුව සත් කෝරළයට ද වැඩමවා වනමන්දාව, මැද්දේපොල, දඹදෙණිය, මඩවල, බඩගමුව, ගිණිගත්පිටිය, මුතුගල, ඇත්නොරුව, කළුන්දාව, රිදීගම, කඳුලට, වරාවල, අංගංගල, හලඹගල, තිස්සව, මාවනපොල, වේරගොඩ, අළුවිහාරය, වලල, හුරීකඩුව, මහියංගනය, අරත්තන, ගඩලාදෙණිය, වෙළගම, දෙවනගල හා දියසුන්නත යන තැන්වල ද බද්ධ සීමා පිහිටුවා සම්බුද්ධ ශාසනික කටයුතු දියුණු කළ අයුරු මැනවින් පැහැදිලිවේ.

ශ්‍රී ලංකාද්වීපයෙහි මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ආරම්භ වූ මහා විහාර උපසම්පදාවට වසර 2320ක් සම්පූර්ණ වීමත්, මහනුවර සමය වනවිට එකඳු උපසම්පදා නමකුදු නැතිව සම්බුද්ධ ශාසනය පරිහාණියට පත් වූ අවස්ථාවක වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේ මුල්වී අද දක්වාම වර්තමාන සම්බුද්ධ ශාසනය වසර 260ක් මුළුල්ලෙහි පවත්වාගෙන ඒමට හැකි වූයේ ස්‍යාමදේශාගත උපාලි මාහිමියන් වැඩමවා කෝට්ටේ යුගයේදී ලක්දිවින් සියම් දේශයට රැගෙන ගිය මහා විහාර උපසම්පදාවම නැවත පිහිටුවීම නිසාමය.

මේ අයුරින් ආරම්භ වු මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උපසම්පදාව රාජ්‍ය වර්ෂ 1753 වසරේ මහනුවර මල්වතු මහා විහාරයීය උපෝෂතාගාරයේදී පිහිටවූ තැන් පටන් වසර 260ක් මුළුල්ලෙහි අඛණ්ඩව වාර්ෂිකව වෙසක් පොහොයේ සිට පොසොන් පොහොය දක්වා මාසය තුළ පොහෝ දිනයන් හි පෙරහර සහිතව ද සෙසු දිනයන් හි පෙරහර රහිතව ද සිදු කරගෙන ඒම සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් පැවැත්වීම සඳහා සිදු කෙරෙණ මහා විනය කර්‍මයක් මෙන්ම උදාරතම පුණ්‍ය කර්‍මයයි.

මෙම වසරේදී ද 2013 මැයි 24 වැනි දිනට යෙදී ඇති වෙසක් පුර පසළොස්වක් පොහෝ දින පටන් ජුනි 23 වැනි දින දක්වා කාලය තුළ ස්‍යාමෝපසම්පදාව පිහිටුවා 260 වැනි සංවත්සරය සමරමින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව විදේශ කටයුතු අමාත්‍යාංශය බුද්ධශාසන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ඇතුලු ආයතනයන්හි සහසම්බන්ධතාවයෙන් ද සියම් දේශයේ ප්‍රධාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හා මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් උත්සවත්ශ්‍රීයෙන් පැවැත්වීමට, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිගෞරවාහ¡ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාවේ ප්‍රධානත්වයෙන් කටයුතු සූදානම් කරමින් පවතින අතර, ලක්දිව නොයෙක් ප්‍රදේශවලින් උපසම්පදාවීමට බලාපොරොත්තු වන සාමණේරයන් වහන්සේලාගෙන් අදාළ අයදුම්පත් මාර්තු 31 දිනට පෙර මල්වතු මහා විහාරයට ගෙන්වා ගැනීමට ප්‍රාදේශීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වෙත මේවන විටත් දන්වා යවා ඇති බව සිහිපත් කරමු.

වර්තමාන සම්බුද්ධ ශාසනය පිහිටුවීමට පිහිටාධාර වූ ස්‍යාම දේශයේ ( වර්තමාන තායිලන්තය ) පරමධාර්මික මහ රජතුමන්ටත් ස්‍යාම දේශයේ සංඝරාජ මාහිමියන්ටත් කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමන්ටත්, ප්‍රවර උපාලි මාහිමියන්ටත්, බෝධිසත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝ රාජ මාහිමියන් වහන්සේ ඇතුලු උපසම්පදාව පිහිටවීමට සහ සම්බන්ධ වූ සෑම දෙනාටම තුන්තරා බෝධියකින් උතුම් නිවන් සුවය ලැබේවා යි ප්‍රාර්ථනය කරමු.