Print this Article


ස්වර්ණ පීඨ විමාන වස්තුව ආසනයක් පූජා කිරීමෙන් ස්වර්ණමය ආසනයක් ලත් දෙවඟනකගේ කථා පුවත

ස්වර්ණ පීඨ විමාන වස්තුව

ආසනයක් පූජා කිරීමෙන් ස්වර්ණමය ආසනයක් ලත් දෙවඟනකගේ කථා පුවත

සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන සමයකි. ඒ වන විට මගධ දේශය පාලනය කළේ පසේනදී කොසොල් මහ රජතුමා ය. රත්නත්‍රය කෙරෙහි අතිමාත්‍ර ගෞරවාදරයක් දැක් වූ එතුමාට එක් අවස්ථාවක දී අපූරු සිතිවිල්ලක් පහළ විය. ඒ ඉතිහාසයේ එතෙක් නොවූ විරූ මහා දානමය පින්කමක් පැවැත්වීමයි. මහත් භව භෝග සම්පත්තියෙන් ආඩ්ඩ්‍ය වූ මහරජ කෙනෙකුට හැර අන් කවරකුට හෝ කළ නොහැකි තරම් මහා ධනස්කන්ධයක් වැය කරමින් දින හතක් මුළුල්ලේ පැවැති මේ මහා දානය “අසදෘස මහා දානය” නමින් හැඳින්විණි. අසදෘස මහා දානයෙන් උද්දාමයට පත් අනේපිඬු, විශාඛා ආදී ප්‍රභූවරු ද මහදන් පවත්වන්නට වූහ. මේ නිසාම ජේතවනාරාම භූමිය උත්සවශ්‍රීයෙන් ද මහා ජන සන්නිපාතයෙන් ද මහා සංඝ රත්නයෙන් ද නිරන්තරයෙන් ම පිරී පැවතිණි.

එකිනෙකා පරයන්නට මෙන් මේ අන්දමින් මහා දන් වැට පැවැත්වෙද්දී සාමාන්‍ය ජනතාව අතර මහත් කුතුහලයක් මෙන් ම විවාදයක් ද හටගත්තේ ය. එනම් වඩාත් මහත් ඵල මහානිශංසදායක වන්නේ මහා ධනයක් වැය කර කරන පින්කම්වලින් ද එසේ නැතහොත් රත්නත්‍රය කෙරෙහි ශ්‍රද්ධා - ගෞරව පූර්වකව ප්‍රසන්න සිතින් කරන පින්කම්වලින් ද යන කතිකාවත ජනතාව අතර ඇති වූ මේ කථා බහ ක්‍රමයෙන් භික්ෂු සංඝයා අතර ද පැතිරයාම නිසා එක් දිනක දම් සභා මණ්ඩපයේ සාකච්ඡාවට මාතෘකා වූයේ ද එය යි. දිවා විහරණයෙන් පසු දම් සභා මණ්ඩපයට රැස්වන භික්ෂූන් කාලීන මාතෘකාවක් සාකච්ඡා කිරීමත්, ඒ අවස්ථාවේදී එහි වැඩම කරවන බුදුරජාණන් වහන්සේ එය නිමිති කරගෙන ධර්මාවවාද ලබාදීමත් සම්ප්‍රදායයකි. ඒ අනුව, දම් සභා මණ්ඩපයට රැස් වූ භික්‍ෂූන් දානයක මහත්ඵල මහානිශසංසදායී බවට මූලික වන්නේ ශ්‍රද්ධාව ද නැතහොත් ධනය ද යන කරුණ සාකච්ඡා කරමින් සිටි අවස්ථාවක දී එහි වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳ ධර්මානුකූල විග්‍රහයක් දැක්වූයේ මෙසේ යි.

“මහණෙනි, දානයක් මහත්ඵල මහානිශංස වීමට ඒ සඳහා වැය කරන ධාර්මිකව උපයා සපයාගත් වස්තුවත් පිළිගැනීමට සුදුසු ප්‍රතිග්‍රාහකයකුත්, සැදැහැ සිතත් ඇතිව දෙන දානයම උතුම් වේ. යමෙක් රත්නත්‍රය විෂයෙහි මහත් ශ්‍රද්ධාවෙන් සුන් සහල් ඳටක්, දිරාගිය වස්ත්‍ර කැබැල්ලක් හෝ ගව මුත්‍රයෙහි බහා ලූ අරළු ගෙඩියක් පමණ වූ ඉතා සුළු දෙයක් දන් පිණිස පූජා කරන්නේ ද ඉන් ලැබෙන ආනිශංසය මහත්ය. එය දෙලොව සැප ගෙන දීමට සමත් වන්නේ ය. “ මේ අදහස ජනතාව අතර ව්‍යාප්ත වීමෙන් තම ශක්ති ප්‍රමාණයෙන් පින් දහම් කිරීමේ ප්‍රවණතාවක් ඉස්මතු වන්නට විය. සමහරු පිපාසිතයන්ගේ ප්‍රයෝජනය උදෙසා තම නිවෙස් ඉදිරිපිට පැන් බඳුන් තැබූහ. සමහරු ඇවිදීමෙන් විඩාවට පත්වන්නවුන්ගේ සුවපහසුව උදෙසා සිය නිවෙස් ඉදිරියේ ගිමන් හැරීමට ආසන සකස් කළහ. සමහරු තම ආහාර වේලෙන් කොටසක් පිඬු සිඟා වඩින මහා සංඝයාට පූජා කළහ. දුගී මගී යාචකාදීන්ට ආහාර පානයෙන් සංග්‍රහ කළහ.

මෙබඳු වටපිටාවක් පැවැති සැවැත්නුවර එක් දිළිඳු ස්ත්‍රියක් විසුවාය. ඇය ශ්‍රද්ධාසම්පන්න ය. තෙරුවන කෙරෙහි මහත් භක්ති ඇත්තීය. යහපත් වූ ඉන්ද්‍රිය සංවරයෙන් ඈත මෑත නොබලා සන්සුන් ගමනින් පිඬු සිඟා වඩනා තෙර නමක දුටු ඈ උන්වහන්සේට ආහාරයෙන් හා ඇප උපස්ථානයෙන් පිදීමට අදහස් කර, උන්වහන්සේ අබිමුවට ගොස් පසඟ පිහිටුවා වැඳ දන් පිණිස තම නිවසට වැඩම කරන ලෙස ගෞරවයෙන් ආරාධනය කළාය. නිහඬතාවයෙන් ආරාධනය ඉවසූ තෙරුන් වහන්සේ මහත් කරුණාවෙන් ඇගේ නිවසට වැඩම කළහ. වැඩ හිඳීම සඳහා රන්වන් වස්ත්‍රයක් ඇතිරූ පුටුවක් සූදානම් කළ ඇය, තම ශක්ති ප්‍රමාණයෙන් දන් පිළිගන්වා සංඝෝපස්ථාන වශයෙන් විජිනි පතකින් පවන් ද සැලුවාය. දන් වළඳා අවසානයේදී තෙරුන් වහන්සේ දෙසු භුක්තානුමෝදනා බණ අසා අධිකතර සන්තෝෂයට පැමිණි ඇය, තෙරුන් වහන්සේට වැඩ හිඳීමට පිළියෙල කළ ආසනය ද මහත් ශ්‍රද්ධාවෙන් පූජා කළාය.

කල්යාමේදී කර්මානුරූපව මිය පරලොව ගිය ඒ සැදැහැවත් උපාසිකාව තව්තිසා දිව්‍යලෝකයෙහි මහත් යස ඉසුරින් සපිරි දෙවඟනකව උපන්නාය. මිනිස් ලොව දී මහා සංඝයා විෂයෙහි පුටුවක් පිදීමේ පිනින් ස්වර්ණ පීඨිකාවක් සහිත දොළොස් යොදුනක් තරම් වූ අයම් විතරින් යුත් දිව්‍ය විමානයක් ද පහළ වූයේ ය. සිතැඟි පරිදි දන් පිරිනැමීමේ ආනිශංස වශයෙන් ඒ ස්වර්ණ පීඨිකාව අසුන් ගැනීමට මෙන්ම ගමන් බිමන් යාම සඳහා භාවිත කළ හැකි රථවාහනයක් වැනි අපූරු එකක් විය. අවශ්‍ය විටකදී අසුන් ගත හැකිය. මේ අසිරිමත් පීඨිකාව තව්තිසා වැසි දෙවියන් හා දෙවඟනන්ගේ විමතියට පවා හේතු විය. මෙසේ මහත් ඓශ්චර්යයෙන් ද රූප භෝභාවෙන් ද යුතුව ඇයට පහළ වූ අපූරු ආසනය නිසා ඒ විමානය ද ස්වර්ණ පීඨ විමානය ලෙසින් තව්තිසා දෙව්ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය.

එසමයෙහි අග්‍රශාවක මුගලන් මහ තෙරුන් වහන්සේ පෝයක් පාසා තව්තිසා දෙව්ලොව සංචාරය කිරීම පුරුද්දක් කරගෙන සිටියහ. ඒ චාරිකාවේ අරමුණ වූයේ දෙව් ලොව වාසීන්ට මහත් යස ඉසුරු ලැබීමට උපස්ථම්භක වූ පුණ්‍ය කර්මයන් ඔවුන්ගෙන්ම අසා දැනගෙන මිනිස් ලොව වැසි සැදැහැවතුන්ට කියාදී ජනතාව කුසල කර්මයන් කෙරෙහි නැඹුරු කරවීමයි. සදාචාර සම්පන්න දැහැමි මිනිස් සමාජයක් ගොඩ නැංවීමෙහිලා මේ සන්නිවේදනය අතිශයින් උපකාරී විය. එසේ ම ජනප්‍රිය ද විය. දෙව්ලොව වසන්නෝ නිරන්තරයෙන්ම ප්‍රීති උත්සව පවත්වති. එබඳු අවස්ථාවල දී තම ඓශ්චර්යය අන් අයට පෙනෙන සේ සර්වාභරණයෙන් විභූෂිතව නන්දන නම් උයනට ගොස් ක්‍රීඩා කරති. මේ දේව සමාගමය තව්තිසා වැසි දෙවියන් අතර බෙහෙවින් ජනප්‍රිය ය. මුගලන් මහ රහතන් වහන්සේ දෙව්ලොවට වැඩම කළේ එබඳු අවස්ථා ඉලක්ක කර ගෙනය.

එසේ දෙව්ලොවට වැඩම කළ මුගලන් මහ රහතන් වහන්සේ එක් අවස්ථාවකදී ස්වර්ණපීඨ විමානයෙන් ගමන් කරන දිව්‍යාංගනාවට පෙනෙන පරිදි නන්දන උයනට යන මග අසල රැඳී හුන්හ. සංඝ ගෞරවයෙන් යුත් ඒ දෙවඟන වහා තම අසුනෙන් බැස උන්වහන්සේ වෙත එළඹ පසඟ පිහිටුවා වැඳ එකත්පස්ව සිටියාය. මුගලන් මහ රහතන් වහන්සේ වූ කලී දිව්‍ය ඥානය ඇතුළු අධි මානසික ශක්තීන්ගෙන් යුත් මහානුභාව සම්පන්න තෙර නමකි. පීඨ විමානය ලැබීමට ඒ දෙවඟන මිනිස් ලොවදී කළ කුසල කර්මය අතැඹුලක් සේ උන්වහන්සේ දනිති. එහෙත් සිරිත් පරිදි උන්වහන්සේ දෙවඟනගෙන් මෙසේ විමසා සිටියහ.

“විසිතුරු දිව සළුවලින් ද මහාර්ඝ වූ දිව අබරණ වලින් ද සුපුෂ්පිත පුෂ්ප දාමයන්ගෙන් ද අලංකාර වූ පින්වත් දේවතාවිය, ඔබේ යස ඉසුරු අති මහත් ය. ඔබේ ස්වර්ණමය පීඨිකාව මහා බල සම්පන්න ය. සිතූ පැතූ සම්පත් ලබා ගැනීමට තරම් ඔබ පුණ්‍යවන්ත ය. අනික් දෙවි දේවතාවන් අතර කැපී පෙනෙන රූප ශෝභාවෙන් ද යුක්ත ය. මේසා විශාල වූ යස ඓශ්චර්යයක් ලැබීම සඳහා මනුෂ්‍ය ලෝකයේ දී ඔබ කවර නම් පින්කමක් කළෙහි ද?” මුගලන් මහ තෙරුන්ගේ ප්‍රශ්නය දේවතාවියට මහත් ප්‍රීතියක් ඇති කළේය. ඇගේ අතීත ආත්ම භාවය සිහි කොට තමා කළ කුසලය මෙනෙහි කිරීමට අවස්ථාවක් උදාවීම ඒ ප්‍රීතියට හේතුවයි. ඇය මහතෙරුන් හමුවේ ඇඳිලි බැඳ ගෙන මෙසේ පවසන්නට වූවාය.

“ ස්වාමීනි, මම මිනිස් ලොව දී දිළිඳු ගැහැනියක වීමි. මා සතු මහා ධනයක් නොවීය. එහෙත් රත්නත්‍රය කෙරෙහි මහත් භක්තියෙන් සැදැහැයෙන් ජීවත් වෙමින් සිටියෙමි. එක් අවස්ථාවක දී දැමුණු ඉඳුරන්ගෙන් හා සන්සුන් ඉරියව්වෙන් යුත් තෙර නමක දැක නිවසට කැඳවා රන්වන් වතකින් සැරසූ අසුනක් පනවා දන් දිනිමි. විජිනි පතින් පවන් සැලීමි. භුක්තානුමෝදනාව අවසානයේදී අසුන් ගැනීමට සැරසූ පුටුව ද පූජා කළෙමි. මේසා විශාල දිව්‍ය ඓශ්චර්යයක් මට පහළ වූයේ ඒ පින් බලයෙනි. මම දැන් මහත් සතුටින් ද සිතූ® පැතූ සම්පත් ලැබීමෙන් ආත්ම තෘප්තියෙන් ද මෙහි කල් ගෙවමි.” ස්වර්ණ පීඨ විමානයට අරක්ගත් දේවතාවියගේ මෙම ප්‍රකාශයට සවන් දී සිටි මුගලන් මහ තෙරුන් වහන්සේ ඒ අරඹයා එහි රැස්ව සිටි පිරිසට දහම් දෙසූහ. ඒ ධර්ම දේශනය දෙව් ලෝ වැසි බොහෝ දෙනාගේ හිත සුව පිණිසම හේතු විය.

යළි මිනිස් ලොවට වැඩම කළ මුගලන් මහ තෙරණුවෝ මේ ප්‍රවෘත්තිය විස්තර සහිතව බුදුරජාණන් වහන්සේට සැළ කර සිටියහ. බුදුරජාණන් වහන්සේ ද එය වඩාත් විස්තර සහිතව ජනතාව හමුවේ දේශනා කිරීමෙන් දෙව් මිනිස් සැපත් ලබා ගැනීම සඳහා තම ශක්ති ප්‍රමාණයෙන් පින් දහම් කිරීමෙන් ලැබිය හැකි මහත් ඵල මහානිසංස තත්වාකාරයෙන් අවබෝධ කර දුන්හ.