Print this Article


බුද්ධාවවාදයෙහි මෙසේ හික්මිය යුතු

නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධානසාසනං
ඛන්තී පරමං තපො තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතො පරූපඝාතී
සමණො හොති පරං විහෙඨයන්තො
අනූපවාදො අනූපඝාතො
පාතිමොක්‍ඛච සංවරො
මත්තඤ්ඤුතා ච භත්තස්මිං
පන්තං ච සයනාසනං
අධිචිත්තෙ ච ආයොගො
එතං බුද්ධානසාසනං
(ධම්මපදය – බුද්ධවග්ගය)

කාරුණික පින්වත,

ව්‍යවහාර වසරේ දෙවැනි පොහොය නවම් පුර පසළොස්වක පොහොය දිනයයි. අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රථම සංඝ සන්නිපාතය හෙවත් සංඝයාගේ රැස්වීම පවත්වා සැරියුත් මුගලන් දෙනම අග්‍රශ්‍රාවක තනතුරට පත් කළේ මේ උතුම් පොහෝ දිනයේයි. ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරීමද චාපාල චේතියේදී ආයු සංස්කාරය අත්හැරීම නම් වූ මෙයින් තෙමසකින් පිරිනිවන් පානා බව ප්‍රකාශයට පත්කිරීමද නවම් පුන්පොහොය දිනයක සිදුවූ වැදගත් සිද්ධි වේ. එබඳු උතුම් පොහෝ දිනක ඕවාද ප්‍රාතිමෝක්‍ෂය ලෙසට හඳුනා ගත හැකි විශේෂ ගාථා කිහිපයක අර්ථය තෝරා බේරා දීමට මෙම ධර්මානුශාසනය වෙන් කරනු කැමැත්තෙමි.

දීඝ නිකායේ මහාපදාන සූත්‍ර දේශනාවේ දී අප බුදුරජාණන් වහන්සේ, විපස්සි බුදුරදුන්ගේ පටන් සත් බුදුවරයන් වහන්සේගේ මවුපියන් ගැන, ආයුෂ ගැන, බෝධිය ගැන, ශ්‍රාවකයන් පිළිබඳ තොරතුරු අනාවරණය කොට ඇත. එහෙත් එම බුදුරජාණන් වහන්සේගේ පොහෝ පවුරුණු පිළිබඳ සාකච්ඡා වී නැත. මේ අනුව ‘ඒ ඒ බුදුරජාණන් වහන්සේගේ පොහොය කිරීම අප බුදුරදුන්ට වඩා වෙනස්ද? සමානද?’ යන්න ගැන විමතියක් ඇති විය. ඒ අනුව ආනන්ද හාමුදුරුවෝ මෙම ප්‍රශ්නය නිරාකරණය කරගනු පිණිස බුදුරදුන් වෙත ගොස් මෙ කරුණ විමසූහ.

අනඳ හිමියන්ට පිළිතුරු ලබාදෙන භාග්‍යවතුන් වහන්සේ “විපස්සී බුදුරජාණන් වහන්සේ සත් අවුරුද්දකට වරක් පොහොය කරන සේක. ඒ සත්අවුරුද්දටම අවවාද වශයෙන් එය ප්‍රමාණවත් වේ. සිඛී සහ වෙස්සභූ බුදුරජාණන් වහන්සේ අවුරුදු හයකට වරක් පොහොය කරන සේක. පොහොය කරන දා දෙන අවවාදය එම අවුරුදු හයටම ප්‍රමාණවත් වේ. කකුසඳ,කෝණාගමන බුදුරජාණන් වහන්සේ අවුරුද්දකට එක් දවසක් පොහොය කරන සේක. එය එම අවුරුද්දටම සෑහේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පොහොය කිරීම හය මාසයකට වරක් සිදුවිය. ඒ පොහොය කිරීම එම හය මාසය තුළම ක්‍රියාත්මක වේ. මේ අනුව ඒ ඒ බුදුරජාණන් වහන්සේගේ පොහොය කිරීමේ කාලය පිළිබඳ වෙනසක් ඇත්තේය. එහෙත් පොහොය කිරීමෙහි වෙනසක් නැත” යැයි දේශනා කළ සේක.

විනය දේශනාව, ඕවාද ප්‍රාතිමෝක්‍ෂය, ආණා ප්‍රාතිමෝක්‍ෂය වශයෙන් දෙවැදෑරුම් වේ. ශාසනයට ආරම්භයේ දී ඇතුළත් වූවෝ ජීවිතය තේරුම් ගෙන දුක වටහාගෙන නිවන්මඟ සාක්‍ෂාත් කරගැනීමේ අභිලාෂය ඇත්තෝ වූහ. එහෙයින් එම කාල සීමාව තුළ බුදුරදහු මාස කිහිපයකට හෝ වසරකට හෝ වරක් පමණක් සෑම දෙනාටම අවවාදයක් කළහ. එහෙත් පසුකාලීනව ලාභ වැඩිවීම, පිරිස වැඩිවීම ආදී කරුණු නිසා විවිධ අරමුණු ඇතිව සසුනට ඇතුළත් වූ පිරිස වැඩිවූහ. එහෙයින් ශාසනය තුළ නොසිතූ විරූ අර්බුද හටගැනිණි. මෛථූන ධම්ම ශික්‍ෂාපදය මුල්කරගෙන අප බුදුරජාණන් වහන්සේ අණ පිහිටුවා, නොකළ යුතු බව දක්වා පැණ වූ නීති සමූහය ‘ආණා ප්‍රාතිමෝක්‍ෂය’ ලෙස විනය පිටකයට ඇතුළත් පාරාජික පාලි, පාචිත්තිය පාලි යන ග්‍රන්ථවල එයි.

අප විසින් මාතෘකා කරන ලද ගාථා භාවිත කරන ලද්දේද මෙම ඕවාද ප්‍රාතිමෝක්‍ෂයේ දේශනයන් ලෙසයි. ‘ඒතං බුද්ධානසාසනං’ මෙය බුදුවරුන්ගේ අනුශාසනය’ ලෙස දැක්වේ. සියලු පව් නොකිරීම, කුසල් ඉපදවීම සහ වැඩීම, සිය සිත පිරිසුදු කිරීම යන මෙය බුදුවරුන්ගේ අනුශාසනාව වේ.

කාය – වාග් දොරටුවලින් පහළ වන, හටගැනෙන පව්නොකොට හැරීම ‘සබ්බ පාපස්ස අකරණං’ යන්නෙන් කියැවේ. එය ගැඹුරින් සැලකූ කල සීල සංවරය තුළින් සියලු පව් දුරුකිරීම අදහස්වේ. ‘කුසලස්ස උපසම්පදා’ යන්නෙන් ලෞකික ලෝකෝත්තර සමථ විදර්ශනා වශයෙන් පැමිණිය යුතු, ලැබිය යුතු කුසල් චිත්තය ඉපදවීම සහ ඉපද වූ කුසල් සිත වැඩීම ගැනේ. සමථ විදර්ශනාවෙන් ලැබිය යුත්තේ සමාධියයි. ‘සචිත්ත පරියෝදපනං’යන සිත පිරිසුදු කිරීම, දමනය කිරීම යනු පංචනීවරණ ධර්මයන්ගෙන් සිත නිදහස් කොට ගැනීමය. කෙලෙස් නසා රහත් ඵලයට පැමිණීම මෙයින් වදාරන ලදී.

මේ අනුව මේ තුළින් සීල, සමාධි, ප්‍රඥා යන ශික්‍ෂාත්‍රය කියැවේ. හික්මවිය හැකි ජනයන්ට නිවන් මඟ පෙන්වා, ඔවුන් ඒ මඟ ගමන් කරවනු පිණිස දෙසූ දේශනා මාර්ගය, වදාළ ධර්ම මාර්ගය අවවාද අනුශාසනා නම් වේ.

‘ඛන්තී පරමං’ ගාථාවේ අර්ථය වන්නේ ‘ඉවසීම නමැති ක්‍ෂාන්තිය උතුම් තපසෙකි. බුදුරජාණන් වහන්සේ නිවන උතුම් යැයි වදාරති. අනුන් පෙළන්නා පැවිද්දකු නොවේ. අනුන් වෙහෙසන්නේ මහණකු ද නොවේ’ යන්නයි. එහි දැක්වෙන ‘ඛන්ති’ නම් වූ ඉවසීම දෙආකාර වේ. පළමුවැන්න අධිවාසනා ක්‍ෂාන්තියයි. අනුන් කියන කරන තමාට නුරුස්නා දේ ඉවසා සිටීම ඉන් කියැවේ. ‘ධර්මනිද්ධ්‍යාන ක්‍ෂාන්තිය’ නම් ප්‍රතිපදා ඥානදර්ශන විශුද්ධිය උපදනා කාලයෙහි සංස්කාර ධර්ම පිළිබඳ අනිත්‍යාදි ස්වභාව ලක්ෂණ ඇති සැටියෙන් දැන ගැනීමෙන් සංස්කාර ධර්මයන් අරමුණුකොට උපදනා විදර්ශනා ඥාන සහිත ඉවසීමයි.

මෙම ගාථාවෙන් සලකා ගනු ලැබුයේ අධිවාසනා ක්‍ෂාන්තියයි. එහිදී අනුන් කරන කියන නුරුස්නා දෙයට එකට එක නොකොට, පළිනොගෙන ඒ හැම එකක් තමන් පිටට ගෙන විසීම, ඇනුම් බැණුම් ආදියෙන් අනුන්ගේ ඇස්වල කඳුළු නොඋපදවා නොකිපී විසීම, හැම දෙනා කෙරෙහි වෛර නැතිව සතුටු සිතින් යුක්තව විසීම, ඉවසීම ලෙස වඩාත් පැහැදිලි කළ හැකියි. ඉවසන පුද්ගලයා දෙව්, මිනිස් සැමට පි‍්‍රය වේ. හැම කෙනෙකුගේ මන වඩන්නේ වේ.ක්‍රෝධ නැත්තේ වේ. සිහි ඇතිව කළුරිය කොට මරණින් මතු දෙව්ලොව උපදින්නේ ද වේ.

‘අනූපවාදෝ අනූපඝාතෝ’ගාථාවෙන් දෙන අවවාදයක් නම් ජාති,ගෝත්‍ර ආදී වශයෙන් අනුනට ආක්‍රෝශ කිරීම,අගුණකීම, ගැරැහීම වූ උපවාද නොකළ යුතුයි යන්නයි. අනූපඝාත නම් වු අතින්, පයින්,දඬු මුගුරෙන් ආයුධයෙන් කිසිවකු පැහැරීම , ගැසීම හිංසා පීඩා කිරීම ආදිය නොකළ යුතුයි. ශික්‍ෂාපද සම්පූර්ණයෙන් රැකීමෙන් කාය වාග් ද්වාරයන් රැක ගැනීම් සංඛ්‍යාත ප්‍රාතිමෝක්‍ෂයෙහි උගන්වන ආපත්තිස්ඛන්ධ හතේම දැක්වෙන ශික්‍ෂාපද රැකීම නම් වූ ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලයෙහි පිහිටා කටයුතු කළ යුතුයි.

පිළිගැනීම සහ වැළැඳීම් සංඛ්‍යාත ආහාරයෙහි පමණ දැන කළ යුතු වේ. ගමට දුර වන සෙනසුන්වල ඇලීම සහ අෂ්ට සමාපත්තිවල නිරතුරු යෙදීම බුදුවරුන්ගේ අනුශාසනාවේ. ‘සාසන’යන වචනය ආඥා , ආගම, හසුන්පත්,අනුශාසනා යන අරුත්හි වැටේ.මෙහි අනුශාසනාවෙහි යෙදී ඇත. පාලි ව්‍යවහාරය තුළ ‘ඒතං බුද්ධානුසාසනං’ යයි නොගතයුතුයි. ‘බුද්ධානං’ යනු බුදුවරුන්ගේ යන බහුවචනයයි. ‘සාසන’ යන්න අනුශාසනා අරුත්ගෙන දෙන බැවින් හැම කල පහළවන සියලු බුදුවරුන්ගේම අනුශාසනාව ලෙස සැලකිය යුතුය. මෙහි දැක්වෙන අරුත්හි හැසිරෙන ලෙස භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සැම දෙනාටම සිහිපත් කරමු. තෙරුවන් සරණයි!