Print this Article


ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි

ප්‍රාර්ථනාවක බලය ශක්තිය මෙතරම් යැයි කියා හෝ ලියා නිම කළ නොහැකිය. ප්‍රාර්ථනාවක් සඵල වීමට උත්සාහය ද අත්‍යවශ්‍යමය.

මහාමායා දේවිය බුදුරජාණන් වහන්සේගේ මවිවීමටත් සුද්ධෝදන රජතුමා පියාවීමටත් පෙරුම් පුරා ප්‍රාර්ථනා කර ඇති බව අපි දනිමු.

සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා දෙනම ද බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා වීමට පෙරුම් පුරා ප්‍රාර්ථනය කර ඇත. ආනන්ද හාමුදුරුවන්ගේ පැතුම වූයේ බුදුරජාණන් වහන්සේට අග්‍ර උපස්ථායක වීමට ය.

තමන්ට මෙන්ම අන්‍යයන්ට ද යහපත උදාකරවන ප්‍රාර්ථනා ඇති කර ගැනීමෙන් යහපතක් මිස අයහපතක් සිදු නොවන බව මින් පැහැදිලි වේ. සමාජයේ වෙසෙන බොහෝ දෙනා තුළ ප්‍රාර්ථනා ඇත. ඒවා ලෞකික මෙන්ම ලෝකෝත්තර වශයෙන් ද විය හැකි ය.

මේ අනුව බලන විට ලොව හැම දෙනාගේම සිත් සතන් පැතුම් තුළින් පිරී ඉතිරී ඇත. එහෙත් අප මෙම ලිපියෙන් අපේක්‍ෂා කරනුයේ ප්‍රාර්ථනා පිළිබඳව වැඩිදුරටත් යමක් ලිවීමට නොවේ. මෑත යුගයේ අපේ රටේ වැඩ විසූ අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගිහි පැවිදි සමාජයේ ගෞරවාදර්ශයට ඉතා ඉහළින් පාත්‍ර වූ මහා යතිවරයන් වහන්සේ නමකි.

උන්වහන්සේ එදා මෙන් අදත්, හෙටත්, ගෞරවයෙන් සිහිපත් කරනුයේ වෙසෙස් ගුණ රැසකින් සමන්විත වූ නිසාම ය. එවන් ගුණවෘද්ධ, සීලවෘද්ධ, වයෝවෘද්ධ යතිවරයාණන් වහන්සේලාගේ පහළවීමෙන් කලින් කලට සසුනඹර ද ඒකාලෝක වේ.

ආදර්ශවත් පැවිදි ජීවිත ගත කළ සම්භාවනීය මහ සඟරුවන, වෙතින් අපේ රටේ සම්බුදු සසුන ශෝභාවත් විය. එබඳු ශාසනභාරධාරී මහා යතීන්ද්‍රයන් වහන්සේ කීපනම අතර අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට හිමි වන්නේ ඉමහත් ගෞරවයකි.

ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන් වහන්සේ 1896 අගෝස්තු 23 වැනිදා බළන්ගොඩ කිරිඳිගල නාරංගොඩ ආරච්චිගේ මෙතියස් අප්පුහාමි නොහොත් මද්දුමහාමි සහ බෙන්තර ආරච්චිගේ හීන්මැණිකේ දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස මෙලොව උපත ලැබීය.

බළන්ගොඩ කිරිඳිගල කතෝලික පාසලෙන් හා බළන්ගොඩ රජයේ කුමාර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ එම කුමරුවා දෙණිහේනේ ශ්‍රී සීලානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1911 මාර්තු 2 වැනි දා සසුන් ගත වීය.

උන්වහන්සේ පැවිදි දිවියට අවශ්‍ය මූලික බණ දහම් සියල්ල ඉතා කෙටි කලකින් හදාරා දෙණිහේනේ සීලානන්ද නාහිමියන්ගේ සහ දාමහන ධම්මානන්ද නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් 1916 ජූලි 14 වැනි දා බළන්ගොඩ ඕලුගල උදකුඛෙප සීමා මාලකයේ දී අධිසිල් ලැබූහ.

කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැති ඉංගී‍්‍රසි පන්තියට 1919 දී සිය ගුරුදේවයන් වහන්සේ විසින් උන්වහන්සේ ඇතුළත් කරන ලදී. මෙසේ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවන් ඉංගශ්‍රීසි දැනුම දියුණු කරගන්නා අතර එහි පාලි සංස්කෘත ආචාර්යවරයා ලෙස සේවය කිරීමට ද උන්වහන්සේට අවස්ථාව ලැබිණ.

1922 වන විට කොළඹ ආනන්ද විද්‍යාලයේ පාලි, සංස්කෘත, සිංහල හා බුද්ධධර්මය විෂය උගන්වන ගුරුවරයා ලෙස උන්වහන්සේ පත්ව සිටියහ.

විශේෂයෙන් විවේකයෙන් පසුවන විට භාවනාවට සිත මෙහෙයවූ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ චිත්ත ශක්තිය පිළිබඳ විවිධ අත්හදාබැලීම්වලද නිරත වූහ. ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ 1926 දී කේරළයේ කැලිකටි නගරයේ රාජ්‍ය මන්ත්‍රී ශ්‍රී ක්‍රිෂ්ණා මහතාගේ ඇරැයුමෙන් කේරළයට වැඩම කරමින් සිය විදේශ ධර්මදූත මෙහෙවර ආරම්භ කළහ.

බුද්ධ චරිතය නමැති ග්‍රන්ථය ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවන් වහන්සේ රචනා කරන ලද්දේ 1928 දී ය. ඒ දඹදිව බොහෝ පුණ්‍යභූමි ද සියැසින් දැක බලා ගැනීමෙන් අනතුරුවය. ඉන්දියාවට තිස්පස්වාරයකටත් වඩා වැඩම කර ඇති ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන් රචනා කර ඇති ග්‍රන්ථ හැත්තෑවකටත් වඩා අධිකය.

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක හාමුදුරුවන් වහන්සේ පිළිබඳ ඒ කෙටි හැඳින්වීමකි.

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හාමුදුරුවන් වහන්සේ වැඩ සිටි කාලයෙහි උන්වහන්සේට දානය පූජා කිරීමට මහ පිරිස් උන්වහන්සේ වැඩ සිටි බලන්ගොඩ උඩුමුල්ලේ නන්දාරාමයට ඒකරාශී වූහ. දානවේලක් පිරිනැමීමට දිනයක් ලබා ගැනීම පවා එකල අසීරු වූයේ ඒ තරටම උන්වහන්සේට දන් පිළිගැන්වීමට අපේ රටේ නොයෙක් පළාත්වල බොදු ජනතාව උනන්දුවෙන් සූදානම් වූ නිසා ය.

වයෝවෘද්ධ ගුණවෘද්ධ සීලවෘද්ධ මහ යතිවරයන් වහන්සේලා කෙරෙහි අපේ බොදු ජනතාව කවදත් ඒ සිව් පසයෙන් උපස්ථාන කිරීමට පෙළඹීම බොදු සිරිතකි. දිනක් බළන්ගොඩ උඩුමුල්ලේ නන්දාරාමයේ මැදබැද්දේ නන්දසාර හිමියන් වෙත දුරකථනයෙන් කතා කර, ආනන්ද මෛත්‍රෙය මහ නායක හාමුදුරුවන් වහන්සේ බැහැදැකීමට උන්වහන්සේගෙන් දිනයක් ඉල්ලීය. ඒ අතර දින කීපයකට පසු නැවත උන්වහන්සේට කතා කළ විට මහනායක හාමුදුරුවන් වහන්සේ මහරගම චන්ද්‍රසේකරාරාමයට වැඩම කරන දිනය මතක් කළහ.

ඒ අතර බඹරබොටුවේ ආනන්ද මංගල හිමියන්ට ද දන්වා මහරගම චන්ද්‍රසේකරාරාමයට ගොස් මහානායක හාමුදුරුවෝ මුණ ගැසුණාහ.

උන්වහන්සේ සමඟ සුළු වේලාවක් කතා කරමින් සිට, මහානායක හාමුදුරුවනේ, බුදුසරණ ට ලිපි පෙළක් කරමු නේදැයි විමසූහ. ඊට උන්වහන්සේගේ පිළිතුර වූයේ පත්තරේ ලිපි ඵලවනකොට මේ තියෙන නිදහසත්, විවේකයත් නැතිවෙලා මෙතනටත් මසුස්සයො එක්රොක් වෙන්න ගනීවි යනුවෙනි.

මහානායක හාමුදුරුවෝ ඒ දිනවල වැඩ සිටින්නේ කොහිදැයි පුවත්පතෙහි පළ නොකරන පොරොන්දුව මත ලිපි පෙළ පටන් ගනිමු යි නැවත යෝජනා කළ විට තරමක් කල්පනා කර හොඳයි එහෙනම් බලමු යැයි උන්වහන්සේ පැවැසූහ. උන්වහන්සේගේ අවසරයෙන් ඒ වෙලාවේ පටන් ලිපි පෙළට අදාළ කරුණු සාකච්ඡා කළහ. ඒ අනුව 1997 මැයි මස 21 වැනි දා සිට මහානායක හාමුදුරුවන් වහන්සේ සමඟ සාකච්ඡා කළ ලිපි පෙළ පුවත්පතෙහි පළ විය.

අදාළ ලිපි ලබා ගැනීමට මසකට දෙතුන් වර බළන්ගොඩ උඩුමුල්ලේ නන්දාරාමයට මෙන්ම මහරගම චන්ද්‍රසේකරාරාමයට ද ගොස් උන්වහන්සේ හමුවූහ. ඒ පළමු ලිපිය පුවත්පතෙහි පළවූවාට පසු දෙවන ලිපිය ලබාගැනීමට ගිය අවස්ථාවේදී මේ ලිපි පෙළ ඊළඟට පොතක් හැටියට මුද්‍රණය කරන්න නේද? අදහස කියා උන්වහන්සේ විමසූහ.

නිසැකවම ඒ ලිපි පෙළ පොතක් ලෙස මුද්‍රණය කිරීමේ අදහස මා සිත තුළ විය. එහෙත් ඒ බව කිසිවකුටවත් නොකියා සිටියහ. කෙසේ වුවද මහානායක හාමුදුරුවන් වහන්සේට ‘එහෙමයි’ කියා පිළිතුරු දුන්හ. පසුව ඒ ලිපි පෙළ පොතක් ලෙස මුද්‍රණය කළහ. එවන් සිද්ධි සමුදායක් ඒ කාලය තුළ දැක දැන ගන්නට ලැබිණි. එහෙත් බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හාමුදුරුවන් වහන්සේ අප අතර අද ජීවමානව නැත.

එම සාකච්ඡා සටහන් ලබන සතියේ සිට පාඨකයන් වෙනුවෙන් නැවත පළකිරිමට අපේක්ෂා කරමි.