Print this Article


බුදුරදුන් අනුදැන වදාළ දැහැමි කතාව

ධම්මපදයේ දක්වා ඇත්තේ යම් අයකු පව් දුරුකරයිද? ලෝකය නුවණැසින් අවබෝධ කර ගනියිද? ඔහු නුවණැත්තකු බවයි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම වූයේ හිස් හඬෙහි නොපිහිටා කටයුතු කළ යුතු බවයි.දුර්භාෂණයෙන් වැළකී සුභාෂණයෙහි යෙදිය යුතු බවයි.සම්මා වාචා, සතර සංග්‍රහ වස්තුවල දක්වා ඇති පි‍්‍රයවචනයයි. මෙය උතුම් මංගල කරුණක්ද වනවා. මේ අනුව කේලාම් කීම, මුසාවාදය, පරුෂවචන කීම, හිස්වචන කීම වැනි කථනයන් කෙතරම් උසස් තැනැත්තකුට හෝ වේවා කිසිදු අයුරකින් භාෂණයට උචිත නොවන බව තේරුම් ගත යුතු වනවා

සන්නිවේදනය හෙවත් ජනතාවට තොරතුරු ලබාදීම අද ලෝකය පුරාම මුදුන් පෙත්තටම නඟිමින් පවතිනවා. විශේෂයෙන් අන්තර්ජාලය නිසා තමන්ට අවශ්‍ය තොරතුරු තත්පර කිහිපයකින් ලබාගැනීමට හැකි වෙලා.

කෙසේ වුවත් මේ සියල්ලටම මුල්වී ඇති ප්‍රධානම සාධකය භාෂාවයි. භාෂාව ලේඛනය හා භාෂණය යනුවෙන් ආකාර දෙකකින් යුක්ත වෙනවා. මේ දෙඅංශයෙන්ම අපගේ අදහස් හා තොරතුරු අන්‍යයන්ට දැන්වීමටත් ඔවුන්ගේ තොරතුරු හා අදහස් අපහට ලබා ගැනීමටත් හැකිවනවා.

මිනිසා අනිත් සතුන් අතරින් විශේෂිත වී ඇත්තේ බුද්ධිය නිසාම පමණක් නොවේ. තම සිතැඟි හෝ දැනුම හුවමාරු කර ගැනීමේ හැකියාව ද ඉහළින්ම ඇති නිසයි.

මෙහිදී විශේෂයෙන්ම භාෂණය හෙවත් කතා බහට මුල් තැනක් හිමි වනවා. මේ කතා බහ සුචරිතයට මෙන්ම දුසිරිත් සඳහා ද යොදා ගන්නට පුළුවන්. කතා බහෙන් වැළකී සිටීම නිහඬ බව හෙවත් තුණ්හීභාවය යනුවෙන් අප හඳුන්වනවා. කතා බහෙන් වැළකී සිටින්නන්ද දෙවර්ගයක් දැක ගන්නට පුළුවන්. එක් කොටසක් තමන්ගේ හිස් බව නිසා නිහඬ වනවා. අනෙක් පිරිස තම පිරිපුන් බුද්ධිය නිසා නිහඬ වනවා. එය ආධ්‍යාත්මික දියුණුවේ ලක්ෂණයක් හෝ බුද්ධියේ අත්දැකීම් බහුලත්වයේ ලක්ෂණයක් යැයි කීමට පුළුවන්. මේ සම්බන්ධ වූ බුද්ධ දේශනාව ගැන අප මඳක් අවධානය යොමු කළයුතු වනවා.

‘කුඩා දිය පහර හඬ නඟමින් ගලා යයි. මහ ගංගාවෝ නිහඬවම ගලා යති. යමක් නොපිරී තිබේද එය හඬ නඟයි. යමක් පිරුණේද එය නිහඬය. බාලයා අඩක් පිරුණු කලයක් වැනිය. පණ්ඩිතයා හොඳින් පිරුණු විලක් වැනිය.’

කුඩා දිය පහර ඇදී එන්නේ කෙටි දුරක සිටය. එයට විශාල ශක්තියක් හැකියාවක් නැත. එයට මහ සයුර වෙත යාමට ද නොහැකිය. ඇතැම්විට මහ පොළොව තුළටම වැද නිසොල්මන් වෙයි. එහෙත් එය නඟමින් උපරිමය. හඬ නගමින් ගලා යයි. කුඩා වක්කඩකින් හැලෙන ජල ධාරාවද හඬ නගයි. මහ ගංඟාවක් දෙස බලන්න. එය කඳු මුදුනක සිට හෝ ඉතා දුර බැහැර සිට ගලා එයි. එයට බොහෝ අත්දැකීම් ඇත. හැකියාවක් ද තිබේ. මහ සයුර වෙතට ද යයි. සියලු අභියෝග විඳ ගනියි.

කෙත් බිම් සරු කරන ජල අවශ්‍යතා සපුරාලන ගංඟාව චණ්ඩ වූ විට තමන් සරු කළ සියල්ල වනසා දමයි. ඒ හැකියාව හා ශක්තිය ඉහළ නිසාය. එහෙත් ශබ්දයෙන් අඩුය, නිහඬය.

මෙයින් අප තේරුම් ගත යුත්තේ කුමක්ද ?

අපේ පරිසරය අවම අත්දැකීම් හා හැකියාවන් ඇති මහ හඬ නගන අය මෙන්ම උපරිම අත්දැකීම් හා හැකියාවන් ඇති එහෙත් නිහඬ අයද ඉන්නා බවය. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමය දෙස බලන්න. දෙසැටක් මිථ්‍යා දෘෂ්ටිකයන්ගෙන් භාරතය පිරී පැවතුණා.

තමන් ඉදිරිපත් කරන දර්ශනය නැතිනම් ආගම පමණක් නිවැරදි බව තර්ක කරමින්, වාද කරමින් සිටි ආගමික නායකයන් සහ අනුගාමිකයන් රැසක් සිටියා. ඔවුන් සියලු දෙනා අන්ධයන් හත් දෙනා ඇතාගේ හැඩරුව නිර්ණය කළා හා සමාන බව අප මෙහිදී තේරුම් ගතයුතු වනවා.

එදා එසේ හඬ නැඟූ සියලු දෙනා එක් පැත්තක් දෙස පමණක් බලා අඩු අත්දැකීම් ඇති කරගත් අය බව අප තේරුම් ගතයුතු වනවා. බුදුරජාණන් වහන්සේද නිරතුරුවම නිශ්ශබ්දතාවය අගය කළා. උන් වහන්සේ නිහඬ කම අගය කිරීම ගැන අපට දැනගත හැකි ප්‍රධානම සූත්‍රය “පොට්ඨපාද සූත්‍රය” යි.

මහත් හඩින් කෑ කෝ ගසමින් උන් තම ගෝල බාලයන් ඉදිරියේ සිටි “පොට්ඨපාද” පිරිවැරියන් බුදුරජාණන් වහන්සේ වඩින අයුරු දුටුවා. වහාම තම ගෝල බාලයන් ඇමතූ පිරිවැජියන් මෙසේ පැවසුවා. “ ගෞතම බුදුරජාණන් වහන්සේ මෙහි වඩිනවා. උන්වහන්සේ නිහඬතාව අගය කරන අයෙක්. එම නිසා හඬ නොනගා නිහඬ වනු ‘

මෙයින් අපට මැනවින් වටහාගත හැක්කේ බුදුරජාණන් වහන්සේගේ නිහඬතාව අගය කිරීම අන්‍ය ආගමික නායකයන් පවා පිළිගත් බවයි. අනුමත කළ බවයි. ඒ අනුව කටයුතු කළ බවයි.

බුදුරජාණන් වහන්සේ මෙන්ම උන්වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේද නිශ්ශබ්දතාවද අගය කළා. එහෙත් නිහඬකමෙහි පිහිටා සිටිය යුතුම බව බෞද්ධ ප්‍රතිපත්තියක් නොවන බවද අප මෙහිදී තේරුම් ගතයුතු වනවා.

මනා සංවරයක්, හික්මීමක් ඇති තැනැත්තා හඬ නොනගයි. ඔහුගේ සිත කය මෙන්ම වචනය ද සංවරය. ඔහු සන්සුන්ය. නිහඬ බවට මුල් තැනක් දී අවශ්‍ය විටක අවශ්‍ය දේ පමණක් කතා කරයි. කිසිවක දැඩිව එල්ලී ගෙන එය නිවැරැදි යැයි අන්තවාදී ලෙස කතා නොකරයි. ඔහු නොදන්නා දේ උගැන්මට කැමතිය. එක් එක් අන්තවල එල්ලී මත ගැටුම් ඇති කර ගන්නා අය වාග් ප්‍රහාර කරද්දී ඔහු නිහඬව ඒ ගැන සිතා බලයි. නිවැරැදි දේ වටහා ගනියි.

බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ දැහැමි කතාවෙන් කල් ගෙවිය යුතු බවයි. එසේ නොවේ නම් නිහඬව සිටිය යුතු බවයි.

එමෙන්ම යම් අයෙක් බොහෝ දහම් කරුණු කියමින් තමන් එය නොපිළිපදී නම් ඔහු අනුන්ගේ ගවයින් රකින ගොපල්ලාට සමාන යයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. යම් අයෙක් අල්ප වශයෙන් කතා කළද තමන් එය පිළිපදියි නම් ඔහු මහණ දම් ඵලයට හිමිකරුවෙක් වන බවද බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

නිසරු කතා බහ මෙන්ම අර්ථශූන්‍ය අධික කතාවන් ද බුදු දහම අනුමත නොකරන බව මෙයින් පැහැදිලිය.

එමෙන්ම පුහු නිහඬකම බෞද්ධ ප්‍රතිපත්තියක් නොවේ. එමෙන්ම නිහඬව සිටීමෙන් අඥාන තැනැත්තාට මුනිවරයකු පඬිවරයකු වීමටද නොහැකිය.

ධම්මපදයේ දක්වා ඇත්තේ යම් අයකු පව් දුරුකරයිද? ලෝකය නුවණැසින් අවබෝධ කර ගනියිද? ඔහු නුවණැත්තකු බවයි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම වූයේ හිස් හඬෙහි නොපිහිටා කටයුතු කළ යුතු බවයි. දුර්භාෂණයෙන් වැළකී සුභාෂණයෙහි යෙදිය යුතු බවයි.

සම්මා වාචා, සතර සංග්‍රහ වස්තුවල දක්වා ඇති පි‍්‍රයවචනයයි. මෙය උතුම් මංගල කරුණක්ද වනවා. මේ අනුව කේලාම් කීම,මුසාවාදය, පරුෂවචන කීම, හිස්වචන කීම වැනි කථනයන් කෙතරම් උසස් තැනැත්තකුට හෝ වේවා කිසිදු අයුරකින් භාෂණයට උචිත නොවන බව තේරුම් ගත යුතු වනවා.

භවත් ගෞතමයන් වාදකොට පරදවමි’යි පැමිණි ‘සච්චක” වැනි වාදයෙහි දක්ෂයෙන් උන්වහන්සේ හමුවෙහි සත්‍යය වටහා ගත්තේ නිවැරදි වචන භාවිතය නිසාය. සත්‍යය වුවද නිසි පරිදි බුද්ධිය මෙහෙයවා කථා කළ යුතු බව බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි.

“යස” සොයා පැමිණි ඔහුගෙ පියාණන්ට එක්වරම යස සිටින බව නොදන්වා ඔහු දැකගත හැකි බව පමණක් පැවසූ බුදුරජාණන් වහන්සේ කිසාගෝතමිය මිය ගිය දරුවා රැගෙන පැමිණි අවස්ථාවේ කිසිවකු නොමළ ගෙයකින් අබ මිටක් රැගෙන එන්නැයි ඇයට පැවසුවේ දරුවා සුවපත් කිරීමට එවැනි අබ අවශ්‍ය බව පැවසීමෙනි. එහෙයින් බුදුරජාණන් වහන්සේගේ පි‍්‍රයවචනයට ඇය කීකරු වූවාය. පටාචාරාවද එසේමය. මේ අයුරින් භාෂණය නිසි පරිදි හැසිරවිය යුතු බව බුදුරජාණන් වහන්සේගේ පවා දේශනාව විය.

නුවණැත්තා නම් සැමවිටම සත්‍යය අවබෝධ කරගන්නා තැනැත්තාය. එම නිසා සැමවිටම නිසිදේ නිසි ලෙසින් දකින්නට අප අවදියෙන් විය යුතුය.ඒ සඳහා අපට ලබාදී ඇති භාෂණය හෙවත් කතාබහ සුදුසු පරිදි යොදා ගත යුතුමයි. හොඳට නරකට දෙකට කටමයි යනුවෙන් දක්වා ඇත්තේ එහෙයිනි.

එසේ නොමැතිව තමන් සියල්ල දන්නේ යැයි සිතනා අඥානයන්ගෙන් ප්‍රවේශම් වී සත්‍යම අවබෝධ කරගැනීමට අප බුද්ධිමත් විය යුතුයි.