Print this Article


පිනැති සිත

අභිත්ථරෙථ කල්‍යාණෙ
පාපා චිත්තං නිවාරයෙ
දන්ධං හි කරොතො පුඤ්ඤං
පාපස්මිං රමතී මනොති

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය අකාලික ය.එමෙන්ම සන්දිට්ඨිකය. මෙම ධර්මය තුළින් ලබන ප්‍රතිඵල අපට අපගේ් ඇස් ඉදිරිපිටම දැකගත හැකි ය. තමාගේ විමුක්තිය තමා විසින් ම සලසා ගත යුතු ය යන මුඛ්‍ය උපදේශය බුදුදහම තුළින් අපට ලබාදේ.

ඉහත මාතෘකා කළ ගාථාව ධම්මපදයේ පාප වග්ගයේ ඇතුළත් මුල් ගාථාව යි.

”අභිත්ථරෙථ කල්‍යාණෙ පාපා චිත්තං නිවාරයෙ” යහපතෙහි යෙදෙන්න. පවින් සිත ඈත් කරගන්න.

‘දන්ධං හි කරොථො පුඤ්ඤං පාපස්මිං රමතී මනොති” පැකිලෙමින් පින් කරන කල්හි පවට හිත යොමු වෙයි.

මෙම ගාථාව බුදුන් වහන්සේ දේශනා කරන ලද්දේ ඔබ අසා ඇති ප්‍රසිද්ධ කතාවක් අරභයා ය. බුදුන් දවස විසූ ඒකසාටක නම් වූ බමුණා හා ඔහුගේ බැමිණිය යන ස්වාමි භාර්යා දෙදෙනාටම එක සළුවක් පමණක් තිබිණ. දහමට ලැදි මෙම බමුණු දෙමහල්ලෝ නිරන්තරයෙන් ධර්මශ්‍රවණය සඳහා ගියහ. එහෙත් දෙදෙනාටම එක් සළුවක් පමණක් තිබූ හෙයින් දෙදෙනා කතිකාකොට , බමුණා රාත්‍රී කාලයේදී ද බැමිණිය දහවල් කාලයේදී ද ධර්ම ශ්‍රවණයට ගිය අතර, ඒ යන විට අර සළුව මාරුවෙන් මාරුවට හැඳ ගියහ.

බුදුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන එක් දිනක රාත්‍රියේ බමුණුතෙම තමා සතු සළුව හැඳ, බණ ඇසීමට ගියේ ය. ඉතා සංයමයෙන් ධර්ම ශ්‍රවණයට සිත යොමුකළ බමුණූ තෙම පූර්ව යාමයේදී තමා සතු සළුව බුදුරදුන්ට පූජාකිරීමට ය සිතුවේය.එහෙත් තමාට මෙන්ම තම භාර්යාවට ද හැඳීම සඳහා ඇති සළුව බුදුරදුන්ට පිදීමෙන් ගැටලුවක් මතුවේ යැයි සිතා එම දන්දී මේ අදහස අත්හැරියේය. මධ්‍යම යාමය ද එළැඹිණි. ධර්මය අසමින් සිටි බමුණාට පෙර සිතුවිල්ල යළි මතුවී යළිත් යටපත් විය. එහෙත් පශ්චිම යාමයේ දී තම හිත සකස් කරගත් බමුණු තෙම සළුව බුදුන්ට පුදා “මම දිනුවා, මම දිනුවා” යැයි කෑගැසුවේය. ‘ඔහු දිනුවේ රාජ්‍යයක් නොව තම සිතය. බුද්ධ ධර්මයට අනුව ලැබිය හැකි අගනාම ජයග්‍රහණය යි’. තැනුවා නම් තම සිත තැනුවාවමය” යනුවෙන් ලෝවැඩ සඟරාවේ ඇතුළත් කවි පදයෙන් ද සාකච්ඡා කෙරෙනුයේ සිතෙහි ජයග්‍රහණය පිළිබඳවය.

මේ මොහොතේ ධර්ම ශ්‍රවණය සඳහා පසේනදී කොසොල් රජු ද පැමිණ සිටි අතර, බමුණාගේ “ මම දිනුවා, මම දිනුවා” යන හඬ නැගීමෙන් තරමක් චංචල වූයේ ය. රජුන්ට ඇති බය නම් සිය රාජධානිය අහිමිවීමය. සිය අමාත්‍යවරුන් මඟින් සත්‍ය තොරතුරු දැනගත් රජතුමා බමුණාට හා බැමිණියට සළු යුගලක් පරිත්‍යාග කළේ ය.

“අත්තානං දමයන්ති පණ්ඩිතා “

නුවණැත්තෝ අනුන් දිනවීමට ක්‍රියා නොකරන අතර, තමන් දිනීමට උත්සාහ කරති. බමුණු තෙම රජු දුන් සළු යුගලය ද බුදුරදුන්ට පූජා කළේය.

යො සහස්සං සහස්සෙන
සංගාමේ මානුසේ ජිනෙ
එකඤ්ච ජෙය්‍ය අත්තානං
සවෙ සංගාම ජුත්තමො

යමෙකු යුද්ධයේ දී දහස් ගණන් දෙනා ජයග්‍රහණය කිරීමට වඩා තමා දිනු තැනැත්තා සංග්‍රාමජි නම් වෙයි.

බුද්ධ දේශනාව අනුව මුළු ලොව ම දිනීම අපහසු නොවන අතර, තම සිත දිනීම අතිශයින් දුෂ්කර කාර්යයක් වේ.

කොසොල් රජු බමුණා කෙරෙහි පැහැදි සළු යුගල 4 ක් දුන් අතර, බමුණා එම සළු ද බුදුරදුන්ට පූජා කළේ ය. පසුව රජු විසින් වරින්වර, සළු 08 , සළු 16, සළු 32 ආදි වශයෙන් පරිත්‍යාග කළ අතර සියලු බමුණා සසුනට පිදුවේ ය. බමුණා මෙන්ම බැමිණිය ද සිත සකස්කර ගත්තවුන් බව පැහැදිලිය. ඔවුහු නුවණැත්තෝය.

රජතුමා බමුණාට ‘හොඳ වැඩක් කරමියි’සිතා තමා පලඳින වර්ගයේ ඉතා මිලැති සළු දෙකක් පූජා කළේය. බමුණු තෙම එම සළු දෙකෙන් එක් සළුවකින් බුදුරදුන් වැඩ සිටි ස්ථානයේ වියනක් සකස් කළ අතර, අනික් සළුවෙන් භික්‍ෂූන් වහන්සේලා දන් වළඳන ස්ථානයේ වියනක් සකස් කළේය. මෙනයින් බමුණාගේ සිත කෙතරම් සකස්කර ඇද්ද යන්න අපට පැහැදිලි වන අතර, වත්මන් කාන්තා සමාජය දෙස බලන කල්හි ඒකසාටක බැමිණිය කෙතරම් උතුම් කාන්තාවක්දැයි ඔබට වැටහෙනු ඇත.

තමා දුන් අගනා සළු පිළිබඳව බමුණා ක්‍රියා කළ ආකාරය දැනගත් කොසොල් රජතුමා මේ නම් උසස් මිනිසෙකැයි පවසා ඔවුන්ගේ ජීවිතයට අවශ්‍ය කරන දැසි දස්සන්,අශ්වයන්, හරකබාන ආදි විවිධ දේ හතර බැගින් පරිත්‍යාග කොට, බමුණා උසස් තත්ත්වයකට පත්කොට, සිටු තනතුරක් පිරිනැමුවේය.

ඉහත සඳහන් කතාව යමෙකු එකක් දී බොහෝ ලබාගන්නවා යන වැරැදි අරුතින් තේරුම් නොගත යුතුය. මෙහිදී අප දැකිය යුත්තේ දිනීමට අපහසු සිත දිනීමේ වැදගත්කමයි. සමහරු දන්දී කුඹුරක වී වැපුරුවා සේ ඵල අපේක්‍ෂා කරති. කුඹුරක ඉසින එක වී ඇටයකින් වී ඇට විශාල ප්‍රමාණයක් අස්වැන්න සේ ලැබේ. එසේ කුසලය ද වගාවක් ලෙස සිතීම මුලාවකි.

එකං සකටං දත්වා සතසහස්සං සකටං ලභන්ති

එක කරත්තයක් දන් දී කරත්ත දහසක් ලැබීමට අපේක්ෂා කිරීමේ අරමුණක් බුදුදහමේ නොමැත. “කම්මසරික්කතා වාදය “ යනුවෙන් යමක් දුන් විට සමානරූපී දේ ලැබේයැයි විශ්වාස නොකළ යුතුය. අහඹු ලෙස එවන් අවස්ථා ඇතිවීම සිදු නොවන්නේ යයි නොකියමි. එහෙත් එය අපේක්ෂා නොකළ හැක්කකි.

අන්නදො බලදො හොති –
ආහාර දන් දුන් කල්හි බලය ලැබේ.

වත්‍ථදො හොති වණ්ණදො –
වස්ත්‍ර දන්දුන් විට වර්ණය ලැබේ.

යානදො සුඛදො හොති –
යාන දන්දුන් විට සැප ලැබේ “

එසේ විවිධ දේවල් ප්‍රදානයෙන් සමහර අවස්ථාවල සමානරූපි ප්‍රතිඵල ලැබුවද එකට එකක් සමගාමීව නොලැබේ. සමහර බෞද්ධයෝ දෙවිවරුන්ට මල් පුදන විට දෙවිවරුන්ට අයත් යැයි සැලකෙන පාටින් මල් පූජා කරති. මෙය ඇත්තෙන්ම අදහසක් පමණි. එහෙත් පින යනු තමාගේ මනස අරභයා තමන් විසින්ම සිදුකරගන්නා දෙයකි. පිනක් සිදුවනුයේ දෙන්නා හා ලබන්නා අතර පිහිටි ගුණ හේතුවෙනි.

යො සීලවා සීලවෙන්‍තසු දදාති දානං

යමෙකු සිල්වත්ව සීලවන්තයෙකුට යමක් දීමෙන් මහත්ඵල මහානිසංස ලැබිය හැකිවේ.

අභිත්‍ථරෙථ කළ්‍යාණෙ
යහපතෙහි යෙදෙන්න
පාපා චිත්තං නිවාරයෙ
පවින් සිත ඈත් කරන්න

මෙම ගාථා පාඨයන්හි ඉතා වැදගත් පණිවිඩයක් අන්තර්ගතව ඇත.

“දන්‍ධංහි කරොතො පුඤ්ඤං” යන ධර්ම පාඨයට අටුවාවේ ලබාදෙන අර්ථය නම්,,

“ චික්‍ඛල්ලමගෙගන ගචඡනෙතා විය “

මඩ සහිත මගක ගමන් කරන්නාට කෙලින් යා නොහැකි අතර, ගමන් කළ යුත්තේ තැනින් තැන හැරෙමිනි. එමෙන් දන්දීමට සුදුසු වන්නත් හැරී හැරී දන් දීමෙන් හෙවත් පැකිලි පැකිලී දන් දීමෙන් පවට සිත ඇලීමට ඉඩ ඇත.

ලෝභ සිතිවිල්ලක් යළි යළි පැමිණීමෙන් ඒකසාටක බමුණා පැකිලි පැකිලී දන්දුන්නේ නම් ඔහු තවදුරටත් බණ ඇසීමට පැමිණි බමුණෙකු පමණක් මිස සිටුවරයෙක් නොවේ. ඔහු තම සිත දිනු නිසා සියල්ල ජය ගත්තේ ය. බුදුදහම පැහැදිලි කරන්නේ පින පව හඳුනාගෙන, පිනට පවට අදාළ මානසික තත්ත්වයන් තේරුම්ගෙන කටයුතු කිරීමේ වැදගත්කමය.අපි කවුරුත් උතුම් නිවනට නොපැමිණෙන්නේ නම්,ජීවිතය මෙතැනින් අවසන් නොකරන අතර, කෙලෙස් පවතින තුරු සසරේ දිගින් දිගටම ගමන් ගන්නා බව දනිමු.මේ පිළිබඳව සංයුක්ත නිකායේ අනමතග්ග සංයුක්තයේ මෙසේ සඳහන් වේ.

“අනමතගෙගායං භික්ඛවෙ, සංසාරො, පුබ්බාකොටි න පඤ්ඤායති”

මහණෙනි, කෙළවරක් දැකිය නොහැකි මේ සංසාරය අනවරාග්‍රය. මෙහි පෙර කෙළවරක් හෝ පසු කෙළවරක් දැකිය නොහැකි ය.

ඒතරම් දුර වු සංසාරයක අපි සැරිසරමු. මේ තරම් දීර්ඝ වු සසර තුළ අපි දිව්‍ය සම්පත්, බ්‍රහ්ම සම්පත්, චක්‍රවර්ති, සම්පත් ලබා විඳින්නට ඇත. එහෙත් එම සම්පත් ලැබූ අපට අපාය තහනම් ස්ථානයක් නොවනු ඇත. මේ පිළිබඳව අභිධර්සමයේ මෙසේ සඳහන්ව ඇත.

“උක්‍ඛිත්වා පුඤ්ඤතෙජෙන – කාමරූපගතිඞ්ගතා
භවගගතම්පි සමපතතා– පුනාගච්ඡන්ති දුගගතිං”

පුඤ්ඤ වේගයෙන් භවාග්‍රය දක්වා ගමන් කර, යළිත් අපායගාමී වීමට ඉඩ ඇත. අප හැම දුගතිය හා සුගතිය එකතු වූ සසරක වාසය කරන හෙයින් මේ සසර ස්වභාවය හොඳින් තේරුම් ගෙන සසර දුක් නිවාගැනීමට කටයුතු කළ යුතු වේ.

බුදුන් වහන්සේ සසර මෙසේ පැහැදිලි කළ සේක.

”බන්‍ධානං පටිපාටී ච ධාතු ආයතනානි ච
අබෙබාචජින්නං වත්තමානං සංසාරොති පවුච්චති”

මට, ඔබට, කෘමීන්ට, සිවුපාවුන්ට පංචස්ඛන්ධයක් ඇත.ස්කන්ධවල අනුපිළිවෙළ අනුව ගමන් කිරීමේදි නොබිඳී ඉදිරියට යාම සංසාරය යැයි බුදුන් වහන්සේ හඳුන්වා ඇත. එවන් සසරක දිවි ගෙවන අපි දුකට අකමැති වෙමු. සැපට කැමැති වෙමු. ඒ හෙයින් අපි සැප සඳහා සෙස්සන්ට දුක ලබාදෙමු. තව කෙනෙකු උදෙසා දුක අපේක්‍ෂා කරන්නන්ට සසරේ සැප ලැබිය නොහැකිය.

මෙම ලිපියේ ඉතිරි කොටස
මාර්තු 04 වනදා පත්‍රයේ පළ වේ.