Print this Article


ධර්මයෙන් ගොඩනැඟුණු සැබෑ සංවරය

ධර්මයෙන් ගොඩනැඟුණු සැබෑ සංවරය

තථාගතයන් වහන්සේ පෙන්වා දී තිබෙනවා ඒ මුනිවරුන්ගේ ලෝකය තුළ තිබෙන ඉන්ද්‍රිය සංවර මේ වගේ් කියා (රහදෝ පි තත්ථ ගම්භීරෝ) ගැඹුරු ශාන්ත විලක් තිබෙනවා. මේ විලේ රැළ නැ‍ෙඟන්නේ නැහැ. මේ විල බොහෝම ගැඹුරු යි. නිසලයි. මේ ගැඹුරු ශාන්ත විලේ තිබෙන නිශ්චල බව යම් අයුරුද, ශාන්ත ඉඳුරන් ඇති පුද්ගලයාගේ අකම්පිත බවත් ඒ වගේ කියනවා

තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් දේශනාකළ සම්බුදු දහම අපගේ ජීවිතවලට ගලපා ගත්තොත් අප සැබෑම වාසනාවන්තයි. අපටත් සංසිඳුණු ඉඳුරන් ඇති, සංසුන් මනසක් ඇති අය වීමට වාසනාව තිබෙනවාද? නැද්ද? කියා අප දන්නේ නැහැ. නමුත් සංසුන් ඉඳුරන් ඇතිකර ගන්න අප යම්කිසි කැපවීමක් කරන්න ඕන.

බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ සිටි මිනිසුන් අතිශයින්ම පුණ්‍යවන්තයි. එයට හේතුව තථාගතයන් වහන්සේ විසින් ‘’මහණෙනි ඉඳුරන් සංසිඳුවා ගන්න’’යි වදාළ සැණින් එකල බොහෝ දෙනා (අස්සා යථා සාරටිනා සුදන්නා) “රථාචාර්යවරයා විසින් මනාකොට දමනය කළ අශ්වයෝ” වගේ මැනවින් සංවර වෙනවා. මෙසේ සංවර කර ගන්නේ ඇස, කණ, නාසය, දිව, කය, මනසයි.

තථාගතයන් වහන්සේගේ කාලයේ රහතන් වහන්සේ ධර්ම චාරිකාවේ යෙදුණේ ඒ විදියේ් අසාමාන්‍ය සංසිඳිමකින් යුක්තවයි. ඒ කියන්නේ උන්වහන්සේ කිසිවකටවත් කිපෙන්නේ නැතිවයි ජීවිතය ගත කළේ. උන්වහන්සේලා වැස්සත් කිපෙන්නේ නැහැ. පෑව්වත් කිපෙන්නේ නැහැ. දූවිලි ඇවිස්සුනත් කිපෙන්නේ නැහැ. බඩගින්නේ සිටියත් කිපෙන්නේ නැහැ. පිපාසයෙන් සිටියත් කිපෙන්නේ නැහැ. නින්දා අපහාස කළත් කිපෙන්නේ නැහැ. බොජුන් පිළිගැන්වුවත් කිපෙන්නේ නැහැ. කටුක ආහාර ලැබුණත් කිපෙන්නේ නැහැ.

මේ විදියට කිසි දෙයකට කිපෙන්නේ නැති, නිරන්තරයෙන්ම සංසිදී ගිය සිනිඳු තෙල් දහරක් වැනි ඉරියව් ඇති ඒ අද්විතීය අසාමාන්‍ය, අසිරිමත් උතුමන් වහන්සේලා දකිිද්දී මිනිසුන් වෙනස් වෙනවා. එකල ගමක් ගමක් පාසා රහතන් වහන්සේලා වඩිද්දී, උන්වහන්සේලා තුළ දිස් වූ ඒ අසාමාන්‍ය ශාන්ත වූ ඉඳුරන්ට, ශාන්ත වූ මනසට මිනිසුන් වශීවුණා.

සමහර විට උන්වහන්සේලාගේ ප්‍රතිචාර බලාගන්න මිනිස්සු නොයෙක් දේවල් කියන්න, කරන්න ඇති. නමුත් උන්වහන්සේලා තුළින් හැම තිස්සේම දිස්වූයේ ශාන්ත බවක්. (සන්ත වාචා ව කම්ම ව) උන්වහන්සේලාගේ වචන පවා ශාන්තයි. ඒ ශාන්ත වූ වචනවලටයි මිනිසුන් සංසිඳී ගියේ.

දෙවි මිනිසුන් සංසිඳවන ඒ වචන සියල්ල බුදුරජාණන් වහන්සේගේ ය. ජීවිතාවබෝධය ඇති කරවන වදන් පෙළ බුදුරජාණන් වහන්සේගේ යි. නුවණ ඇති කරවන වදන් බුදුරජාණන් වහන්සේගේ ය. ලෝ සත සසරින් එතෙර කරවන වදන් බුදුරජාණන් වහන්සේගේ යි. බුදුරජාණන් වහන්සේ ලොවට පෙන්වා දීපු උන්වහන්සේගේ බුදු මුවින් ගලා ආ ඒ වදන් ශ්‍රාවකයෝ උපුටා දක්වද් දී ලෝකයේ බොහෝ දෙනෙක් ඒ සම්බුදු දහමට පැහැදුණා. “අනේ මටත් මෙබඳු වූ සංසුන් ඉඳුරන් ඇත්නම්...මටත් මෙබඳු වූ සංසුන් මනසක් ඇත්නම්” කියා මිනිසුන් ධර්මය වෙත ඇදී ආවා.

ඔබ දන්නවා පාප මිත්‍රයන්ගේ කුමන්ත්‍රණ නිසා නොමඟ ගිය ගුරුවරයාගේ ක්‍රියා කලාපය, අහිංසක අංගුලිමාල බවට පත්වන්න හේතුවක් වුණා. ඒ නිසාම අංගුලිමාල තුළ තිබුණේ අතිශයින්ම නො දැමුණු, කිපුණු ඉඳුරන්. අවසානයේ දී ඔහු ශාන්ත ඉඳුරන් ඇති රහතන් වහන්සේ නමක් බවට පත්වුණා. ශාන්ත මනසක් ඇති, ශාන්ත වදන් ඇති, ශාන්ත ක්‍රියා ඇති ශාන්ත මනෝකර්ම ඇති පුද්ගලයෙක් බවට පත්වුණා. ඉන් පස්සේත් සමහර අවස්ථාවල උන්වහන්සේ ගමන් වඩිද්දී මිනිසුන් නින්දා අපහාස කළා. ගැරහුවා. සමහරු ගල්වලින් පවා ගැසුවා. පාත්‍රය බිඳ දැම්මා. ඇතැම් විට උන්වහන්සේ බිඳුණු පාත්‍ර කෑලි ටික අතට අරගෙන තුවාල වෙලා නළලින් ලේ වැගිරෙන සිරුරෙන් යුක්තව, ඉරුණු සිවුරු ඇතුව වඩිනවා. නමුත් තථාගතයන් වහන්සේ ළඟට වඩින්නේ් සාන්ත වූ කෙනෙක්. සංසිඳුණු ශාන්ත මනසක් ඇති උතුමන් වහන්සේ නමක්. එවැනි අවස්ථාවල තථාගතයන් වහන්සේ වදාරන්නේ ‘’පින්වත් බ්‍රාහ්මණය, ඉවසීමම යි ශ්‍රේෂ්ඨ. ඉවසීමම යි ශ්‍රේෂ්ඨ. ඔබ ඔය විපාක විඳින්නේ මෙලොවදී විපාක වින්ද යුතු සුළු කොටසක්. පරලොව වින්ද යුතු බොහෝ විපාක ඔබට අහිමියි. ඔබ එයින් නිදහස් වෙලා ඉන්නේ’’ කියා.

මේ ලෝකයේ මිනිසුන් නොයෙක් නොයෙක් ආකාරයට පව් කරනවා. ඒ අයට පරලොවින් ගැලවීමකුත් නැහැ. මෙලොව ගැලවීමක් නැහැ. ඔවුන් මේ ජීවිතයේ දී හිර බන්ධනවලට අසුවෙනවා. එහෙම නැත්නම් නොයෙක් නොයෙක් වධ බන්ධවලට ලක්වෙනවා. නැත්නම් ඔවුන් ඝාතනය වෙනවා. ඉන්පස්සේ නිරයේ හිරවෙනවා. එසේ නැත්නම් තිරිසන් අපායේ, පේ‍්‍රත ලෝකයේ හිරවෙනවා. නැවත ඔවුන්ට ගැලවීමක් නැහැ.

නමුත් සම්බුදු රජාණන් වහන්සේගේ පහළ වීම නිසා මේ ලෝකයට ශාන්ත ඉඳුරන් ඇති පුද්ගලයෝ බිහිවෙනවා. ශාන්ත මනසක් ඇති, ශාන්ත ක්‍රියා ඇති, ශාන්ත වචන ඇති පුද්ගලයන් බිහිවෙනවා. මේ විදියට ශාන්ත බව ඇති වීමට නම් ඇස, කණ, නාසය, දිව, කය, මනස සංවරව ශාන්ත ඉඳුරන් පවත්වන්න නම්, ඔහු තුළ ගොඩනැඟුණු මහා හැකියාවකුත්, විර්යක්, සිහියක්, නුවණක් තිබිය යුතුයි. මේ දේවල් නැතුව එය කරන්න බැහැ.

තථාගතයන් වහන්සේ පෙන්වා දී තිබෙනවා ඒ මුනිවරුන්ගේ ලෝකය තුළ තිබෙන ඉන්ද්‍රිය සංවර මේ වගේ් කියා (රහදෝ පි තත්ථ ගම්භීරෝ) ගැඹුරු ශාන්ත විලක් තිබෙනවා. මේ විලේ රැළ නැ‍ෙඟන්නේ නැහැ. මේ විල බොහෝම ගැඹුරු යි. නිසලයි. මේ ගැඹුරු ශාන්ත විලේ තිබෙන නිශ්චල බව යම් අයුරුද, ශාන්ත ඉඳුරන් ඇති පුද්ගලයාගේ අකම්පිත බවත් ඒ වගේ කියනවා.

මනුෂ්‍යයා තුළ තිබෙන මේ පුදුමසහගත හැකියාවන් සාමාන්‍ය හැකියාවන් නොවේ. ඒ හැකියාව මනුෂ්‍යයා තුළ තිබෙන්නේ නිද්‍රාගතව. බොහෝ මනුෂ්‍යයන් තුළ මේ අතිශයින්ම දක්ෂ වූ කුසලතාව නිද්‍රෝපගතව තිබෙනවා. නමුත් අද ලෝකයේ ඒ හැකියාව අවදි කරවන්න ඇතැම් කෙනෙක් උත්සාහ ගන්නේ නැහැ. අද බොහෝ දෙනෙක් එක්කෝ අත්තකිලමථානු යෝගයට යනවා. නැත්නම් කාමසුඛල්ලිකානු යෝගයට යනවා. මේ ක්‍රම දෙකෙන්ම අතිශයින්ම විස්මිත කුසලතාවය අවදි වන්නේ නැහැ.

තථාගතයන් වහන්සේගේ ධර්මය, මනුෂ්‍යයා තුළ ඇති නිද්‍රෝපගතව වූ කුසලතාවය අවදි කරනවා. ඒ කුසලතාවය පාවිච්චි කරලා ඔහු මේ ඉඳුරන් හසුරුවමින්, දමනය කරමින්, සංසිඳුවමින් ශාන්ත ගැඹුරකට පත් කරනවා. ඉන්පසු ඔහුගේ ජීවිතය තුළ ඔහුගේ ක්‍රියාව ශාන්තයි. ඔහුගේ වදන් ශාන්තයි. ඔහුගේ මනස ශාන්තයි.

අප දන්නවා බුදුරජාණන් වහන්සේ වෙත නා නා ආකල්ප ඇති මිනිසුන් පැමිණියා. ඔවුන් නා නා ප්‍රශ්න ඇතුව ඇවිස්සුණු කිපුණු අයයි. නමුත් උන්වහන්සේගේ නිවැරැදි මඟ පෙන්වීම නිසා ඒ අය ශාන්ත අය බවට පත්වුණා.

එහෙමනම් අප දැනගන්න ඕන ඇතුළට බැඳී ගිය, පිටත බැඳි ගිය පුද්ගලයා ඇතුළෙනුත් නිදහස්නම්, පිටතින් නිදහස්නම් ඔහුට කුමක් වේවි ද? ඔහු පිරිනිවන් පානා උතුමන් වහන්සේ බවට පත්වෙනවා. මේ ආකාරයට එකල වැඩසිටි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තමන්ගේ කුසලතා පාවිච්චි කරලා ඇතුළත බැඳීම් වලිනුත් නිදහස් වුණා. පිටත බැඳීම්වලිනුත් නිදහස් වුණා. ඒ නිසා තමයි දෙවිවරුන්ටත් සිත සම කරගන්නෙ. සම සිතින් වාසය කරන්න පුළුවන් වුණේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා උස් පහත් භේදයක් නැතිව සම සිතින් වාසය කරන්න දෙවියන්ටත් පුළුවන් වුණා. මිනිසුන්ටත් පුළුවන් වුණා. එනිසා අප හැමටත් සන්සුන් ඉඳුරන් ඇති පුද්ගලයන් බවට පත්වන්නටත් ශාන්ත වූ නිවන සාක්ෂාත් කරන්නටත් දුර්ලභ වූ වාසනාව උදාවේවා.

සටහන: නයනා නිල්මිණි